කූටාගාර.
පැරණි දඹදිව ගෘහනිර්මාණ ශිල්පයෙහි වැදගත් තැනක් හිමිව තිබුණු බව පෙනෙන 'කූටාගාර' යන්නෙහි නියම ස්වරූපය පිළිබඳ අදහසක් ඇති කරගත හැක්කේ ග්රන්ථාගත සාක්ෂ්‍ය අනුසාරයෙනි. ධම්පියා අටුවා ගැටපදයෙහි 'කූටාගාර' යන්නට පර්යායව 'කුළාර', 'කුළාර ගේ' යන පද යොදා තිබේ. 'කුළාර' යන්නෙන් පමණක් කූටාගාර යන අර්ථය ප්‍රකාශ වතුදු 'කුළාර' යනුයෙහි අගාර ශබ්දය ගැබ් වී ඇති බව වටහා නොගැනීමෙන් අගාරවාචී 'ගෙ' ශබ්දයක් නැවතත් එක් කරගෙන තිබේ.
කූටාගාර යන පදය යෙදුණු පැරණිතම ග්රන්ථයකි, රාමායනය. එහි එන ඉන්ද්‍රගේ අමරාවතිය මෙන් කූටාගාරයන්ගෙන් සපිරුණු යන අරුත දෙන 'කූටාගාරෛශ්ව සම්පූර්ණම් ඉන්ද්රස්යෙවාමරාවතීම්' යන පාඨය ටිකාවෙහි විස්තර කෙරෙන්නේ 'කූටාඛ්යෛරාගාරෛඃ ස්ත්‍රීණාං ක්රිඩාගෘහෛරීති යාවත් කූටාංඃ ගෘහ මන්යෙ' යනුවෙනි. මෙකී අර්ථකථනයට අනුව කූටාගාරය වූකලී ස්ත්රීන්ගේ ක්‍රීඩා ගෘහයකි. නැත හොත් ගෙමුදුනෙහි පිහිටි ශාලාවකි.
රාමායනයෙහි ම 'කූටාගාරෛඃ ශුභාගාරෛඃ සර්වතඃ සමලංකෘතම්' යන්නෙහි කූටාගාරෛඃ යන පදය 'ගුප්තස්වල්පගෘහෛඃ' යනුවෙන් ටීකාවෙහි විස්තර කර ඇත. මේ අනුව කූටාගාර යන්නෙන් අදහස් කෙරෙන්නේ ආරක්ෂිත කුඩා ගෘහයකි.
වේසාලියට නුදුරු මහාවනයෙහි පිහිටි කූටාගාරසාලා නමින් ප්‍රකට වූ බුදුරදුන්ගේ ගන්ධකුටිය ගැන පාළි සාහිත්‍යයෙහි ද පැරණි සිංහල සාහිත්‍යයෙහි ද නිතර සඳහන් වේ. ඒ පිළිබඳ සාරත්ථදීපනි ටීකාවෙහි සඳහන් පාඨය මෙසේය: 'මහාවනෙ කූටාගාරසාලායන්ති තස්මිං වනසණ්ඩෙ සඬ්ඝාරාමං පතිට්ඨාපෙසුං. තත්ථ කණ්ණිකං යෙජෙත්වා ථම්භානං උපරි කූටාගාරසාලාසංඛෙපෙනදෙවවිමානසදිසං පාසාදං අකංසු. තං උපාදාය සකලොපි සඬ්ඝාරාමො කූටාගාරසාලාති පඤ්ඤායිත්ථාති වුත්තං. වනමජ්ඣෙ කතත්තා වනං නිස්සායාති වුත්තං, ආරාමෙ සඬ්ඝාරාමෙ. හංසවට්ටකච්ඡන්නෙනාති, හංසවට්ටකපටිච්ඡන්නෙන, හංසමණ්ඩලාකාරෙනාති අත්ථො'.
මහාවනයේ කූටාගාර ශාලාව පිළිබඳ මීට සමාන විස්තරයක් සමන්තපාසාදිකා, පපඤ්චසුදනී, සුමංගලවිලාසිනී, මනොරථපූරණී හා උදානට්ඨකථා යන අටුවා ග්රන්ථයන්හි ද එයි.
