ඕල්කොට්, හෙන්රි ස්ටීල් (1832-1907).

සිංහල විශ්වකෝෂය වෙතින්
19:14, 19 සැප්තැම්බර් 2017 වන විට Chamila (කතාබහ | දායකත්ව) ('ලංකා බුද්ධ ශාසනයේ වර්තමාන පුනරුත්ථානයෙහි ලා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකා බුද්ධ ශාසනයේ වර්තමාන පුනරුත්ථානයෙහි ලා අද්වීතිය සේවාවක් කළ ක’නල් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා උපන්නේ 1832 අගෝස්තු මස 2වැනි දා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිව් ජ’සියේ ඔරේන්ජ්හි දීය. ඔහුගේ පියා හෙන්රි වයිකොප් ඕල්කොට් මහතායි. මව ඇට්ලි ස්ටීල් මහත්මිය වූවාය. බාල වියෙහි දී ම කෘෂිකර්මය කෙරෙහි මහත් උනන්දුවක් දැක් වූ හේ පාසල් දිවියෙන් පසු ආදර්ශ ගොවිපළකට බැඳී කෘෂිවිද්‍යාවෙහිත් කෘෂිකර්මයෙහිත් ශූරයෙක් විය. කෘෂිවිද්‍යාඥයකු ලෙස ඔහුගේ කීර්තිය පරදේශයන්හි පවා පැතිර ගියෙන්, ග්‍රීසියේ ඇතන්ස් විශ්වවිද්‍යාලයෙහි කෘෂිවිද්‍යාව පිළිබඳ ප්‍රධාන ආචාර්‍ය්‍ය පදවිය ඔහුට පිරිනැමිණ. එහෙත් මේ ගෞරවය ප්‍රතික්ෂේප කළ ඕල්කොට් මවුන්ට් ව’නන් අසල වෙස්ට්චෙස්ටර්හි කෘෂිවිද්‍යාලයක් සිය මිතුරකුගේ සහාය ද ඇතිව පිහිටුවා ලීය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ වර්තමාන ජාතික කෘෂිවිද්‍යා ආයතනයන්ගේ මූලස්ථානය ලෙස සැලැකෙන්නේ මේ විද්‍යාලයයි. ඇමෙරිකාවට ඉදල් ඉරිඟු ගෙන එන ලද්දේ මේ වකවානුවෙහිය. එම ධාන්‍ය වර්ගය වගා කිරීම සඳහා මූලික පර්යේෂණ කැරුණේ ඕල්කොට්තුමා විසින් පිහිටුවනු ලැබූ වෙස්ට්චෙස්ටර්හි කෘෂිවිද්‍යාලයෙහිය. ඉදල් ඉරිඟු වගාව ගැනත්, උක් වගාව ගැනත් වැදගත් ග්‍රන්ථ දෙකක් ඕල්කොට්තුමා විසින් පළ කරන ලදි. මෙයින් ඔහුගේ නම කොතරම් ප්‍රකට වීද යත්, වොෂිංටනයේ කෘෂි ආයතනයේ අධ්‍යක්ෂ ධුරය ඔහුට පිරිනැමිණ. එය ප්‍රතික්ෂේප කළ ඕල්කොට්තුමා කෘෂිවිද්‍යාවෙහි විශේෂ අධ්‍යනයක් කරනු සඳහා 1858 දී යුරෝපයට ගියේය. එහි දී සිත් වූ පරිද්දෙන් ස්වකීය අභිලාෂය ඉටු කරගත් මේ කෘෂිවිද්‍යා විශේෂඥයා සියරට පැමිණියේය. ඇපල්ටන්ගේ ඇමෙරිකානු විශ්වකෝෂයට කෘෂිකර්මය පිළිබඳ ප්‍රමාණාත්මක, සාරගර්භ ලිපියක් මෙතෙම සැපයුවේ මේ දවස්වලය. එහෙත් මෙසේ ඉමහත් උනන්දුවකින් ලබාගත් කෘෂිවිද්‍යාඥානයෙන් රටට සේවාවක් කරන්නට ඔහුට අවසරයක් නොලැබිණ.

