කෘෂ්ණමූර්ති, ජිඩ්ඩු (1895-1986)

සිංහල විශ්වකෝෂය වෙතින්
18:11, 26 සැප්තැම්බර් 2017 වන විට Chamila (කතාබහ | දායකත්ව) ('මෙතෙම දකුණු ඉන්දියාවේ බමුණු පවුලක අටවැනි දරු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙතෙම දකුණු ඉන්දියාවේ බමුණු පවුලක අටවැනි දරුවා වශයෙන් මෙලොව එළිය දුටුවේය. සිය භාර්යාවගේ අභාවයෙන් ද සේවා වියුක්තියෙන් ද හටගත් මහත් පීඩාවකින් පෙළෙන්නට වූ ඔහුගේ පියා පසු කාලයක පදිංචිය සඳහා මදුරාසියේ අඩයාර් ප්‍රදේශයට ගියේය.

එහි පිහිටි පරම විඥානාර්ථ සමිතියේ පුස්තකාලයාධිපතිට මේ කුඩා කෘෂ්ණමූර්ති ද ඔහුගේ බාල සහෝදරයා වූ නිත්‍යානන්ද ද ගැන අසන්නට ලැබිණ. ඔහුගෙන් ලත් තොරතුරු නිසා මේ දරුවන් ගැන කරන ලද පරීක්ෂණයකින් පසු එම සමිතියේ එකල සභාපතිනිය වූ ඇනී බෙසන්ට් මැතිණිය ඔවුන් බාරගත්තාය.

ලෝකයට මඟ පෙන්වීම සඳහා ලෝක ගුරුවරයකු පහළ වනු ඇතැයි ඇය තුළ විශ්වාසයක් පැවතිණ. මෙසේ අනාගතයෙහි පහළ වන ලෝක ගුරු පදවිය සඳහා අදාළ කටයුතු සුදානම් කිරීමට බෙසන්ට් මැතිණිය 1911 දී “ඕඩර් ඔප් ද ස්ටාර්” නම් සංවිධානයක් ඇරඹුවාය. එහි ප්‍රධානත්වය කෘෂ්ණමූර්ති වෙත පැවරිණ.

දරුවන්ට ලැබෙන අධ්‍යාපනය සිය කුල සිරිතට නොගැළපෙන්නේ යයි කියමින් මේ වන විට ඔවුන්ගේ පියා දරුවන් දෙදෙනා ආපසු තමා වෙත බාර දෙන ලෙස බල කර සිටියේය. සමිතිය යටතේ ඔවුන් තව දුරටත් රඳවාගැනීම සඳහා බෙසන්ට් මැතිණියට පියා සමඟ මහත් අරගලයක යෙදෙන්නට සිදු විය. අවසානයේ දී උසාවි තීරණයක් අනුව දරුවන් දෙදෙනා බෙසන්ට් මැතිණිය වෙත පවරනු ලැබීමෙන් පසු අවුල නිරාකරණය විය. එහෙත් දරුවන් පැහැරගෙන යනු ඇතැයි බිය වූ බෙසන්ට් මැතිණිය ඔවුන් එංගලන්තයට පිටත් කර යැව්වාය. එහි දී ඔවුන්ට පෞද්ගලික අධ්‍යාපන පහසුකම් සලසනු ලැබීය.

රෝගී වූ නිත්‍යානන්දගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට සුදුසු දේශගුණයක වාසය කිරීම සඳහා ඔහු කැලිෆෝර්නියාවට යැවීමට තීරණය කරන ලදි. කෘෂ්ණමූර්ති ද 1922 දී ඔහු කැටුව එහි ගියේය. එහෙත් 1925 දී නිත්‍යානන්ද මරුමුවට පත් විය. සිය සහෝදරයාගේ අකාල මරණයෙන් කෘෂ්ණමූර්ති තුළ බලවත් කම්පනයක් හටගත්තේය. ඒ සමඟ ම ඔහු දැඩි විපර්යාසයකට භාජන විය.

