කුල ක්‍රමය.

සිංහල විශ්වකෝෂය වෙතින්
19:33, 19 සැප්තැම්බර් 2017 වන විට Chamila (කතාබහ | දායකත්ව) ('කුල ක්‍රමය (සිංහල). ශ්‍රී ලංකාවේ සිංහල වර්ගයාග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කුල ක්‍රමය (සිංහල). ශ්‍රී ලංකාවේ සිංහල වර්ගයාගේ ආරම්භය ඇති වූයේ ක්‍රි.පූ. හවැනි සියවස පමණේ සිට වෙළහෙළඳාම් ආදිය සඳහා වරින් වර ඉන්දියාවෙන් පැමිණ ජනාවාස පිහිටුවාගත් ආර්යයන්ගෙනැයි යනු සාමාන්‍යයෙන් පිළිගත් මතයයි. ආර්යයන් මෙහි පදිංචියට පැමිණීමෙන් පසුව ද එකල ඉන්දියාවේ පැවති කුල ක්‍රමය අනුගමනය කරන්නට ඇති බවට සැකයක් නැත. එබැවින් අනුරාධපුර යුගයේ මුල් කාලයේ දී මෙහි පැවතුණේ ඉන්දියාවේ එකල පැවති කුල ක්‍රමයට සමාන වූවක් බව සිතිය හැකිය. ක්‍රි.පූ. හවැනි සියවස පමණේ දී ඉන්දියානු සමාජය බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන ප්‍රධාන කුල හෙවත් වර්ණ හතරකට හා තවත් උප කුල රාශියකට ද බෙදී තිබුණි. මෙසේ කුල වශයෙන් ඉන්දියානු සමාජය එදා බෙදී පැවති බව පෙනෙන්නේ එකල ඔවුන් නිරත වී සිටි වෘත්තිය හෝ රක්ෂාව අනුවයි. රැකීරක්ෂා හා වෘත්තීන් අනුව සිංහල සමාජය ද කුල වශයෙන් එකල බෙදී පැවති බව මෙරට වංසකථා හා සාහිත්‍ය මූලාශ්‍රයවලින් හෙළි වෙයි. මේ අනුව බලන විට පෙනී යන්නේ මෙරට කුල ක්‍රමය ලංකාවේ ආරම්භ වී විකාසය වූවක් නොව ඉන්දියානු ක්‍රමයේ ම විකාසයක් පමණක් බවයි.

මුලින් ම ශ්‍රී ලංකාවට පැමිණි ආර්ය කණ්ඩායම් අතර ඉන්දියානු දේශීයයන් වූ දස්‍යු නමින් හඳුන්වනු ලැබූ ශුද්‍ර කුලයට අයත් වූවන් හැරුණුවිට අනෙක් සෑම කුලයකට ම පාහේ අයත් පිරිස් වූ බවට සාක්ෂ්‍ය ලැබේ. විජය කුමාරයා සමඟ පැමිණි පිරිස අතර ක්ෂත්‍රිය හා බ්‍රාහ්මණ යන කුලවලට අයත් වූවන් වූ බව කියැවේ. විජයට හා ඔහුගේ පිරිසට භාර්යාවන් වශයෙන් මදුරාපුරයෙන් පැමිණි ක්ෂත්‍රිය කන්‍යාවන් සමඟ අටළොස් ශිල්පී සමූහයන් ගෙන් කුල දහයක් ද ලංකාවට පැමිණි බව වංශකථාවෙහි සඳහන් වෙයි. දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 247-207) දවස ශ්‍රී මහා බෝධි ශාඛාව සමඟ එහි ආරක්ෂාව සඳහා බ්‍රාහ්මණ, වෛශ්‍ය, ගොපලු, තරච්ඡ, කුලිඬ්ග, පේසකාර, කුම්භකාර, ලෝහකාර, සුවණ්ණකාර, චිත්තකාර ආදි විවිධ කුලවලට අයත් විශාල පිරිසක් ඉන්දියාවේ සිට මෙහි පැමිණි බවත් පසුව ඔවුන් ලංකාවේ නොයෙක් ප්‍රදේශවල පදිංචි වූ බවත් මහාබෝධිවංසයෙන් හෙළි වෙයි. මේ සාක්ෂ්‍යවලින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ පූර්වභාගයේ සිංහල සමාජයේ විවිධ කුලයට අයත් වූවන් විසූ බවය.

