කුල ක්‍රමය.
කුල ක්‍රමය (සිංහල). ශ්‍රී ලංකාවේ සිංහල වර්ගයාගේ ආරම්භය ඇති වූයේ ක්‍රි.පූ. හවැනි සියවස පමණේ සිට වෙළහෙළඳාම් ආදිය සඳහා වරින් වර ඉන්දියාවෙන් පැමිණ ජනාවාස පිහිටුවාගත් ආර්යයන්ගෙනැයි යනු සාමාන්‍යයෙන් පිළිගත් මතයයි. ආර්යයන් මෙහි පදිංචියට පැමිණීමෙන් පසුව ද එකල ඉන්දියාවේ පැවති කුල ක්‍රමය අනුගමනය කරන්නට ඇති බවට සැකයක් නැත. එබැවින් අනුරාධපුර යුගයේ මුල් කාලයේ දී මෙහි පැවතුණේ ඉන්දියාවේ එකල පැවති කුල ක්‍රමයට සමාන වූවක් බව සිතිය හැකිය. ක්‍රි.පූ. හවැනි සියවස පමණේ දී ඉන්දියානු සමාජය බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්‍ය, ශුද්‍ර යන ප්‍රධාන කුල හෙවත් වර්ණ හතරකට හා තවත් උප කුල රාශියකට ද බෙදී තිබුණි. මෙසේ කුල වශයෙන් ඉන්දියානු සමාජය එදා බෙදී පැවති බව පෙනෙන්නේ එකල ඔවුන් නිරත වී සිටි වෘත්තිය හෝ රක්ෂාව අනුවයි. රැකීරක්ෂා හා වෘත්තීන් අනුව සිංහල සමාජය ද කුල වශයෙන් එකල බෙදී පැවති බව මෙරට වංසකථා හා සාහිත්‍ය මූලාශ්රයවලින් හෙළි වෙයි. මේ අනුව බලන විට පෙනී යන්නේ මෙරට කුල ක්‍රමය ලංකාවේ ආරම්භ වී විකාසය වූවක් නොව ඉන්දියානු ක්රමයේ ම විකාසයක් පමණක් බවයි.
මුලින් ම ශ්‍රී ලංකාවට පැමිණි ආර්ය කණ්ඩායම් අතර ඉන්දියානු දේශීයයන් වූ දස්යු නමින් හඳුන්වනු ලැබූ ශුද්‍ර කුලයට අයත් වූවන් හැරුණුවිට අනෙක් සෑම කුලයකට ම පාහේ අයත් පිරිස් වූ බවට සාක්ෂ්‍ය ලැබේ. විජය කුමාරයා සමඟ පැමිණි පිරිස අතර ක්ෂත්රිය හා බ්‍රාහ්මණ යන කුලවලට අයත් වූවන් වූ බව කියැවේ. විජයට හා ඔහුගේ පිරිසට භාර්යාවන් වශයෙන් මදුරාපුරයෙන් පැමිණි ක්ෂත්රිය කන්‍යාවන් සමඟ අටළොස් ශිල්පී සමූහයන් ගෙන් කුල දහයක් ද ලංකාවට පැමිණි බව වංශකථාවෙහි සඳහන් වෙයි. දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 247-207) දවස ශ්‍රී මහා බෝධි ශාඛාව සමඟ එහි ආරක්ෂාව සඳහා බ්‍රාහ්මණ, වෛශ්‍ය, ගොපලු, තරච්ඡ, කුලිඬ්ග, පේසකාර, කුම්භකාර, ලෝහකාර, සුවණ්ණකාර, චිත්තකාර ආදි විවිධ කුලවලට අයත් විශාල පිරිසක් ඉන්දියාවේ සිට මෙහි පැමිණි බවත් පසුව ඔවුන් ලංකාවේ නොයෙක් ප්‍රදේශවල පදිංචි වූ බවත් මහාබෝධිවංසයෙන් හෙළි වෙයි. මේ සාක්ෂ්‍යවලින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ පූර්වභාගයේ සිංහල සමාජයේ විවිධ කුලයට අයත් වූවන් විසූ බවය.
ඉහත කී පරිදි ඉන්දියානු කුල ක්‍රමය ලංකාවේ මුල් බැසගත් බව පෙනෙන නමුත් කල් යාමේදී එය ඉන්දියානු ක්‍රමයට වඩා වෙනස් අයුරකින් විකාසය වී ගිය බව දැක්ක හැකිය. ලංකාවේ මුල් පදිංචිකරුවන් හැඳින්වීම සඳහා ඉන්දියාවේ මෙන් ශුද්‍ර යන වචනය යොදාගත් බවක් නොපෙනේ. ඒ වෙනුවට ඔවුන් භාවිත කොට ඇත්තේ මිලක්ඛ (ම්ලේච්ඡ) හෙවත් මිලක යන වචනයයි. මේ වචනය වුව ද වෙන ම කුලයක් වශයෙන් ස්වදේශිකයන් වෙන් කොට දැක්වීම සඳහා යොදා ගත් බවක් පෙනෙන්නට නැත.
චතුර් වර්ණ: එකල ඉන්දියානු සමාජය චතුර් වර්ණයකට හෙවත් ප්‍රධාන කුල සතරකට බෙදී පැවතියාක් මෙන් ම අනුරාධපුර යුගයේ අවසානය පමණ වන විට ශ්‍රී ලංකාවේ සමාජය ද රජ, බමුණු, වෙළෙඳ, ගොවි යනුවෙන් ප්‍රධාන කුල සතරකට හා අප්‍රධාන කුල රාශියකට බෙදී පැවති බව පෙනේ. පූජාවලිය රජ, බමුණු, වෙළෙඳ, ගොවි යන්න චතුර් වර්ණ ලෙස හඳුන්වා ඇත.