මෙකී විස්තරයට අනුව කූටාගාර ශාලාව වනාහි කැණිමඬලක් යොදා ටැම් මත්තෙහි කරන ලද පහයකි. 'කූටාගාරසාලායං, ටැඹ හිස් ලා කුළාරගේ සෙයින් කළ කිළි ඇති වෙහෙරෙහි' යන ජාතක අටුවා ගැටපද පාඨයෙන් ද ඒ අදහස ම ප්‍රකාශ වෙයි. සාරත්ථදීපනී ටීකාවෙන් උපුටා දැක්වූ පාඨයෙහි එන 'හංසවට්ටකච්ඡන්නෙන, හංසමණ්ඩලාකාරෙන යන්නෙන් කූටාගාර ශාලාවෙහි තවත් ලක්ෂණයක් හෙළි වෙයි. සාරත්ථදීපනී විනය ටීකාවෙහි මෙකී යෙදුම 'හංසවට්ටච්ඡන්නෙන හංසමණ්ඩලාකාරෙන' යනුවෙන් ද සමන්තපාසාදිකාවෙහි හා මනෝරථපූරණියෙහි 'හංසවට්ටකච්ඡදනෙන' යනුවෙන් ද එයි. සාරත්ථදීපනී විනය ටීකා පාඨයට අනුව 'හංසමණ්ඩලාකාරෙන' යන්න 'හංසවට්ටච්ඡන්නෙන' යන්න හා තුල්‍යව යෙදුණු පදයන් සේ ගත යුතුය. 'හංසවට්කච්ඡදනෙන' යන්නට අනුව මෙයින් දැක්වෙන්නේ පියස්සෙහි ලක්ෂණයකි යි සිතිය යුතුය. 'ඡදන' යනු පියස්ස යන අර්ථය දෙන පදයක් වන බැවිනි. 'හංසවට්ටක' යන්න ජාතක අටුවා ගැටපදයෙහි විස්තර කෙරෙන්නේ 'හස්වටුගෙය ද හංස වළලු ඇති කොට කළ ගෙවල් ද' යනුවෙනි. හංසමණ්ඩලාකාරෙන, හංසවට්ටකච්ඡදනෙන යන විශේෂණ පදවලට අනුව කූටාගාර ශාලාව පරිමණ්ඩලාකාර හෙවත් වෘත්තාකාර වූ බව සිතිය හැකිය. එහෙත් විසුද්ධිමග්ග ගණ්ඨියෙහි එන 'කූටාගාරෙති චතුරස්සපාසාදෙ' යන පාඨයෙන් පෙනෙන්නේ කූටාගාරය සතරැස් පභයක් වූ බවයි.
මහාවනයේ කූටාගාරශාලාව උතුරේ සිට දකුණට විහිදි අක්ෂයක නැඟෙනහිර දිශාවට මුහුණ ලා පිහිටි බව සුමංගලවිලාසිනියෙහි සඳහන් වේ.
යථෝක්ත පාළි අටුවා ග්රන්ථයන්හි කූටාගාර ශාලාව පිළිබඳව දැක්වෙන විස්තරයට සමාන විස්තරයක් 'ගන්ධමණ්ඩලමාළක' යන්න පිළිබඳව ජාතක අටුවා ගැටපදයෙහි එන බව ද මෙහි ලා සැලකිය යුතුයි. ප්රස්තුත ජාතක අටුවා පාඨය මෙසේයි: 'ගන්ධමණ්ඩලමාළකෙ, කන්මඬුලු ගන්වා හංසවට අයුරෙන් කළ කුළාර ගෙයි නොහොත් එක් කන්මඬුලු ගන්වා වටහි ටැම් දී කළ වටන්හල් ගෙයි නොහොත් බොජුන්හල්හි'
කැණිමඬුල්ල කූටාගාරයක ප්‍රධාන ලක්ෂණය වූ බව ඉහත දැක්වූ අටුවා පාඨයන්ගෙන් මෙන් ම '......කැණිමඬුල් යොජා කළ පහ කූටාගාරසාලා නම්' යන ධම්පියා අටුවා ගැටපද පාඨයෙන් ද පැහැදිලි වේ. කූටාගාරයක කැණිමඬුලු එකක් හෝ දෙකක් වූ බව '......එක් කැණිමඬුල් දී නැඟුව ගෙයක් පමණ යු තැන්' හා 'දෙකැණිමඬුල් දී නැඟූ කුළාර පහාහි' යන ධම්පියා අටුවා ගැටපද පාඨයන්ගෙන් පෙනේ. පාළි බෝධිවංශ ගැටපදය, විසුද්ධිමාර්ග මහා සන්‍යය, විසුද්ධිමාර්ග ටීකාව යන ග්රන්ථයන්හි ද කූටාගාරය විස්තර කොට ඇත්තේ කැණිමඬුලු දෙකක් යොදා කළ ගෙයක් වශයෙනි.