සංශයේ වේදනාව තුළින් සත්‍යය පහළ වන්නේ යයි පවසමින් ඔහු සෑම දෙයක් ගැන ම සැක කරන්නට වන. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගෙන් ස්වාධීන අදහස් බිහි වන්නට පටන් ගත්තේය. මේ අදහස් ඔහුගේ නායකත්වය යටතේ පැවැති ඉහත කී සංවිධානය හා ගැටෙන්නට වන. පූර්වෝක්ත සංවිධානය සත්‍ය ගවේෂණයට බාධාවක් ලෙස සැලකූ කෘෂ්ණමූර්ති 1929 දී එය විසුරුවා හැරියේය. ඒ බැරෑරැම් පියවර ගත්තේ වසර දෙකක් තුළ සාවධානව සලකා බැලීමෙන් පසුව යයි ඒ සම්බන්ධයෙන් පවත්වන ලද ඓතිහාසික කථාවේ දී සඳහන් කළ ඔහු සිය එක ම අධ්‍යාශය මිනිසුන් මුළුමනින් ම නිදහස් කිරීම යයි අවධාරණයෙන් පළ කෙළේය. ලෝ පුරා රටවල් හතලිහක පමණ වසර අටළොසක් පමණ දීර්ඝ කාලයක් තුළ කරන ලද සංවිධාන කටයුතු මෙසේ බැහැර කෙරිණ. එම කථාවේ මෙසේත් සඳහන් වේ: “සවන් දීමට සිටින්නේ පස් දෙනෙක් නම් එත් ඇති; අවබෝධ කරගත නොහැකි දහස් ගණනක් සිටීමෙන් ඇති ඵලය කුමක් ද? සැත්කමක් කළ යුතු වූ විට ශල්‍ය වෛද්‍යවරයා රෝගියාට වේදනාවක් දැනුණ ද එය කරන්නේ කරුණාවෙන් නොවේ ද? ඒ නිසා මා මෙසේ කථා කරන්නේ ද අකරුණාවෙන් නොවේ. මා නිදහස් බැවින් මම සම්පූර්ණ සත්‍යය වෙමි. එහෙයින් මා තේරුම් ගැනීමට බලාපොරොත්තු වන්නවුන් මා අනුගමනය කිරීම අවශ්‍ය නැත. ඔවුහු නිදහස් විය යුත්තාහ.”

මුල දී ඔහු විසින් මෙන් ම ඔහුගේ නමින් ද පළ කෙරුණු ප්‍රකාශනවල අදහස් හා පසු කාලයේ දී ප්‍රසිද්ධියට පත් ප්‍රකාශනවල මත අතර සමානත්වයක් දක්නට නොලැබේ. එහෙයින් ඔහුගේ අදහස් විපර්යාසයකට හා විකාසනයකට භාජන වෙමින් වර්ධනයට පත් වූ බව සැලකිය හැකිය. මේ පසු අවධියට අයත් ඔහුගේ අදහස් ලෝකයාට දැනගත හැකිව තිබෙන්නේ වරින් වර ඔහු පවත්වන දේශන, යම් යම් අවස්ථාවල දී පිළියෙල වන සම්මුඛ සාකච්ඡා වාර්තා හා තැටිගත කරන ලද කථා වැනි මාර්ග ඇසුරෙනි.