ක්ෂත්රිය කුලය : අනුරාධපුර යුගයේ දී මෙන් ම ඊට පසු කාලවල දී ද රටේ පාලන බලය හිමිකර ගන්නා ලද්දේ ක්ෂත්රියයන් වශයෙන් හැඳින්වුණු රජදරුවන් හා වෛශ්‍ය කුලයට අයත් වූවන් විසිනි. අපේ වංසකථාවල එන තොරතුරුවලට අනුව වරින් වර ලංකාව ආක්‍රමණය කොට බලය අල්ලාගත් දකුණු ඉන්දියානු පාලකයන් හැරුණු විට විජය රජුගේ පටන් මහනුවර රාජධානියේ රජ කළ අවසාන සිංහල නරපතියා වූ නරේන්ද්‍රසිංහ (1707-1739) රජු දක්වා වූ සෑම රජකු ම අයත් වූයේ ක්ෂත්රිය කුලයටය. අනුරාධපුර යුගයේ අවසාන හරියේ දී රජ කළ රජවරුන්ට අයත් සෙල්ලිපි රාශියක ම තමන් පැවත එන්නේ ක්ෂත්රිය කුලයට කොතක් වැනි වූ ඔක්කාක වංශයෙන් (කැත් කුල කොත් ඔකාවස් රජ පරපුරෙන්) බව සඳහන් වී ඇත. පොළොන්නරුව, දඹදෙණිය හා කෝට්ටේ රජ කළ රජවරු ද තම තමන් ක්ෂත්රිය කුලයට අයත් වූවන් බව ඔවුන්ගේ සෙල්ලිපිවලින් ප්‍රකාශ කොට සිටිති. ඒ ඒ යුගවලට අයත් රජවරුන්ගේ රාජසභාවල සිටි ඇමතිවරුන් හා රජයේ උසස් නිලධාරීන් සියල්ලන් ම පාහේ අයත් වූයේ ක්ෂත්රිය කුලයට හෝ වෛශ්‍ය කුලයටය.
බ්‍රාහ්මණයෝ: රජ කුලය හා වෛශ්‍ය කුලයට අමතරව සමාජයේ උගත් පිරිස වශයෙන් සැලකුණු බ්‍රාහ්මණ කුලයේ ඇතැම් සාමාජිකයන් ද රජයේ උසස් නිලතල උසුලා ඇති බවට ද රජ පවුල් හා විවාහ සම්බන්ධකම් ඇති කොටගෙන සිටි බවට ද ලෙන් ලිපිවලින් සාක්ෂ්‍ය ලැබේ.
වෛශ්‍ය කුලය හෙවත් ගොවි කුලය: ඉන්දියානු සමාජයේ තුන්වැනි කුලය වශයෙන් සැලකූ වෛශ්‍ය කුලයට ආවේණික වූ වෘත්තීන් දෙකක් වන වෙළෙඳාමෙහි හා ගොවිතැනෙහි යෙදුණවුන් කුල දෙකක් වශයෙන් සැලකීම නිසා ඉන්දියානු සමාජයේ ප්‍රධාන කුල සතරට මඳක් වෙනස් වූ කුල සතරක් මෙහි ඇති විය. පැරණි ලෙන් ලිපිවල සඳහන් වන පරුමක, ගමික හා ගපති හෙවත් ගහපති යනුවෙන් හඳුන්වා ඇති හැම දෙනෙකු ම පාහේ රජයේ යම් යම් නිලතල දැරුවන් වූ අතර ඔවුන් වැඩි දෙනෙකු අයත් වූයේ වෛශ්‍ය කුලයටය. සහස්සවත්ථුප්පකරණයට හා රසවාහිනියට අනුව දුටුගැමුණු රජුගේ යුද හමුදාවේ ඉහළ තනතුරු දැරූ දශමහා යෝධයන්ගෙන් වැඩිදෙනෙකු අයත් වූයේ වෛශ්‍ය කුලයටය. වෛශ්‍ය කුලයට අයත් වූ පරුමකයන්ගෙන් ඇතැමකු විවාහ මඟින් රජ පවුල් හා සම්බන්ධ වී සිටි බව ලෙන් ලිපි කිහිපයකින් හෙළි වෙයි. ගොවි කුලය පොළොන්නරු යුගයේ පළමුවැනි විජයබාහු රජුගේ පරම්පරාව අවසන් වී කාලිංග වංශයට රාජ්‍ය බලය හිමි වූ කාලය වන විට සංඛ්‍යාවෙන් පමණක් නොව නිලතල හා දේශපාලන බලතල අතින් ද තර වී සිටි බව නිශ්ශඞ්කමල්ල රජුගේ පොළොන්නරු උතුරු වාසල් බලකොටු පවුරු ලිපියෙහි එන: “ගොවි කුලෙහි ඇත්තන් රාජලීලාව නොපැවතුව මැනැවැ. කෙසේ බලවත් වුව ද ගොවි කුලෙහි ඇත්තො රාජ්‍යයට බලා නොගත යුත්තාහ. තමා හා සමගැත්තන් වැඳ පුදා රාජ සම්භාවනා කළාහු ද උන්ගෙන් නම් තනතුරු ලද්දාහු ද රාජද්‍රෝහී නම් මැ වෙති” යන පාඨයෙන් හෙළි වෙයි. මේ තත්ත්වය මහනුවර යුගය වන විට තව තවත් වර්ධනය වී ගිය බවට සැකයක් නැත.