කූටාගාරය වූකලි තනි ගෙයක් නොව ප්‍රාසාදයකට අයත් කුටි විශේෂයකැයි යන්න ඒ පිළිබඳව සාහිත්‍යයෙහි එන විස්තරවලින් පෙනේ. සාරත්ථදීපනී විනය ටීකාවෙහි ද සමන්තපාසාදිකාවෙහි ද මහාවනයේ කූටාගාර ශාලාව විස්තර කෙරෙන්නේ 'මහාවනය අසල කරන ලද ආරාමයෙහි කූටාගාරයක් ඇතුළු කොට හංසවළලු සහිතව' සිටියා වූ ගඳකිළිය යන අරුත් ඇති පාඨයකිනි. අනුරාධපුරයේ ලෝහපාසාදයෙහි එක එක මහලෙහි කුළු ගෙවල් සියයක් සියයක් වූ බව මහාවංසයෙහි වර්ණිතයි. එමෙන් ම කුළු ගෙවල් දහසකින් හොබනා මහපායක් ගැන සද්ධර්මරත්නාවලියෙහි ද දහසක් කූටාගාරයෙන් යුක්ත වූ විහාරයක් ගැන දහම්සරණෙහි ද සඳහන් වේ. කූටාගාර මහත් රාශියක් සහිත ප්‍රාසාද ගැන වෙනත් සාහිත්‍ය කෘතීන්හි ද සඳහන් වේ. කූටාගාර සහිත ප්‍රාසාදය කූටාගාර නමින් ම හැඳින්වුණු බව මහාවනයේ කූටාගාර ශාලාව පිළිබඳ අටුවා විස්තරයන්ගෙන් පෙනෙයි.
ඉහත සඳහන් කළ පරිදි ලෝවාමහපාය පිළිබඳ මහාවංසයේ එන වර්ණනයෙහි 'එක එක මහලෙහි කුළුගෙවල් සියයක් සියයක් වූහ' යනුවෙන් සඳහන් වතුදු සිංහල ථූපවංසයෙහි තදනුරූප වර්ණනයෙහි සඳහන් වන්නේ, 'එකි එකී මහලෙක්හි සියක් සියක් ගබඩා ගෙවල් වීය' යනුවෙනි. සිංහල ථූපවංසය ලියූ කාලයේ දී කූටාගාර ගබඩා ගෙවල් වශයෙන් භාවිත කරන ලදැයි මේ අනුව සිතිය නොහැකි ද යන්න විමසා බලනු වටී.
මජ්ඣිමනිකායේ බහුධාතුක සූත්‍රයෙහි එන පාඨයකින් ද කූටාගාර පිළිබඳ තොරතුරු කීපයක් හෙළි වෙයි. එකී පාඨය ධර්මප්රදීපිකාවෙහි සිංහලට නඟා ඇත්තේ මෙසේය: 'යම් සේ නළ පැලෙකින් හෝ තණ පැලෙකින් හෝ නැඟි ගිනි උල්ලිප්තාවලිප්ත වූ නිවාත වූ සුපිහිතද්වාරවාතපාන ඇති කූටාගාරයනුදු දවා ද එසෙයින් මැ යම් කවර භයක් උපදී නම් ඒ හැම බාලජනයන් කෙරෙන් උපද්දි; පණ්ඩිතයන් කෙරෙන් උපදනේ නොවේ.' මෙහි 'උල්ලිප්තාවලිප්ත' යන පදයෙන් අදහස් කෙරෙන්නේ කූටාගාරයන්හි 'ඇතුළත පිටත හුනු ආදිය ගෑ' බවයි. 'නිවාත' යන්නෙහි සුළං නොවදින යන අර්ථය වේ. ලිපිය ආරම්භයේ රාමායණයෙන් උපුටා දැක්වූ 'ගුප්තස්වල්පගෘහෛ#' යන්නෙහි ගුප්ත යන පදයෙහි අරුත ද මීට සමාන වන බව සැලකුව මනායි. 'සුපිහිතද්වාරවාතපාන' යන්නෙන් අදහස් කැරෙන්නේ මනාව වසන ලද දොරවල් හා ජනෙල් කවුළු වූ බවයි. මජ්ඣිම නිකායෙහි ප්රස්තුත පාඨයෙහි එන එක් යෙදුමක් ධර්මප්රදීපිකා අනුවාදයෙන් බැහැර වී තිබේ. එකී යෙදුම වුකලී 'නිවාතානි' යන්නට පසුව ද 'පිහිතවාතාතපානි' යන්නට පෙරටුව ද යෙදෙන 'ඵූස්සිතග්ගළානි' යන්නයි. පාළි ග්රන්ථ ප්‍රකාශක සමාගමේ පාළි-ඉංග්‍රීසි ශබ්ද කෝෂයෙහි මේ පදය විස්තර කෙරෙන්නේ 'අල්ලන ලද අගුළු' හෝ 'දොරපළු' යන අරුත දෙන්නක් ලෙසිනි. එසේ ම යථෝක්ත පාඨයෙහි එන උපමාවෙන් පෙනෙන්නේ නළ පැල් හා තණ පැල් මෙන් නොව කූටාගාර සුස්ථිරව ඉදි කරන ලද උසස් ගණයේ ගෘහ විශේෂයක් සේ සලකන ලද බවයි.