ඒබ්‍රහම් ලිංකන් ජනාධිපතිතුමා විසින් එක්සත් ජනපදයෙහි වහල් මෙහෙවර අවලංගු කරන ලදි. සියලු ම වහල්ලු මුදා හරින ලදහ. ආණ්ඩුව ගත් මේ පියවර නොරිස්සූ දක්ෂිණ ජනපද උත්තර ජනපදයන්ගෙන් වෙන් වී සංයුක්ත ජනපද (Confederate States) යන නමින් වෙන ම රජයක් පිහිටුවා ගන්නා ලදි. මේ භේදය හේතු කොටගෙන දෙපක්ෂය අතර යුද්ධයක් ඇවිලිණ. ඕල්කොට්තුමාට ද නඟුලත් පෑනත් පසෙක තබා රණ බිමට යන්නට සිදු විය. ඔහු ගියේ නීත්‍යනුකූල රජයේ හමුදාවේ මුලාදෑනියකු වශයෙනි. රණ බිමෙහි දී නොයෙක් සුරුවිරුකම් පෑව ද, යම්කිසි හේතුවකින් හේ රෝගාතුර විය. රෝගයට ප්‍රතිකාර ගනු පිණිස නිව් යෝක් නුවරට යන්නට විය. එහි දී ලබන ලද පිළියමින් ලෙඩ සුව වුණ ද පෙරළා රණ බිමට නොගියේය. යුද්ධ අධිකාරියේ අන්‍යතර වැදගත් කාරියෙක යෙදෙන්නට වූ හෙයිනි. රණබිමෙහි දී පෑ සුරුවිරුකම් නිසා තනතුරින් උසස් කරනු ලැබූ ඔහුට “ක’නල්” නමැති සෙන්පති පදවිය ද පිරිනැමිණ. යුද්ධය කෙළවර විය; නීත්‍යනුකූල රජය ජය ගති; දාමරික රජය අන්ත පරාජයට පත් විය. අමෙරිකානු ජනපද යළිත් එක් රජයක් විය. මුළු රටට නවයුගයක් ද උදා විය. ඕල්කොට්තුමා ද නව වෘත්තියක් සොයනුයේ නීතිය සිය දිවි පෙවෙත සඳහා තෝරා ගති.

නීතිවේදියකු ලෙස කටයුතු කරන ඕල්කොට්තුමාගේ මනසෙහි ද මේ කාලයේ විපර්යාසයක් ඇති වන්නට වූ බව පෙනේ. ඔහුගේ සිත ප්‍රාචීන ආගම ධර්ම හා දර්ශන කෙරෙහි ඇදෙන්නට විය. ඔහුට හෙලේනා පෙට්රොවිනා බ්ලැවැට්ස්කි නමැති රුසියානු මහෝපාසිකාව හමු වුණේ ද මේ කාලයෙහි දීය. දෙදෙනා එක් වී “සත්‍යයට වඩා ඉහළ ධර්මයක් නැත” යන අදහස පදනම් කර ගෙන බ්‍රහ්ම විද්‍යා සමාජය හෙවත් පරම විඥනාර්ථ සමාගම නමැති සමිතියක් 1871 නොවැම්බර් 17 වැනි දා නිව් යෝක් නුවර දී පිහිටුවාලූහ. ඉංග්‍රීසි භාෂාවෙන් “තියොසොෆිකල් සොසයටි” යන නමින් හැඳින්වෙන මේ සමිතිය එරටට නව එළියක් දෙන්නට විය. බුද්ධිමත්හු සිය ගණනින් එයට ඇදී එන්නට වූහ. වැඩි කලක් යන්නට මත්තෙන් එක්සත් ජනපද රාජ්‍යයේ නොයෙක් නගරයන්හි මේ අපූර්ව සමාගමයේ ශාඛා පැන නැගිණ.

මේ වනාහි ශ්‍රී ලංකාවේ බෞද්ධයනයට ක්‍රිස්තියානි ධර්මප්‍රචාරකයන්ගෙන් නොයෙක් හදි ඇතිවුණු කලෙක් විය. මේ ධර්මප්‍රචාරකයන්ගේ බලහත්කාරකම්වලට විරුද්ධව නැඟ සිටි බෞද්ධ නායකයනුත් ඔවුනුත් අතර නොයෙක් ගැටුම් ඇති විය. ඇතැම් විට මේ ගැටුම් ධර්මවාද ස්වරූපය ද ගති. මෙසේ ඇති වූ ධර්මවාද කෙරෙන් පසක් මුඛ්‍ය වේ. එයිනුත් පානදුරේ ඇති වූ වාදය ගත්තේ වෙසෙසි තැනෙකි. මෙහි දී බෞද්ධ පක්ෂයේ ප්‍රධාන වාදියා වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමැති භික්ෂුන් වහන්සේ පෑ වාක්චාතුර්‍ය්‍යය විස්මයජනක විය. එහි ඇතැම් ක්‍රිස්තියානිකාරයන් පවා පැහැදුණු සැටියි. එදවස ද ප්‍රධාන ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක් වූ “ටයිම්ස් ඔෆ් සිලෝන්” නමැති පත්‍රයේ තත්කාල සංස්කාරක ජෝන් කැපර් එසේ පැහැදුණු කෙනෙකි. හේ පානදුරා වාදයේ දී කැරුණු දේශන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරවා පොතක් වශයෙන් පළ කෙළේය. ඒ දවස්වල දේශාටනය සඳහා මෙරටට ආ පීබල්ස් නමැති ඇමෙරිකානු ජාතිකයකුට මේ ප්‍රකාශනයේ පිටපතක් ගාල්ලේ දී ලැබිණි. හේ පෙරළා සිය රටට ගිය පසු එය එහි දී යළිත් මුද්‍රණය කරවා රට පුරා බෙදා හැරියේය. මේ ඇමෙරිකානු සංස්කරණයේ පිටපතක් ඕල්කොට්තුමාට ලැබිණ. එය කියවූ ඔහුත් මිගෙට්ටුවත්තේ හිමියනුත් අතරේ හිතමිත්‍රකමක් එයින් ඇති විය. මේ මිත්‍ර කම නිසා ඕල්කොට්තුමාට ලක්දිවට එන්නට සිතිණ.