සමාජ ස්තර: රටේ පාලන බලය ලැබීම නිසාත් රජයේ උසස් තනතුරු ලැබීම නිසාත් සමාජයේ උසස් ම තැනට අනුරපුර යුගයේ දී ම පත් වූ ක්ෂත්රියයන් හෙවත් රජ කුලයේ සාමාජිකයන් හා වෛශ්‍ය කුලයේ සාමාජිකයන් රටේ ඉඩම් හිමි ධනපති පන්තිය බවට ද පත් වූ බව දුටුගැමුණු රජු ලංකාව එක්සත් කිරීමෙන් පසු තමාගේ යෝධයන් ඒ ඒ ප්‍රදේශවලින් ගම් නියම්ගම් භෝගගම් වශයෙන් පවරා දී බොහෝ වස්තුව ද දුන් බව සහස්සවත්ථුප්පකරණයෙහි සඳහන් වී ඇති බැවිනුත් ගැල් දහසක පටවන තරම් ධාන්‍ය එක අස්වැන්නකින් ලැබූ කෙළෙඹි පුත්‍රයන් කිහිප දෙනකු ගැන සීහලවත්ථුප්පකරණයෙහි සඳහන් වී ඇති බැවිනුත් අපට සිතාගත හැකිය. ප්‍රධාන කුලවලට අයත් අය මෙසේ රටේ බලතල හා විශාල වශයෙන් ධනධාන්‍ය අත්පත්කර ගැනීම නිසා ඔව්හු සමාජයේ විශේෂ වරප්‍රසාදවලට ද හිමිකම් ලබන්නට වූහ. රජයේ උසස් නිලතලවලට පත් වීමට හිමිකම තුබුණේ මේ ප්‍රධාන කුලවලට අයත් පවුල්වල සාමාජිකයන්ට පමණකි. “රාජරාජ මහාමාත්‍යාදීන්ගේ කුලයෙහි උපැද උපධිසම්පතට ප්‍රාප්ත වැ ආත්මභාවසමෘද්ධිය සිටියාහුගේ ..... අනාත්මභාවය දැක මොව්හට යුවරජ සේනාපති භාණ්ඩාගාරිකාදි ස්ථානාදීහු ම නිස්සහ යි තරුණ ස්වභාවය ඇතියව්හට මැ ස්ථානාන්තරයන් දෙති” යන ධර්මප්රදීපිකා පාඨයෙන් මේ බව පෙන්නුම් කරයි. එමෙන් ම ඔවුන්ගේ නිවාස, යානවාහන, ඇඳුම් පැලඳුම්, හිඳිනා අසුන් ආදිය පමණක් නොව ආමන්ත්‍රණය කරනු ලබන ආකාරය හා ඒ සඳහා යොදාගන්නා වචන පවා අප්‍රධාන කුලවලට අයත් වූ අයගේ ඒ ඒ දේවල් හා ආමන්ත්‍රණය කරනු ලැබූ ආකාරයට වඩා වෙනස් විය. මේ විශේෂ වරප්‍රසාද භුක්ති විඳීමට ප්‍රධාන කුලවලට අයත් අය ලැබූ අයිතිය නිසා ම එවැනි වරප්‍රසාද නොලත් සමාජ කොටස් අප්‍රධාන කුල වශයෙන් සැලකීමට ප්‍රධාන කුලවල අය පසු කලක දී පුරුදු වූහ. ලංකාවේ වැඩවසම් ක්රමයේ ආරම්භයත් සමඟ මේ තත්ත්වය වඩාත් දැඩි වූ බව සිතිය හැකිය. අනුරාධපුර යුගයේ අවසාන හරියේ පමණ සිට සිංහල සමාජය ප්‍රධාන හා අප්‍රධාන කුල වශයෙන් බෙදී පැවතිණ. මධ්‍යකාලීන සිංහල සමාජයේ ගොවිතැන ප්‍රධාන වෘත්තිය කොටගත් වෛශ්‍යයන් ප්‍රධාන කුලය වශයෙන් ද නොයෙකුත් කර්මාන්ත තමන්ගේ ප්‍රධාන වෘත්තිය කොටගත් විවිධ ශිල්පී ශ්‍රේණීන් අප්‍රධාන කුල වශයෙන් ද සලකා ඇති බව ගයිගර්ගේ මතයයි. ධර්මප්රදීපිකාව හා ජාතක අටුවා ගැටපදය වේණුකාර, නේසාද, රථකාර, පුක්කුස හා චණ්ඩාල ආදි කුල අප්‍රධාන කුල වශයෙන් නම් කොට ඇත.