ඉහත කී පරිදි ඉන්දියානු කුල ක්‍රමය ලංකාවේ මුල් බැසගත් බව පෙනෙන නමුත් කල් යාමේදී එය ඉන්දියානු ක්‍රමයට වඩා වෙනස් අයුරකින් විකාසය වී ගිය බව දැක්ක හැකිය. ලංකාවේ මුල් පදිංචිකරුවන් හැඳින්වීම සඳහා ඉන්දියාවේ මෙන් ශුද්‍ර යන වචනය යොදාගත් බවක් නොපෙනේ. ඒ වෙනුවට ඔවුන් භාවිත කොට ඇත්තේ මිලක්ඛ (ම්ලේච්ඡ) හෙවත් මිලක යන වචනයයි. මේ වචනය වුව ද වෙන ම කුලයක් වශයෙන් ස්වදේශිකයන් වෙන් කොට දැක්වීම සඳහා යොදා ගත් බවක් පෙනෙන්නට නැත.

චතුර් වර්ණ: එකල ඉන්දියානු සමාජය චතුර් වර්ණයකට හෙවත් ප්‍රධාන කුල සතරකට බෙදී පැවතියාක් මෙන් ම අනුරාධපුර යුගයේ අවසානය පමණ වන විට ශ්‍රී ලංකාවේ සමාජය ද රජ, බමුණු, වෙළෙඳ, ගොවි යනුවෙන් ප්‍රධාන කුල සතරකට හා අප්‍රධාන කුල රාශියකට බෙදී පැවති බව පෙනේ. පූජාවලිය රජ, බමුණු, වෙළෙඳ, ගොවි යන්න චතුර් වර්ණ ලෙස හඳුන්වා ඇත.

ක්ෂත්‍රිය කුලය : අනුරාධපුර යුගයේ දී මෙන් ම ඊට පසු කාලවල දී ද රටේ පාලන බලය හිමිකර ගන්නා ලද්දේ ක්ෂත්‍රියයන් වශයෙන් හැඳින්වුණු රජදරුවන් හා වෛශ්‍ය කුලයට අයත් වූවන් විසිනි. අපේ වංසකථාවල එන තොරතුරුවලට අනුව වරින් වර ලංකාව ආක්‍රමණය කොට බලය අල්ලාගත් දකුණු ඉන්දියානු පාලකයන් හැරුණු විට විජය රජුගේ පටන් මහනුවර රාජධානියේ රජ කළ අවසාන සිංහල නරපතියා වූ නරේන්ද්‍රසිංහ (1707-1739) රජු දක්වා වූ සෑම රජකු ම අයත් වූයේ ක්ෂත්‍රිය කුලයටය. අනුරාධපුර යුගයේ අවසාන හරියේ දී රජ කළ රජවරුන්ට අයත් සෙල්ලිපි රාශියක ම තමන් පැවත එන්නේ ක්ෂත්‍රිය කුලයට කොතක් වැනි වූ ඔක්කාක වංශයෙන් (කැත් කුල කොත් ඔකාවස් රජ පරපුරෙන්) බව සඳහන් වී ඇත. පොළොන්නරුව, දඹදෙණිය හා කෝට්ටේ රජ කළ රජවරු ද තම තමන් ක්ෂත්‍රිය කුලයට අයත් වූවන් බව ඔවුන්ගේ සෙල්ලිපිවලින් ප්‍රකාශ කොට සිටිති. ඒ ඒ යුගවලට අයත් රජවරුන්ගේ රාජසභාවල සිටි ඇමතිවරුන් හා රජයේ උසස් නිලධාරීන් සියල්ලන් ම පාහේ අයත් වූයේ ක්ෂත්‍රිය කුලයට හෝ වෛශ්‍ය කුලයටය.

බ්‍රාහ්මණයෝ: රජ කුලය හා වෛශ්‍ය කුලයට අමතරව සමාජයේ උගත් පිරිස වශයෙන් සැලකුණු බ්‍රාහ්මණ කුලයේ ඇතැම් සාමාජිකයන් ද රජයේ උසස් නිලතල උසුලා ඇති බවට ද රජ පවුල් හා විවාහ සම්බන්ධකම් ඇති කොටගෙන සිටි බවට ද ලෙන් ලිපිවලින් සාක්ෂ්‍ය ලැබේ.