“පරම විඥානාර්ථ සමිතිය ඔබ ගැළවුම්කරු හා ලෝක ගුරු වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද නමුදු ඔබ ඒ සමිතිය හා පැවැත්වූ සම්බන්ධතා අත්හැර දැමීමටත් ගැළවුම්කාරභාවය ප්‍රතික්ෂේප කිරීමටත් කවර හේතු තුඩු දුන්නේ දැයි” නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ, “සත්‍යය සොයාගැනීම සඳහා පිහිටුවනු ලබන සංවිධාන ප්‍රචාරක අවි බවට පත් වෙයි. එවිට ඒවා වැදගත් කමින් පිරිහෙයි. සියලු ආගමික සංවිධාන සූරා කෑමේ මාර්ග බවට පත් වෙයි” යනුවෙනි. මෙසේ ආගමික සංවිධානවල හානිකරභාවය දක්වන ලද නමුදු දෙවැනි කරුණ වූ ගැළවුම්කාරභාවය ගැන සඳහන් කරමින් එය කිසි දිනක තමා විසින් ප්‍රතික්ෂේප කර නැති බවත් වැදගත් වන්නේ තමා එසේ කළ හෝ නොකළ බව නොව තමා පවසන්නේ සත්‍යයක් ද නැත් නම් අසත්‍යයක් ද යන්න වටහාගැනීම බවත් ඔහු කියා සිටියේය.

ආගමික හෝ දාර්ශනික පොත්පත් තමා නොකියවන බව පවසන කෘෂ්ණමූර්ති විද්‍යාත්මක පර්යේෂණයක හෝ මූලාශ්‍රය අධ්‍යයනයක ප්‍රතිඵලයක් හෝ නොවන සිය පණිවුඩය ලොවට ඉදිරිපත් කරන්නේ අලුත් කරුණු ප්‍රකට කිරීමේ අභිලාෂයකින් ද නොවේ: සිය අනුභූතිය තමා තුළ සිදු වන ආකාරය එළිදරවු කිරීමේ මාර්ගයක් වශයෙන් පමණි.

සත්‍යය ද එහි ගවේෂකයා ද මැදට අතරමැදියකුගේ පැමිණීම ආධ්‍යාත්මික ඒකාධිකාරිත්වයක් ලෙසින් දකින කෘෂ්ණමූර්ති මෙසේ කියයි: “කෙනකු පසුපස ගමන් කිරීම (අනුගමනය කිරීම) තහනම් කරන නිතී සමහර රටවල පනවා ඇතැයි සිතමි. මේ නීති උල්ලංඝනය කරන්නකු අසු වුව හොත් ඔහු අත් අඩංගුවට ගෙන සිරගෙට දමනු ඇත. මෙසේ ආගමික වශයෙන් ද කෙනකු අනුගමනය කිරීම තහනම් කොට එවැන්නවුන් සිර ගෙට යවන පොලිස් සේවයක් ඇත්තේ නම් මැනවැයි මම සිතමි”

ඔහුගේ ඉගැන්වීමෙහි ලා සවන් දීම වැදගත් තැනක් උසුලයි. ඒ ගැන ඔහු මෙසේ කියයි: “ සවන් දීම පිළිබඳ කලාවක් ඇත. සවන් දිය හැකි වනු සඳහා කලින් බැසගෙන තිබෙන මතිමතාන්තර, පක්ෂපාතකම් පමණක් නොව සාමාන්‍ය දෛනික ක්‍රියා ද බැහැර කළ යුතුය. ඔබ සවන් දීමට තුඩු දෙන මානසික තත්ත්වයකින් පසු වන්නේ නම් කියනු ලබන දේ පහසුවෙන් තේරුම්ගනු ඇත. එහෙත් අවාසනාවකට මෙන් අපගෙන් වැඩි දෙනකු සවන් දෙන්නේ විරෝධතාවලින් නිම වූ තිරයක් තුළින්ය. මේ නිසා අප සවන් දෙන්නේ කියනු ලබන කරුණට නොව අපේ ම හඬටය. අපේ රුචි අරුචි, පළපුරුදු, ළැදිකම් හා විරෝධතා ඉක්මවා ගොස් වචනයෙන් ප්‍රකාශ වන මතුපිට ස්වභාවය බැහැර කොට නියම යථාර්ථයට සවන් දීම අසීරුය. මෙසේ සවන් දෙන්නේ නම් අවබෝධය ඒ මොහොතේ ම පහළ වෙයි. මෙය මෙසේ සිදු නොවීම අප හමුවෙහි පවත්නා ගැටලුවලින් එකකි.

සත්‍යය කෙනකු විසින් වෙනත් කෙනකුට ලබා දිය නොහැකිය යනු ද කෘෂ්ණමූර්තිගේ ඉගැන්වීමකි. එය තමා විසින් ම අනාවරණය කරගත යුතු බවත් ඒ සඳහා සෘජු ප්‍රත්‍යක්ෂයට සුදුසු මානසික තත්ත්වයක් පැවතිය යුතු බවත් ඔහු පවසයි. කිසියම් තැනක විරෝධතාවක් පවතින්නේ නම් එහි සෘජු ප්‍රත්‍යක්ෂය නැත්තේය. විවරණය, අවඥාව හෝ සමර්ථනය යන ආකල්පවලින් තොරව යමක ඇති තතු ඇති පරිදි දැනගැනීම නියම වශයෙන් ම ප්‍රඥාව පහළ වීමේ ආරම්භයයි. එසේ නොවෙතොත් සත්‍යය අපගෙන් මඟ හැරී යයි. ඇති තතු දැනගැනීම සඳහා තියුණු මනසක් ද නම්‍ය වූ හදවතක් ද අවශ්‍ය වෙයි. කුමක් නිසා ද යත් ඇති තතු වනාහි නිරන්තරයෙන් වෙනස් වන සුලු හෙයිනි.

ලෝකයේ ගැටලු ගැන කෘෂ්ණමූර්ති මෙසේ පවසයි: “ලෝකය යනු ඔබෙන් හා මගෙන් පරිබාහිරව පවත්නා දෙයක් නොවේ. අපි ලෝකය වමු. අපේ ප්‍රශ්න ලෝකයේ ප්‍රශ්න වේ. ලෝකය තේරුම් ගැනීමට අප තේරුම් ගත යුතුය.”

මෙසේ ලෝකය දෙස තියුණු විග්‍රහයක් හෙළන ඔහුගේ චින්තනය තුළ මේ මොහොත හෙවත් වර්තමානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වේ. “විමුක්තිය අනාගතයට හෝ අතීතයට අයත් වූවක් නොවේ, අතීතය යනු නිරන්තරයෙන් ගලායන්නා වූ වර්තමානයයි, මේ මොහොත සම්පූර්ණ සත්‍යය යයි මම ප්‍රකාශ කරමි” යනු කෘෂ්ණමූර්තිගේ තවත් ප්‍රකාශනයකි. එසේ ම ආභ්‍යන්තරික සාමය ප්‍රතිෂ්ඨාපනය කරගත හැක්කේ අතීතයෙන් හෝ අනාගතයෙන් නොවේ. එය කළ හැක්කේ අතීතය ද අනාගතය ද මුණ ගැසෙන මේ මොහොත තුළ පමණි. ඒ අවස්ථාව උදා වූ විට අතීතය, හෝ අනාගතය උත්පත්තිය හෝ මරණය, කාලය හෝ අවකාශය නොපවතිනු ඇතැයි ද ඔහු පවසයි.

මොහුගේ ඉගැන්වීම් ගැන උනන්දුවක් දක්වන්නෝ ශ්‍රී ලංකාවේ ද සිටිති. එහෙයින් ඒ ඉගැන්වීම් අරභයා ලියන ලද පොත්පත් මෙහි ප්‍රචාරය වෙයි. ඔහු පවත්වන ලද දේශන කවන ලද තැටි අසන්නන්ගේ ප්‍රයෝජනය උදෙසා ප්‍රසිද්ධියේ වාදනය කරනු ලබන රැස්වීම් ද වරින් වර සංවිධානය කරනු ලැබේ. දේශන පැවැත්වීම සඳහා මොහු ශ්‍රී ලංකාවට ද කිහිප වරක් පැමිණ ඇත. 1986 දී හෙතෙම කලුරිය කෙළේය.

සෙනරත් විජයසුන්දර