කුලාන්තර සබඳතා: ලංකාවේ කුලාන්තර විවාහවලින් උපන් දරුවන් වෙන ම කුලයකට අයත් වූ බවක් නොපෙනේ. මහාවංසය, බෝධිවංසය, සීහලවත්ථුප්පකරණය, සහස්සවත්ථුප්පකරණය, වංසත්ථප්පකාසිනිය ආදියට අනුව අනුරාධපුර යුගයේ පැවැති බව පෙනෙන්නේ ඉන්දියාවෙන් මෙහි පැමිණි බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වාණිජ, සෙට්ඨි, ගෝපක, තරච්ඡ, කුලිඬ්ග, කප්පක, නහාපක, පාසාණ, කොට්ටක, කේවට්ට, පේසකාර, කුම්භකාර, කම්මාර, සොණ්ණකාර, මණිකාර, ලෝහකාර ආදි කුල හා දඬුවම් වශයෙන් කුලයෙන් පහත හෙළනු ලැබූවන් ලෙස සැලකෙන චණ්ඩාල කුලයත් තවත් කුල කිහිපයකුත් පමණි. සමහර විට මේ කුල අතරින් ද ගෝපක, තරච්ඡ, කුලිඬ්ග ආදීන් හැදින්වීමේ දී මහාවංසය කුලය යන වචනය යොදා ගෙන ඇත්තේ දැනට කුලය යන වචනය අප යොදා ගන්නා තේරුමෙන් නොව පවුල යන අදහස දීමට විය හැකිය. අනුරාධපුර යුගයේ පතපොතෙහි දකින්නට ලැබෙන කුල නාමාවලිය ම පොළොන්නරු, දඹදෙණි, ගම්පොළ, කෝට්ටේ ආදි යුගවල දී හමු වේ. දහහත්වැනි සියවසේ අගහරියේ දී මහනුවර රාජධානියට අයත් ප්‍රදේශයක විසූ රොබට් නොක්ස් එකල ඒ ප්‍රදේශයේ ජීවත් වූ කුල කිහිපයක් ගැන තම කෘතියෙහි සඳහන් කරයි. මහනුවර කාලයේ දී ලියන ලදැයි සිතිය හැකි ජනවංසය නමැති කාව්‍යයෙහි එකල පැවැති කුල සියල්ලක් ම පාහේ සඳහන් වී ඇත. මේ කුල අතර අනුරාධපුර, පොළොන්නරු ආදී යුගවල දී අසන්නට නොලැබුණු කුල කිහිපයක් ද වෙයි. එයින් සමහරක් ඇතැම් පැරණි කුල වෙනුවෙන් යොදා ගන්නා ලද අලුත් නම් බව ද ඇතැම් කුල පැරණි කුල කීපයකින් බෙදී වෙන් වූ උප කුල බව ද පෙනේ. දැනට මුහුදුබඩ පළාත්වල පමණක් බහුලව ජීවත්වන ඇතැම් කුල ද මේ කුල නාමාවලියට ඇතුළත් වී ඇත.
දඹදෙණි යුගයට අයත් රසවාහිනියෙහි අරියගාලතිස්ස වත්ථුවෙහි දැක්වෙන අයුරු රුහුණු මාගම මහාධනදේව නම් ඇමැතියකුගේ පුත්‍ර තිස්ස නම් තරුණයාගේ භාර්යාව බවට පත් වූ සුමනා නම් තරුණියකගේ දෙමාපියන් ඒ විවාහයට ඔවුන්ගේ අනුමැතිය දුන්නේ ඔහුගේ කුලවංස ආදිය විචාරා දැනගැනීමෙන් පසුව බව කියැවේ. සිරිසඟබෝ රජතුමා ගෝඨාභය කුමරුට බියෙන් රාජ්‍යය අත්හැර පලා ගොස් මලය රටේ විසූ අවස්ථාවේ දී එතුමාට මුණ ගැසුණු මගියා විසින් පිදූ ආහාරය පිළිගැනීමට එතුමා මැළි කළ විට “උත්තම වූ ජාති ඇති අනුභවයට යෝග්‍ය වූ වංශයෙහි උපන්නෙම් වෙමි” යනුවෙන් ප්‍රකාශ කළ බව හත්ථවනගල්ල විහාරවංසයෙහි සඳහන් වෙයි. මේ සාක්ෂ්‍ය වලින් පෙනී යන්නේ ප්‍රධාන හා අප්‍රධාන කුල අතර විවාහ සම්බන්ධතා හෝ එබඳු කුල දෙකක සාමාජිකයන් එකට හිඳ ආහාර ගැනීම හෝ අප්‍රධාන කුලයක අයගෙන් ප්‍රධාන කුලයක අය කෑම්පීම් ආදිය පිළිගැනීම හෝ එකල සමාජය අනුමත නොකළ බවය. මේ දෙපක්ෂය අතර විවාහ සම්බන්ධතා ඇතිකර ගැනීම හා එකට හිඳ ආහාර අනුභව කිරීම ආදිය පැරණි සිංහල සමාජයෙන් අනුමත නොවූවත් සමාජයේ එදිනෙදා පැවැත්මට අත්‍යවශ්‍ය නිෂ්පාදන හා සේවාවන් සියල්ල ම පාහේ සැපයුණේ අප්‍රධාන කුලවලට අයත් වූවන්ගෙන් බැවින් ප්‍රධාන කුලවල සාමාජිකයන් විසින් සෙසු කුල හෙළා දුටු බවක් නොපෙනේ. ඕනෑ ම අප්‍රධාන කුලයක සාමාජිකයකුට තමාගේ පාරම්පරික රැකියාවට අතිරේකව ගොවිතැන් කිරීමට ද අයිතියක් තුබූ බවට සාක්ෂ්‍ය ඇත.