වෛශ්‍ය කුලය හෙවත් ගොවි කුලය: ඉන්දියානු සමාජයේ තුන්වැනි කුලය වශයෙන් සැලකූ වෛශ්‍ය කුලයට ආවේණික වූ වෘත්තීන් දෙකක් වන වෙළෙඳාමෙහි හා ගොවිතැනෙහි යෙදුණවුන් කුල දෙකක් වශයෙන් සැලකීම නිසා ඉන්දියානු සමාජයේ ප්‍රධාන කුල සතරට මඳක් වෙනස් වූ කුල සතරක් මෙහි ඇති විය. පැරණි ලෙන් ලිපිවල සඳහන් වන පරුමක, ගමික හා ගපති හෙවත් ගහපති යනුවෙන් හඳුන්වා ඇති හැම දෙනෙකු ම පාහේ රජයේ යම් යම් නිලතල දැරුවන් වූ අතර ඔවුන් වැඩි දෙනෙකු අයත් වූයේ වෛශ්‍ය කුලයටය. සහස්සවත්ථුප්පකරණයට හා රසවාහිනියට අනුව දුටුගැමුණු රජුගේ යුද හමුදාවේ ඉහළ තනතුරු දැරූ දශමහා යෝධයන්ගෙන් වැඩිදෙනෙකු අයත් වූයේ වෛශ්‍ය කුලයටය. වෛශ්‍ය කුලයට අයත් වූ පරුමකයන්ගෙන් ඇතැමකු විවාහ මඟින් රජ පවුල් හා සම්බන්ධ වී සිටි බව ලෙන් ලිපි කිහිපයකින් හෙළි වෙයි. ගොවි කුලය පොළොන්නරු යුගයේ පළමුවැනි විජයබාහු රජුගේ පරම්පරාව අවසන් වී කාලිංග වංශයට රාජ්‍ය බලය හිමි වූ කාලය වන විට සංඛ්‍යාවෙන් පමණක් නොව නිලතල හා දේශපාලන බලතල අතින් ද තර වී සිටි බව නිශ්ශඞ්කමල්ල රජුගේ පොළොන්නරු උතුරු වාසල් බලකොටු පවුරු ලිපියෙහි එන: “ගොවි කුලෙහි ඇත්තන් රාජලීලාව නොපැවතුව මැනැවැ. කෙසේ බලවත් වුව ද ගොවි කුලෙහි ඇත්තො රාජ්‍යයට බලා නොගත යුත්තාහ. තමා හා සමගැත්තන් වැඳ පුදා රාජ සම්භාවනා කළාහු ද උන්ගෙන් නම් තනතුරු ලද්දාහු ද රාජද්‍රෝහී නම් මැ වෙති” යන පාඨයෙන් හෙළි වෙයි. මේ තත්ත්වය මහනුවර යුගය වන විට තව තවත් වර්ධනය වී ගිය බවට සැකයක් නැත.