1880 මැයි 17වැනි දින ඕල්කොට්තුමාත් බ්ලැවැට්ස්කි මහෝපාසිකාවක් ගාලු වරායෙන් ලංකාවට ගොඩ බටහ. මේ දවස ලංකා බුද්ධශාසන ඉතිහාසයෙහි රන් අකුරින් සටහන් කැර තැබිය යුතු දවසෙකි. එදා ලංකාවාසී බෞද්ධයන් සිටියේ ඉතා අසරණ තත්ත්වයකය. ඔවුන්ගේ දරුවන්ට අධ්‍යයනය සඳහා එක ද ඉංග්‍රීසි පාඨශාලාවක් නොතිබිණ. සිංහල පාසල් වුව තුබුණේ අතළොස්සකි. උසස් අධ්‍යයනයක් රිසි වූවනට ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නට සිදුවන තරම් තත්ත්වයක් පැවතියේය. සකල අධ්‍යාපන ක්ෂේත්‍රය ම ක්‍රිස්තියානි මිෂනාරිවරුන් සතුව පැවති හෙයිනි. මේ තත්ත්වය දුටු ඕල්කොට්තුමා බෞද්ධ පාඨශාලා පිහිටුවීම තමා විසින් කළ යුතු ප්‍රධාන කාර්යය වග වටහා ගති. රට පුරා ඇවිද, බෞද්ධ ගෘහස්ථ ප්‍රභූන් හමු වී, ඔවුන්ගේ සිත් දිරිමත් කැර, ඔවුන්ගේ ආධාර ද ඇතිව ගාල්ල, කොළඹ, මහනුවර යන ප්‍රධාන නගර තුනෙහි ඉංග්‍රීසි පාසල් තුනක් පිහිටුවා ලීමෙහි එතුමා සමත් විය. අද මහින්ද, ආනන්ද, ධර්මරාජ යන නමින් ඒ නගරයන්හි වැජැඹෙන්නේ මේ පාසල් තුනින් අට ගත් මහා විද්‍යායතනයි. පාසැල් පිහිටවනු සඳහා ස්වකීය පරමවිඥානාර්ථ සමාගමේ ශාඛා දෙකක් ගාල්ලෙහිත් කොළඹත් පිහිටුවා ලීය. බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම යන නමින් පසු කලෙක ප්‍රකට වූයේ ඒ කොළඹ ශාඛාවයි. වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට ආණ්ඩුව කැමති කැරැවීම හා බෞද්ධ කොඩිය සකස් කිරීම ඕල්කොට්තුමා කළ තවත් වැදගත් කාර්‍ය්‍ය දෙකකි. බෞද්ධ ශිෂ්‍යයන්ගේ ආගමාධ්‍යයනය සඳහා “බෞද්ධ කථෝපකථනය” නමැති ප්‍රශ්නෝත්තර ග්‍රන්ථයක් සකස් කිරීම එතුමා කළ තවත් වැදගත් කාර්‍ය්‍යයෙකි. මේ ග්‍රන්ථය හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ උපදෙස් අනුව කැරුණකි. ඕල්කොට්තුමා රට වටා දේශනා කරමින් බෞද්ධයා පුබුදුවමින් ගිය චාරිකාවෙහි දී පසු කලෙක “අනගාරික ධර්මපාල” නමින් ලෝ පතළ නමක් දිනා ගත් දොන් ඩේවිඩ් හේවාවිතාරණ මහතා සහාය විය. එතුමාගේ ඇසිර යැ හේවාවිතාරණ මහතාගේ අභිනිෂ්ක්‍රමණයට ද හේතු වුණේ. මෙසේ බෞද්ධයනට හිත වැඩ සලස්වමින් කටයුතු කරන අතරතුරේ ඉන්දියාවට ගොස් එහි මදුරාසි නගරය ස්වකීය සමාගමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය කැර ගති. අදත් පරමාවිඥානාර්ථ සමාගමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය එහියැ. ජීවිතයේ පශ්චාත් භාගය භාරතීය පංචම ජනතාවගේ ශුභ සිද්ධිය සඳහාත් පරමවිඥානාර්ථ වාදය ලොව පුරා ප්‍රචාරය කිරීම සඳහාත් කැප කළ ඕල්කොට්තුමා පුරා පන්සැත්තෑවසක් ආයු වළඳා 1907 පෙබරවාරි 17වැනි දා මදුරාසියේ දී ජන්මාන්තර ගත විය.