සිරිමල් රණවැල්ල
මහනුවර යුගයෙන් පසු කාලය: 17 වැනි 19 වැනි සියවස් අතර කාලයේ සිංහල කුල ක්රමයේ ව්‍යුහය විශාල වෙනස් වීමකට භාජනය වූ බවක් නොපෙනේ. මේ වකවානුවට අයත් වාර්තාවල එන තොරතුරු බොහෝ සෙයින් එක සමානය. 17 වැනි සියවසේ අග භාගයේ රොබර්ට් නොක්ස් සිංහල සමාජ සංවිධානය ගැන කළ නිරීක්ෂණ 19 වැනි සියවසේ කෝඩිනර්, ඩේවි, ටෙනන්ට් වැන්නන් කළ නිරීක්ෂණ හා සසැඳේ. යුරෝපීය බලපෑම කුල ක්‍රමය වෙත එල්ල වී නාගරික සීමා ඉක්මවා ග්‍රාමීය පෙදෙස් වෙත අවතීර්ණ වුව ද සමස්තයක් වශයෙන් කුල සම්ප්රදායේ ව්‍යුහයත් එය ක්‍රියාත්මක වූ ආකාරයත් ඒකාකාර විය. විසිවැනි සියවසට පෙර කරන ලද වැලන්ටයින් (1726), නොක්ස් (1681), කෝඩිනර් (1807), ඩේවි (1821), ලංකා ජනලේඛනය (1824), ආමර් (1842) යන වාර්තාවල එන කුල ලේඛන බොහෝ සෙයින් එකිනෙකට සමානය. උප කුල ගැන දැක්වෙන විස්තර හැරුණ විට වැලන්ටයින්ගේ වාර්තාවෙහි කෝඩිනර්, ඩේවි, ආමර් ආදීන්ගේ වාර්තාවල සඳහන් කොට ඇති කුල සියල්ල ම පාහේ සඳහන් වී ඇත. රුබේරුගේ සහ කේරුශ්ගේ වාර්තාවල සඳහන් ඇතැම් කුල වැලන්ටයින්ගේ වාර්තාවෙහි හමු වේ. නොක්ස්ගේ කුල ලේඛනයෙහි දැක්වෙන ඇතැම් කුල අන්‍ය වාර්තාවල හමු නොවේ. ඒවා වර්තමාන සමාජ සංවිධානයෙහි ද දක්නට නොලැබේ.
උප කුල විස්තර එකිනෙකට නොගැළපෙන බවක් පෙනේ. නොක්ස් දක්වන අයුරු ගොවි කුලය ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එහෙත් වැලන්ටයින් ගොවි කුලයේ උපකුල රැසක් ම දක්වයි. හෙතෙම කරාව හා දුරාව කුල ද උප කොටස් රාශියකින් යුක්ත වූ බව පෙන්වා දෙයි.
යටත් විජිත පාලන සමයේ සිංහල කුල ක්රමයේ කවර වෙනස් වීම් ඇති වී දැයි නිගමනය කිරීම සුකර නොවේ. සමහර කුල වෙරළබඩ ප්‍රදේශවලට සීමා විය. වැලන්ටයින් විසින් සඳහන් කරන ලද සමහර කුල කණ්ඩායම් 19 වැනි සියවස වන විට පැවතුණේ නැත. ඉතා කුඩා කුල කණ්ඩායම් සමාජ හා ආර්ථික හේතු නිසා විශාල කුල කණ්ඩායම්වලට අන්තර්ග්‍රහණය වී තම අනන්‍යතාව අහිමි කරගත් බව සිතිය හැකිය. නවන්දන්නා කුලයේ උප කොටස් පිළිබඳව ආමර් දක්වා ඇති තොරතුරු අන්‍ය ලේඛකයන්ගේ වාර්තා හා සසඳා බැලීමෙන් පෙනී යන්නේ ඒවා එතරම් පිළිගැනීමට පහසු නැති බවත් විවිධ වෘත්තීය සංවිධාන හා ශ්‍රේණි බෙදුම්වලින් සංවිධානය වී සිටි බවත් එම බෙදීම්, කුල බෙදීම් ලෙස සැලකිය නොහැකි බවත්ය. ඇතැම් කුල අතර පැවැති උප කුල විශේෂතා සමහර විට යුරෝපීය ග්‍රහණයට මෙරට අසු වන්නට පෙරාතුව ම අහෝසි වී ගියේ යයි සිතිය හැකිය.
කුල අතර වෙනස්කම්: වැඩි වශයෙන් පහතරට පෙදෙස් පිළිබඳ තොරතුරු සඳහන් වන කේරුශ්ගේ වාර්තාවෙහි කුල අතර පැවැති සංස්කෘතික අසමානකම් පිළිබඳ තොරතුරු දක්නා ලැබේ. ආහාර ගැනීම පිළිබඳ චාරිත්‍රවල දී දැඩි තහංචි පැවතියත් පවුල් සංවිධානය, ආගමික විශ්වාස, විශේෂ දෙවි දේවතාවුන් වන්දනය වැනි විශේෂතා ඉන්දියාවේ මෙන් ලංකාවේ කුලවලට හිමි නොවීය. කුල අතර පැවැති ප්‍රධාන වෙනස්කම් වූයේ ඒවාට සමාජයේ ලැබුණු ස්ථානය, හිමි වරප්‍රසාද හා සේවා වැනි දේය. සමකාලීන වාර්තා අනුව කුල ක්රමයේ මූලික නීතිරීති විවාහය හා ආහාර අනුභවය සම්බන්ධයෙන් දැඩි ලෙස බලපෑ බව පෙනේ. සෑම විට ම අන්තර්ජන්‍ය විවාහය නිර්දිෂ්ට වූ අතර ප්‍රධාන හා අප්‍රධාන කුල අතර ලිංගික සබඳතා පැවැත්වීම කිසිසේත් නොඉවසන ලදි. නොක්ස් පවසන අයුරු කුලාන්තර ලිංගික සබඳතා ඉවසුව ද එකට සිට ආහාරපාන ගැනීම සම්පූර්ණයෙන් තහනම් විය.