සමාජ ස්තර: රටේ පාලන බලය ලැබීම නිසාත් රජයේ උසස් තනතුරු ලැබීම නිසාත් සමාජයේ උසස් ම තැනට අනුරපුර යුගයේ දී ම පත් වූ ක්ෂත්‍රියයන් හෙවත් රජ කුලයේ සාමාජිකයන් හා වෛශ්‍ය කුලයේ සාමාජිකයන් රටේ ඉඩම් හිමි ධනපති පන්තිය බවට ද පත් වූ බව දුටුගැමුණු රජු ලංකාව එක්සත් කිරීමෙන් පසු තමාගේ යෝධයන් ඒ ඒ ප්‍රදේශවලින් ගම් නියම්ගම් භෝගගම් වශයෙන් පවරා දී බොහෝ වස්තුව ද දුන් බව සහස්සවත්ථුප්පකරණයෙහි සඳහන් වී ඇති බැවිනුත් ගැල් දහසක පටවන තරම් ධාන්‍ය එක අස්වැන්නකින් ලැබූ කෙළෙඹි පුත්‍රයන් කිහිප දෙනකු ගැන සීහලවත්ථුප්පකරණයෙහි සඳහන් වී ඇති බැවිනුත් අපට සිතාගත හැකිය. ප්‍රධාන කුලවලට අයත් අය මෙසේ රටේ බලතල හා විශාල වශයෙන් ධනධාන්‍ය අත්පත්කර ගැනීම නිසා ඔව්හු සමාජයේ විශේෂ වරප්‍රසාදවලට ද හිමිකම් ලබන්නට වූහ. රජයේ උසස් නිලතලවලට පත් වීමට හිමිකම තුබුණේ මේ ප්‍රධාන කුලවලට අයත් පවුල්වල සාමාජිකයන්ට පමණකි. “රාජරාජ මහාමාත්‍යාදීන්ගේ කුලයෙහි උපැද උපධිසම්පතට ප්‍රාප්ත වැ ආත්මභාවසමෘද්ධිය සිටියාහුගේ ..... අනාත්මභාවය දැක මොව්හට යුවරජ සේනාපති භාණ්ඩාගාරිකාදි ස්ථානාදීහු ම නිස්සහ යි තරුණ ස්වභාවය ඇතියව්හට මැ ස්ථානාන්තරයන් දෙති” යන ධර්මප්‍රදීපිකා පාඨයෙන් මේ බව පෙන්නුම් කරයි. එමෙන් ම ඔවුන්ගේ නිවාස, යානවාහන, ඇඳුම් පැලඳුම්, හිඳිනා අසුන් ආදිය පමණක් නොව ආමන්ත්‍රණය කරනු ලබන ආකාරය හා ඒ සඳහා යොදාගන්නා වචන පවා අප්‍රධාන කුලවලට අයත් වූ අයගේ ඒ ඒ දේවල් හා ආමන්ත්‍රණය කරනු ලැබූ ආකාරයට වඩා වෙනස් විය. මේ විශේෂ වරප්‍රසාද භුක්ති විඳීමට ප්‍රධාන කුලවලට අයත් අය ලැබූ අයිතිය නිසා ම එවැනි වරප්‍රසාද නොලත් සමාජ කොටස් අප්‍රධාන කුල වශයෙන් සැලකීමට ප්‍රධාන කුලවල අය පසු කලක දී පුරුදු වූහ. ලංකාවේ වැඩවසම් ක්‍රමයේ ආරම්භයත් සමඟ මේ තත්ත්වය වඩාත් දැඩි වූ බව සිතිය හැකිය. අනුරාධපුර යුගයේ අවසාන හරියේ පමණ සිට සිංහල සමාජය ප්‍රධාන හා අප්‍රධාන කුල වශයෙන් බෙදී පැවතිණ. මධ්‍යකාලීන සිංහල සමාජයේ ගොවිතැන ප්‍රධාන වෘත්තිය කොටගත් වෛශ්‍යයන් ප්‍රධාන කුලය වශයෙන් ද නොයෙකුත් කර්මාන්ත තමන්ගේ ප්‍රධාන වෘත්තිය කොටගත් විවිධ ශිල්පී ශ්‍රේණීන් අප්‍රධාන කුල වශයෙන් ද සලකා ඇති බව ගයිගර්ගේ මතයයි. ධර්මප්‍රදීපිකාව හා ජාතක අටුවා ගැටපදය වේණුකාර, නේසාද, රථකාර, පුක්කුස හා චණ්ඩාල ආදි කුල අප්‍රධාන කුල වශයෙන් නම් කොට ඇත.

කුලාන්තර සබඳතා: ලංකාවේ කුලාන්තර විවාහවලින් උපන් දරුවන් වෙන ම කුලයකට අයත් වූ බවක් නොපෙනේ. මහාවංසය, බෝධිවංසය, සීහලවත්ථුප්පකරණය, සහස්සවත්ථුප්පකරණය, වංසත්ථප්පකාසිනිය ආදියට අනුව අනුරාධපුර යුගයේ පැවැති බව පෙනෙන්නේ ඉන්දියාවෙන් මෙහි පැමිණි බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වාණිජ, සෙට්ඨි, ගෝපක, තරච්ඡ, කුලිඬ්ග, කප්පක, නහාපක, පාසාණ, කොට්ටක, කේවට්ට, පේසකාර, කුම්භකාර, කම්මාර, සොණ්ණකාර, මණිකාර, ලෝහකාර ආදි කුල හා දඬුවම් වශයෙන් කුලයෙන් පහත හෙළනු ලැබූවන් ලෙස සැලකෙන චණ්ඩාල කුලයත් තවත් කුල කිහිපයකුත් පමණි. සමහර විට මේ කුල අතරින් ද ගෝපක, තරච්ඡ, කුලිඬ්ග ආදීන් හැදින්වීමේ දී මහාවංසය කුලය යන වචනය යොදා ගෙන ඇත්තේ දැනට කුලය යන වචනය අප යොදා ගන්නා තේරුමෙන් නොව පවුල යන අදහස දීමට විය හැකිය. අනුරාධපුර යුගයේ පතපොතෙහි දකින්නට ලැබෙන කුල නාමාවලිය ම පොළොන්නරු, දඹදෙණි, ගම්පොළ, කෝට්ටේ ආදි යුගවල දී හමු වේ. දහහත්වැනි සියවසේ අගහරියේ දී මහනුවර රාජධානියට අයත් ප්‍රදේශයක විසූ රොබට් නොක්ස් එකල ඒ ප්‍රදේශයේ ජීවත් වූ කුල කිහිපයක් ගැන තම කෘතියෙහි සඳහන් කරයි. මහනුවර කාලයේ දී ලියන ලදැයි සිතිය හැකි ජනවංසය නමැති කාව්‍යයෙහි එකල පැවැති කුල සියල්ලක් ම පාහේ සඳහන් වී ඇත. මේ කුල අතර අනුරාධපුර, පොළොන්නරු ආදී යුගවල දී අසන්නට නොලැබුණු කුල කිහිපයක් ද වෙයි. එයින් සමහරක් ඇතැම් පැරණි කුල වෙනුවෙන් යොදා ගන්නා ලද අලුත් නම් බව ද ඇතැම් කුල පැරණි කුල කීපයකින් බෙදී වෙන් වූ උප කුල බව ද පෙනේ. දැනට මුහුදුබඩ පළාත්වල පමණක් බහුලව ජීවත්වන ඇතැම් කුල ද මේ කුල නාමාවලියට ඇතුළත් වී ඇත.