අහසින් ගමන් කළ කූටාගාර විශේෂයක් ගැන ද බෞද්ධ සාහිත්‍යයෙහි නොයෙක් තැන සඳහන් වෙයි. අමාවතුරෙහි එන මෙම පාඨය නිදසුනකි. 'බුදුහු උදය ම සිරිරු පිළිදැගිනි කොට ගඳකිළියට වැද පලසමවත් සමවැද වැඩහුන්හ. සක් දෙව් රජහුගේ පඬුඇඹුල්සල අස්න හුණු වියැ. හේ “මේ කිමෙක හෝ”යි අවජනේ බුදුන්ගේ සුනාපරන්ත ජනපදයට ගමන් දැක විස්සම් දෙවි පුත්හු කැඳවා “පුතැ, අද බුදුහු තුන්සියක් යොදුන් තැන් සිඟන්නට වඩිති. පන්සීයක් කූටාගාර නිමවා දෙව්රම් දොරටු මුදුනෙහි සරා තබ”යි කීය. හේ අවුදු රුවන්මුවා පන්සියක් කූටාගාර මැවීය. බුදුනට කූටාගාරය සතර මුහුණ දෙ අගසව්වනට දෙමුහුණ. සෙස්සන්ට එක් මුහුණ. මෙසෙයින් නිර්මිත කූටාගාරයට බුදුහු ගඳකිළින් නික්ම පටිපාටියෙන් සිටි කූටාගාරයන් කෙරෙහි ප්‍රධාන කූටාගාරයට වන්හ. දෙඅගසවුවන් පටන් කොට එකුන් පන්සියක් සඟහුදු කූටාගාරගත වූහ. එකක් සිස් කූටාගාරයෙක් විය. පන්සියක් කූටාගාරයෝ අහසින් ගියහ. සීහළවත්ථුප්පකරණයෙහි මිද්දක තිස්සථෙරවත්ථුවෙහි ද මංගණවාසීථෙරවත්ථුවෙහි ද මෙබඳු කූටාගාර ගැන සඳහන් වේ. මෙකී විස්තරයන්හි කූටාගාර යන්නෙන් අදහස් කරන ලද්දේ රන්සිවිගෙය බව පෙනේ. යථෝක්ත විස්තරයන්හි සඳහන් කූටාගාර වූකලි ප්‍රාසාදවලට අයත් කූටාගාරවල ආකෘතියට අනුව නිමවන ලද රථ විශේෂයකැයි සිතිය හැකියි. දැනුදු ලක් වැසි බෞද්ධ ජනයා විසින් පවත්වනු ලබන මිහිඳු පෙරහැර ආදියේ ද හින්දු ජනයා විසින් පවත්වනු ලබන තේරු උත්සවයේ දී ද ප්‍රතිමා වඩමවන රථ විශේෂය මෙහි දී කෙනෙකුගේ සිහියට නැඟේ. ඉහත උපුටා දක්වන ලද අමාවතුරු පාඨයෙන් හෙළි වන වැදගත් කරුණක් නම් මුහුණු කීපයක් සහිතව කූටාගාර නිමැවීමේ සිරිතක් පැවැති බවයි. 'සක්කො පඤ්චමුඛ කූටාගාරං.....නිම්මාපෙත්වා' යන සීහළවත්ථුප්පකරණ පාඨයෙන් ද එකී අදහස තහවුරු වෙයි.
කූටාගාර පිළිබඳ යථෝක්ත ග්රන්ථාගත විස්තර පැරණි ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයෙහි යම් යම් ශිල්පී න්‍යායයන් ගැන අවබෝධයක් ලැබීමට ද ඉවහල් වෙයි.
ජිනදාස ලියනරත්න