කුල සලකුණු: කුලයක මූලික ලක්ෂණය වූයේ එහි වෘත්තීය තත්ත්වය හා සේවා බැඳීම්ය. එහෙත් කුල හඳුන්වන ලකුණු පැවැති බව කිව නොහැකිය. අධිකරණ ශාලාවක නඩු විභාග වන අවස්ථාවන්හි ඒ ඒ කුලවල උදවිය තම කුලයේ සේවා ආම්පන්න අතින් ගෙන හෝ පැලඳ සිටි බව වැලන්ටයින් පවසා ඇත. මෙයට අමතරව උත්සව සහ පොදු කටයුතුවල දී සමහර පහතරට කුල කිහිපයක් වත් කුල ධජ පාවිච්චි කළ බව පෙනේ.
කුල සංවිධාන හා රාජ්‍ය පරිපාලනය: සෑම කුලයක ම පාහේ යම්කිසි සංවිධානයක් පැවැති බව පෙනේ. එහෙත් මෙයින් අදහස් වන්නේ මුළු කුලය ම එක්ව සැලසුම් කළ සංවිධානයක් හෝ සියලු අවස්ථාවල දී ම පැවති අධිකරණ හා පාලන ආයතනයන්හි ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑ සංවිධානයක් නොවේ. කුල කෙරෙහි පැවැති සංවිධාන හැකියාව එක්තරා ප්‍රමාණයකට වැඩවසම් ක්‍රමය යටතේ රාජකීය සේවාභිමුඛව පැවතිණ. සමජාතීය කුල ගම්හි නිසැකව ම අභ්‍යන්තර සංවිධානයක් පැවතියත් කුලය පාලන සහ අධිකරණ ආයතනයක් ලෙස පැවැතිණැයි කිව නොහැකිය. පළාත්බද හා දිස්ත්‍රික්ක, සිවිල් හා අපරාධ අධිකරණයන්හි කුල නියෝජන (බොහෝ විට පහතරට පෙදෙස්වල) පැවැති බව කේරුශ් සඳහන් කොට ඇත. සලාගම කුලයෙහි යම් යම් තීරණ ගැනීමෙහි බලතල හිමි ප්‍රධානියෙකු සිටි බව 1803 ලෝඩ් වැලන්ෂියා ප්‍රකාශ කර ඇත. කුල සහ කුල වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අධිකරණ බලතල සහිත නිලධාරීන් අප්‍රධාන කුල ගම්වලට පත් කරන ලද බව හේලි සඳහන් කරයි. යම් යම් කුල තම ශිල්ප ධර්ම පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේණි වැනි සංවිධාන ඇති කර ගෙන තිබුණත් කුල සභා හා කුල අධිකරණ පැවැතියේ නම් නිසැකව ම ඒ පිළිබඳ විස්තර තත්කාලීන සාහිත්‍ය කෘතීන්හි ඇතුළත් විය යුතුය. ප්‍රධාන කුලවල මෙන් ම අප්‍රධාන කුලවල ද කුල පදනම අනුව සකස් වූ මුලාදෑනි කොටසක් සිටි බව පෙනේ.
යටත් විජිත පාලනය යටතේ ආර්ථික සූරා කෑම හා දේශපාලන ප්‍රභූත්වය අරමුණු කොටගත් පරිපාලන තන්ත්රයේ අංශයක් ලෙස කුල සංවිධානය වැඩී ගියේය. තම ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි මින් ලැබුණු වාසිය සැලකූ පෘතුගීසින් හා ලන්දේසි ජාතිකයෝ එයට විරුද්ධත්වයක් නොපෑහ. සලාගම හා කරාව කුල පිළිබඳ ලන්දේසි පරිපාලන වාර්තාවල එන තොරතුරුවලින් මේ බැව් සනාථ වේ. පෘතුගීසීන් හා ලන්දේසි ජාතිකයෝ තම වාසිය සඳහා දේශීය චාරිත්‍ර හා නීති රැක්මටත් කුල රීති ආරක්ෂා කිරීමටත් වගබලාගත්හ. තව ද ඔවුහු රාජකාරි ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් ස්ථාපිත කුල සේවා ඒ අයුරින් ම පවත්වා ගෙන ගියහ. තම දේශපාලන හා ආර්ථික සංවිධානයේ පැවැත්ම සඳහා බ්‍රිතාන්‍යයෝ ද කුල ක්‍රමය උපයෝගි කොට ගත්හ. බ්‍රිතාන්‍යයෝ කරාව, නවන්දන්න හා සලාගම කුල සඳහා දිස්ත්‍රික්ක කුල ප්‍රධානීන් පත් කළහ. නෝත් ආණ්ඩුකාරයා තමා නිලබලයෙන් ගොවිගම කුලයේ ප්‍රධානියා ලෙස පත් වූ අතර තම ප්‍රධාන ලේකම් කරාව කුලයේ ප්‍රධානියා ලෙස පත් කළ බව ලෝඩ් වැලන්ෂියා වාර්තා කොට ඇත. එමෙන් ම ඔහු ආර්ථික වශයෙන් වැදගත් තැනක් ඉසිලූ සලාගම කුලයේ අධිකරණ බලතල ද ඇතුළුව නායකත්වය තමා වෙත පවරාගත්තේය.
රාජකාරිය ඉවත් කිරීම හා විනිමය ක්‍රමය ආරම්භ කිරීම සේවා සබඳතා ව්‍යුහය සම්බන්ධයෙන් අනිසි ප්‍රතිඵල ඇති කෙළේය. ඉංග්‍රීසි ආක්‍රමණය නිසා ඇති වූ දේශපාලන නොසන්සුන්තාව, පරිපාලනයේ අක්‍රමතාව වැනි දේ ද එදා පැවැති කුල ක්රමයේ පැවැත්මට බාධක විය. පරිපාලන සහ අධිකරණ ක්ෂේත්රයන්හි බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ ක්‍රියා කලාපය ද කුල ක්රමයේ දැඩි බව ලිහිල් වී එහි නම්‍යතාවක් ඇති වීමට රුකුල් දුන්නේය. තව ද 19 වැනි සියවසේ බ්‍රිතාන්‍යයන් විසින් ගනු ලැබූ යම් යම් පියවර ද කුල ක්රමයේ දැඩි භාවය මැඩීමට හේතු විය. 1811 දී ලංකාවේ ජූරි ක්‍රමය ආරම්භ කිරීමෙන් පසු ජූරි සභිකයන් තෝරාගන්නා ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියෙහි නියුතු වූ ගොවිගම මුදලිවරුන් අතරිනි. සිරිතක් වශයෙන් තම කුලයේ උසස් උදවිය ජූරි සභිකයන් ලෙස පත් කර ගැනීම ඔවුන්ගේ සිරිත විය. 1843 වරප්‍රසාද නොලත් ගොවිගම උදවිය මේ පිළිබඳව විරුද්ධත්වය දැක්වූයේ කරාව කුලයේ ඇත්තන්ගේ ද සහායෙනි. මෙහි දී ඉංග්‍රීසි ආණ්ඩුව මැදහත් වී ජූරි සභිකයන් පත් කිරීම භාෂා භේදය මත කිරීමට තීරණය කෙළේය. මේ අතර විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ රොඩී ළමයින් සඳහා මිෂනාරි පාසැල් පවත්වා ගෙන යාමට ආණ්ඩුව උපකාර කෙළේය. 1845 හා 1853 වර්ෂවල දී මෙතෙක් පැවැති සම්ප්රදාය නොතකා වාසල මුදලි තනතුරු පිළිවෙළින් සලාගම හා කරාව යන කුලවල ධනවත් ප්‍රභූවරුන් දෙදෙනකු වෙත ප්රදානය කැරිණි.
රටේ ජනගහනයෙන් වැඩි කොටසක් අයත් වන්නේ ගොවි කුලයට බව රොබට් නොක්ස් සඳහන් කරයි. ආනන්ද කුමාරස්වාමි ගේ මතය අනුව මහනුවර යුගයේ දී උඩරට රදල පේරුවේ හා පටබැඳි පේරුවේ අය ද ඇතුළුව ගොවි කුලයේ සංඛ්‍යාව රටේ සිංහල ජන සංඛ්‍යාවෙන් සියයට අනූවකටත් වඩා අධික විය. මහනුවර යුගය වන විට ගොවි කුලයට අයත් වූවන්ගේ සංඛ්‍යාව මෙසේ ක්‍රමයෙන් අධික වූ අතර මුල දී සමාජයේ මුල් තැන් ගෙන සිටි ක්ෂත්රිය හා බ්‍රාහ්මණ කුල ක්‍රමයෙන් අභාවයට ගිය බව පෙනේ. සිංහල සමාජයෙහි බ්‍රාහ්මණ හෝ ක්ෂත්රිය නමින් දන්නා කුලවලට අයත් කිසිවකු දැනට ජීවත් වන බවක් නොපෙනේ. මේ කුල දෙක අභාවයට ගියේ ගොවි කුලය බලවත් වීමෙන් පසු බ්‍රාහ්මණ හා ක්ෂත්රිය කුලවලට අයත්ව සිටි ටික දෙනා ගොවි කුලය සමග මිශ්‍ර වීම නිසා බව පෙනේ. ගොවි කුලයට සෙසු ප්‍රධාන කුල එක්වීම සම්බන්ධයෙන් කරුණු දක්වන නීති නිඝණ්ඩුව “තව ද රජ බමුණු වෙළඳ යන වංස ත්‍රයෙහි අයවල් කලින් කල මෙම සිංහලේ රටට පැමිණ විසුයේ ද වුවත් බොහෝ ගණන් සංඛ්‍යාවකට ඔවුන්ගේ ගෝත්‍ර වෙන් වසයෙන් නොපවත්වා ගොවි වංසයට අන්තර්ගතව ඒකාබද්ධ වූ හෙයින්” යනුවෙන් පවසයි.
මහනුවර යුගයෙහි ගොවි කුලයට අයත් සියලු ම දෙනා එක ම තත්ත්වයෙහි ලා නොසැලකුණහ. නිශ්චිත රාජකාරි ඉටු කළ සේවා සමූහයකින් යුත් විවිධ උපකොටස් වලින් එය සමන්විත විය. මෙම කොටස් සමහර විට අන්‍යෝන්‍ය වශයෙන් ආවාහ විවාහවලින් පවා තොර විය. රාජ්‍ය සේවා රැකියා මුල් කොට මෙම උප කොටස් ඇති වූ බව සිතිය හැකිය.
ගොවි කුලයේ “රටේ ඇත්තෝ” යනුවෙන් හැඳින්වුණ මුදලි පේරුව සෑහෙන බලවත් කොටසක් විය. යම් යම් සේවාවනට උපහාර වශයෙන් රජු විසින් පිරිනමන ලද ගෞරව නාමයන්ගෙන් යුත් මොවුහු පැළැන්තියක් ලෙස ව්‍යාප්තව ගියහ. මොවුහු ප්‍රධාන කුලවල ජනයාගේ සේවය ලබා ගැන්මට සුදුස්සෝ වූහ. මහනුවර දළදා මාළිගාවේ කාර්ය සංවිධානය හා රජු වෙනුවෙන් කළ යුතු වූ රාජකාරි වල ස්වරූපය සලකා බලන විට පෙනී යන්නේ අධිකාරිය ගොවි කුලයටත් ආවතේව අප්‍රධාන කුලවලටත් පැවැරී තිබුණ බවයි. මේ වෙනුවෙන් ඔවුන්ට “දිවෙල්” ලැබිණි.