දඹදෙණි යුගයට අයත් රසවාහිනියෙහි අරියගාලතිස්ස වත්ථුවෙහි දැක්වෙන අයුරු රුහුණු මාගම මහාධනදේව නම් ඇමැතියකුගේ පුත්‍ර තිස්ස නම් තරුණයාගේ භාර්යාව බවට පත් වූ සුමනා නම් තරුණියකගේ දෙමාපියන් ඒ විවාහයට ඔවුන්ගේ අනුමැතිය දුන්නේ ඔහුගේ කුලවංස ආදිය විචාරා දැනගැනීමෙන් පසුව බව කියැවේ. සිරිසඟබෝ රජතුමා ගෝඨාභය කුමරුට බියෙන් රාජ්‍යය අත්හැර පලා ගොස් මලය රටේ විසූ අවස්ථාවේ දී එතුමාට මුණ ගැසුණු මගියා විසින් පිදූ ආහාරය පිළිගැනීමට එතුමා මැළි කළ විට “උත්තම වූ ජාති ඇති අනුභවයට යෝග්‍ය වූ වංශයෙහි උපන්නෙම් වෙමි” යනුවෙන් ප්‍රකාශ කළ බව හත්ථවනගල්ල විහාරවංසයෙහි සඳහන් වෙයි. මේ සාක්ෂ්‍ය වලින් පෙනී යන්නේ ප්‍රධාන හා අප්‍රධාන කුල අතර විවාහ සම්බන්ධතා හෝ එබඳු කුල දෙකක සාමාජිකයන් එකට හිඳ ආහාර ගැනීම හෝ අප්‍රධාන කුලයක අයගෙන් ප්‍රධාන කුලයක අය කෑම්පීම් ආදිය පිළිගැනීම හෝ එකල සමාජය අනුමත නොකළ බවය. මේ දෙපක්ෂය අතර විවාහ සම්බන්ධතා ඇතිකර ගැනීම හා එකට හිඳ ආහාර අනුභව කිරීම ආදිය පැරණි සිංහල සමාජයෙන් අනුමත නොවූවත් සමාජයේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය නිෂ්පාදන හා සේවාවන් සියල්ල ම පාහේ සැපයුණේ අප්‍රධාන කුලවලට අයත් වූවන්ගෙන් බැවින් ප්‍රධාන කුලවල සාමාජිකයන් විසින් සෙසු කුල හෙළා දුටු බවක් නොපෙනේ. ඕනෑ ම අප්‍රධාන කුලයක සාමාජිකයකුට තමාගේ පාරම්පරික රැකියාවට අතිරේකව ගොවිතැන් කිරීමට ද අයිතියක් තුබූ බවට සාක්ෂ්‍ය ඇත.

සිරිමල් රණවැල්ල

(වර්ණ සංකල්පය බ.)

"http://encyclopedia.gov.lk/ltrl_cyclopedia/si_encyclopediaV2/index.php?title=කුල_ක්‍රමය.&oldid=1082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි