උලනෝවා, ගැලීනා (Ulanova, Galina)

සිංහල විශ්වකෝෂය වෙතින්
18:08, 13 සැප්තැම්බර් 2017 වන විට Chamila (කතාබහ | දායකත්ව) ('1910 - සෝවියට් දේශයේ සුප්‍රකට මුද්‍රා නාට්‍යාංගන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

1910 - සෝවියට් දේශයේ සුප්‍රකට මුද්‍රා නාට්‍යාංගනාවකි (ballerina). රුසියානු ශාස්ත්‍රීය නාට්‍ය සම්ප්‍රදාය මැනැවින් ප්‍රගුණ කළ මෝතොමෝ රුසියානු මුද්‍රානාට්‍ය ක්ෂේත්‍රයෙහි උච්චස්ථානයට පත්ව විශ්වකීර්තිය දිනාගත්තාය. භාවමය හැඟීම් දනවන උසස් නාට්‍ය කීපයක් ම මැය විසින් නිර්මාණය කරන ලදි. මැයගේ නෘත්‍ය උසස් ගීතවත්බවකින් හා සුලලිත රිද්මයකින් යුක්ත වූ බව කියනු ලැබේ.

1910 දී සෙන්ට් පීටර්ස්බර්ග්හි ජන්මය ලැබූ ගැලීනා උලනෝවාගේ දෙමාපියෝ ද නාට්‍ය වෘත්තියෙහි යෙදී සිටියාහු වූහ. මුලින් ම සිය මවගෙන් නාට්‍ය කලාව උගත් උලනෝවා පසුව සුප්‍රකට නාට්‍යාචාර්යවරියන් යටතෙහි පුහුණුව ලැබුවාය. 1928 දී ලෙනින්ග්රෑඩ්හි නාට්‍ය විද්‍යාලයෙන් උපාධි ලැබ ලෙනින්ග්රෑඩ් ගීත නාටක හා මුද්‍රා නාටක ආයතනයේ නාට්‍ය කණ්ඩායමට බැඳුණාය. 1944 දී මොස්කව්හි සෝවියට් රජයේ බොල්ෂොයි රඟහලේ මුද්‍රා නාට්‍ය සංගමයට සම්බන්ධ වූවාය. “හංස විල”, “සැතපෙන සුන්දරිය”, “බාක්චිසරයිහි දිය උල්පත ”, “රොමියෝ ජුලියට්”, “සින්ඩරෙලා” හා “රතු පොපි මල” මැය රඟ පෑ ජනප්‍රිය වූ නාට්‍ය අතුරෙන් කිහිපයකි. මැය චරිත නිරූපණය කළ “රොමියෝ සහ ජුලියට්” නම් වූ චිත්‍රපටයත් “උලනෝවා නැටුම්” නමැති චිත්‍රපටයත් ලෝකයේ බොහෝ රටවල ප්‍රදර්ශනය කරන ලදි.

1957 දී තෙවෙනි ලෝක තරුණ උළෙලේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකාවක වශයෙන් පත් කරනු ලැබූ උලනෝවාට ජාත්‍යන්තර මුද්‍රා නාටක තරගයේ විනිශ්චය මණ්ඩලයේ සාමාජික ධුරයක් ද පිරිනැමිණි. 1911, 1946, 1947, 1950 යන වර්ෂවල දී ස්ටාලින් ත්‍යාග සතරක් ම ලැබූ උලනෝවාට 1957 දී ලෙනින් ත්‍යාගය ද පිරිනමන ලදි. මුද්‍රා නාට්‍යය නඟාසිටුවනු වස් මැය කළ සේවයට ගරු කිරීම් වශයෙනුත් ඒ විෂයයෙහි ඇය ලැබූ ජයග්‍රහණයට සැලකීම් වශයෙනුත් ඇයගේ සැටවැනි ජන්මෝත්සවය නිමිත්තෙන් සෝවියට් දේශයේ උසස් ම නම්බු නාමය වන ලෙනින් ගරු නාමය නොබෝදා ඇයට ප්‍රදානය කරනු ලැබිණි. රඟපෑමෙන් විශ්‍රාම ගෙන සිටින උලනෝවා බොල්ෂොයි මුද්‍රානාටක පාසැලේ ආචාර්යවරියක වශයෙන් සේවයට බැඳුණාය.