කුලවල පැවැති වැදගත්කම අනුව සකස් කරන ලද කුල පරිපාටි ජනවංසය, නීති නිඝණ්ඩුව, රොබර්ට් නොක්ස් ගේ ග්‍රන්ථය, 1818 මුදලි ඒ. සරම් විසින් ලියන ලද කුල ලේඛනය, 1818 කලෙක්ටර්වරුන් විසින් බ්රවුන්රිග් ආණ්ඩුකාරයාට ඉදිරිපත් කරන ලද කුල වාර්තාව, 1818 තංගල්ලේ කලෙක්ටර්වරුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව, 1818 මාතර කලෙක්ටර්වරුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව, 1818 ගාලු දිස්ත්‍රික්කයේ කලෙක්ටර්වරුන් විසින් ඉදිරිපත් කරන ලද කුල වාර්තාව සහ ආමර්ගේ වාර්තාව යන ලිඛිත මූලාශ්රයවල දක්නට ලැබේ.
විවාහය, දරුවන්, ඉඩම් භුක්තිය, උරුමය වැනි කරුණුවල දී කුලය ඉතා දැඩි මිනුමක් විය. කුල නින්දාව (එනම් නොගැළපෙන කුල අතර ආහාර අනුභවය හා ලිංගික සම්බන්ධතාව) උඩ පහත දෙරටෙහි ම අපරාධයක් ලෙස සැලකිණ. එහෙත් උඩරට දිස්ත්‍රික්කයන්හි විවාහ චාරිත්‍ර පිළිබඳ 1858 ආඥාපනතින් කුල පදනම මත යම්කිසි කුලයක ස්ත්‍රියක නොගැළපෙන කිසියම් කුලයක පුරුෂයකු හා සංවාසයේ යෙදීම නිසා ඇය මරණයට පත්කරන ඕනෑ ම කෙනකු මරණීය දණ්ඩනයට පත්කරන බව ප්‍රකාශයට පත් කොට ඇත.
ගොවිගම කුලයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය හැඳින්වීම සඳහා උප පද භාවිත විය. බොහෝ විට අප්පුහාමි හෝ හාමි යන පදයන් ද නිලතලයන් දැරුවේ නම් රාල යන පදය ද තම නමට අගින් පිරිමින් භාවිත කළ බව පෙනේ. කිඩැහෑ කෙලි හා කුමරිහාමි යන පද ප්‍රධාන පන්තියේ කාන්තාවන් හැඳින්වීම සඳහා ද එතනා, ළමා එතනා යන පද පොදුවේ කාන්තාවන් හැඳින්වීම සඳහා ද පැවැති උප පද විය. සෙසු කුලවල නිලධාරීන් අන්‍ය නිලධාරින්ගෙන් වෙන් කොට හැඳින්වීම සඳහා ද උප පද යොදන ලදි.
ඒ ඒ කුල ඒ ඒ ගම්වල පදිංචිව සිටි බව ද විශ්වාස කළ හැකිය. නගරයක නම් ඒ ඒ වීදි ඒ ඒ කුලයනට සීමා විය. වංසකතාවලින් මෙන් ම ශිලා ලිපිවලින් ද මෙබඳු ගම් ගැන තොරතුරු ලැබේ. වර්තමාන ලංකාවේ බොහෝ ගම් ද තව මත් කුල පදනම මුල් කොට පවතී.
ව්‍යාපාර හා වණික් ක්‍රමය, අධ්‍යාපනය හා ඒ හා අදාළ පාසැල්, කාර්මික හා තාක්ෂණික විද්‍යාල හා විශ්වවිද්‍යාල, දේශපාලන පක්ෂ හා ඒවාට පදනම් වූ දාර්ශනික අදහස් උදහස්, ගමනාගමනය හා ප්රවාහණය, විවිධ සන්නිවේදන මාධ්‍ය ආදියෙන් දේශීය සමාජය සංකේන්ද්‍රගත වී ඇත ද කුල ක්‍රමය සිංහල සමාජයෙන් තව මත් අහෝසි වී නොමැත. 19වැනි සියවසේ පැවැති ආකාරයෙන් කුල පටිපාටිය එතරම් වෙනස් වී නැත ද වෘත්තිය හා කුලය අතර ඇති සම්බන්ධය ඒ අයුරින් ම පැවැත්ම ක්‍රමයෙන් මඟ හැරී යයි. නාගරික ප්‍රදේශවල කුල රීති ග්‍රාමීය ප්‍රදේශවල මෙන් දැඩි නොවේ. කුල ක්‍රමය හා ඒකාබද්ධව පැවැති චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්නට ගම්බද ප්‍රදේශවල පවතින ඉඩ කඩ නගරබද ප්‍රදේශයන්හි සසීමය. කුලාන්තර විවාහ දක්නට ලැබෙතුදු අන්තර්ජන්‍ය විවාහ වඩාත් සිදු වේ. විවාහය කුල රීති පිළිපදින ප්‍රධාන සංස්ථාවයි.
ආර්. එච්. ඇම්. පියසේන
(වර්ණ සංකල්පය බ.)