උලහිඳුවීම (දිවස් උල ඉඳුවීම)
පුරාණ කාලයෙහි පැවති මරණීය දණ්ඩන ක්‍රමයකි. දෙතිස් වධ ක්‍රමයට අයත් වූ මෙය දරුණු අපරාධ කිරීමේ වරදට ක්‍රෑර ලෙස දඬුවම් පැමිණවීමෙන් අපරාධ මර්දනය කිරීමට යොදාගත් ක්‍රමයක් සේ පෙනේ.
ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන යාඥවල්ක්‍ය ස්මෘතියෙහි අන්‍යයන් හිර අඩස්සියේ තබා ගැනීම, ඇතුන් හා අශ්වයන් සොරකම් කිරීම, අන්‍යයන්ට බරපතල ලෙස පහරදීම යන මේ වරදවලට දඬුවමක් වශයෙන් ද මනුස්මෘතියෙහි රාත්‍රියේ ගෙවල් බිඳ සොරකම් කිරීමට දඬුවමක් වශයෙන් ද උලහිඳුවීම නියම කොට ඇත. කාමවිලෝපන ජාතකයෙහි මෙන් ම පුෂ්පරත්න ජාතකයෙහි ද උත්තර සාමණේර වස්තුවෙහි ද සොරකම සඳහා උලහිඳුවීමෙන් දඬුවම් කළ බව කියැවේ. ධම්ම සොණ්ඩක වස්තුවෙහි හා (මිලින්ද ප්‍රශ්නයේ) මරණ සමුච්ඡේද ප්‍රශ්නයෙහි දිවස් උලඉඳුවීම මනුෂ්‍යයාට දුක් වේදනා ගෙන දෙන දඬුවම් අතර සඳහන් කර ඇත. මේ අනුව පුරාණයේ දී මෙම දණ්ඩන ක්‍රමය ඉන්දියාවේ ප්‍රචලිතව තුබුණු බව පැහැදිලිව පෙනේ.
ලංකාවේ ද පුරාණයේ සිට මහනුවර සමය දක්වා ම උලහිඳුවීම මරණ දණ්ඩන ක්‍රමයක් වශයෙන් පවත්වාගෙන ආ බව ඉතිහාස ග්‍රන්ථවලින් පෙනේ. භාරත දේශයෙහි උලහිඳුවීම ප්‍රධාන වශයෙන් සොරකම් කළවුන්ට දුන් දඬුවමක් සේ පෙනුණ ද ලංකාවේ එම වරදට මෙම දඬුවම දුන් බවට සාක්ෂි නොලැබීම සැලකිය යුතු කරුණකි. ලංකාවේ උලහිඳුවීම බරපතළ අපරාධ සඳහා පමණක් වෙන් වූ බව පෙනේ. රජතුමාට විරුද්ධව කැරලි ගැසීම ඉතාම තද දඬුවම් ලැබිය හැකි වරදක් විය. රාජද්‍රෝහීන්ට මරණ දඬුවම දුන් විශේෂ ක්‍රමය වූයේ උලහිඳුවීමය. එය ඉතා ම නින්දා සහගත ක්‍රමය ද විය. පළමුවැනි විජයබාහු රජතුමා විසින් 1078 දී පමණ රාජ්‍යය අල්ලා ගැනීමට තැත් කළ ඇමතිවරුන් තිදෙනකුන් හා වේලයික්කාර හමුදා නායකයන් ද මහාපරාක්‍රමබාහු රජතුමාගේ රක්ඛ ඇමැති විසින් සතුරන් සිය ගණනක් ද මඤ්ජු සෙනවියා විසින් රුහුණේ සතුරන් සිය ගණනක් ද උලහිඳුවන ලද බව වංශකථාවල සඳහන් වේ.
බටහිර ජාතීන්ගේ පැමිණීමෙන් පසු ද උලහිඳුවීමේ සිද්ධි කිහිපයක් වාර්තාගතව ඇත. 1671 දී පමණ දෙවන රාජසිංහ රජු මැරීම සඳහා වස යොදා ආහාර පිළියෙල කිරීම ගැන වග කිය යුතු වූ අරක්කැමියන් හා රජවාසල සේවකයන් උල තබා මැරවූ බව පෝල් ඊ. පීරිස් මහතා කියයි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ තැන උලහිඳවූවන් දක්නට ලැබුණු බව රොබට් නොක්ස් ද කියා ඇත. ලන්දේසීන් විසින් මඩකලපුවේ බලකොටුව අල්ලා ගත් පසු සිරකරුවන් උලහිඳ වූ හැටි දක්වන චිත්‍රයක් බල්දේයුස්ගේ පොතේ දැක්වෙන අතර ඇහැළේපොළ සපරගමුවේ කැරලි ගසන විට මොල්ලිගොඩ එහි යවා කැරලි නායකයන් හතලිස් හත්දෙනකු අල්ලා රජුගේ අණ පරිදි උලහිඳුවා මරනු ලැබූ බව ඉතිහාස පොත්වල සඳහන් වේ.
ඉන්දියාවේ මෙම දඬුවම පැමිණවීමේ ක්‍රමය වූයේ පණපිටින් උලක් මත හිඳුවීම බව කලින් දැක්වූ ජාතක කථාවන්ගෙන් ද සද්ධර්මරත්නාකරයේ කර්ම විභාග කථාවෙන් ද පෙනේ. ලංකාවේ උලහිඳුවීම විවිධාකාරයෙන් කළ බවට සාධක දැක්විය හැකිය. මරණ දඬුවම මෙන් ම අනෙක් බොහෝ දඬුවම් දෙනු ලැබුවේ අපරාධකරු උදෙසා ම නොව එවැනි වැරදිවලට පෙළඹිය හැකි අන්‍යයන් තුළ බිය දැනැවීමේ පරමාර්ථය ද ඇතිවය. ඒ නිසා දඬුවම පැමිණවීම ප්‍රසිද්ධියේ කළ අතර අන්‍ය ලෙසකින් මරණ දඬුවම දෙනු ලැබුව ද මළ සිරුරු ජනයාට දැකගත හැකි පරිදි උලහිඳුවා හෝ එල්ලා තැබීම ද සිරිතක් විය. පළමුවැනි ජෙට්ඨතිස්ස රජතුමා තම පියාට විරුද්ධ වූ ඇමතිවරුන්ගේ හිස් ගසා දමා ඔවුන්ගේ මළකඳන් පියාගේ චිතකය වටා උලහිඳුවා තැබූ බව මහාවංසයේ සඳහන් වේ. ඉහත සඳහන් රක්ඛ ඇමතියා සතුරන් උලතැබුයේ ගම්වල හා නගරවල වෙළඳපොළවල් අසලය. හෙල්ලකින් පිටට ඇන මරා මරණින් පසු කඳ ගසක එල්ලීම හෝ උලක හිඳුවීම කරන ලද බව හේලි පවසයි. ඩොයිලි ද මෙවැනිම විස්තරයක් කරමින් අන්‍යයන් තුළ බිය දැනවීමට මරනු ලැබූ අය උලහිඳුවා තැබූ බව කියයි. හේලිගේ හා ඩොයිලිගේ අදහස් අනුව උලහිඳුවා තැබීම මරණු ලැබූ තැනැත්තාට අගෞරවය ගෙන දෙන ක්‍රමයක් විය. මේ අනුව ලංකාවේ පණ පිටින් උලහිඳුවා මැරීම මෙන් ම රාජ උදහසකින් මරණ දණ්ඩනය පමුණුවනු ලැබූවන්ගේ මළ සිරුරු උලහිඳුවා තුබූ අවස්ථා ද වූ බව නිසැකය. ඒ හැර කඳින් වෙන් කළ හිස් උලක අමුණා ප්‍රදර්ශනය කිරීම ද පැවති බවට ඉතිහාසය දෙස් දෙයි.
උලහිඳුවීම කෙසේ කරන ලද දැයි පැහැදිලිව කිව නොහැකිය. බිම සිටවනු ලැබූ උලක් මත අපරාධකරුගේ අධෝමාර්ගය ඔස්සේ උල ඇනෙන ලෙස හිඳුවන ලදැයි සාමාන්‍යයෙන් සැලකෙන නමුත් හේලි හා ඩොයිලි වැන්නන්ගේ විස්තර අනුව නම්, පිටට හෙල්ලකින් ඇන මරා පසුව උලහිඳුවන්නට ඇතැයි සිතිය හැකිය.
උලහිඳුවා මරණයට පත් කිරීමේ බලය තිබුණේ රජ අත වුව ද දිසාවේවරුනට ද එම බලය පැවරි තිබුණු අවස්ථා වූ බව යට දැක්වූ සබරගමු කැරලි සිද්ධියෙන් පෙනේ. දොන් ජුවන් ධර්මපාලයන්ගේ ඇවෑමෙන් ප්‍රතිකාලුන් අතට පත් වූ සිංහල ප්‍රදේශ පාලනය සඳහා ඔවුන් පත් කළ සතර කොරළේ, සබරගමු, මාතර සත් කොරළේ යන දිසාවේවරුනට තම තමන්ගේ බල ප්‍රදේශ සීමාවන් තුළ ස්වදේශිකයන් කෙටේරියෙන් කෙටීමට හෝ උල තැබීමට බලය දී තිබුණු බව 17 වන සියවසට අයත් රිබේරු නම් පෘතුගීසි ඉතිහාසකරු පවසයි.
උලහිඳුවීම සඳහා උපයෝගී කරගත් උල කෙසේ සාදාගනු ලැබී දැයි සඳහන් නොවෙතත් උත්තර සාමණේර වස්තුවේ “කොසඹ උලක් සැස සිටුවා එහි උලහිඳුවාපීහ” යි කී හෙයින් කොසඹ ලී මේ සඳහා ගන්නා ලදැයි සිතිය හැකිය. උලහිඳුවීම අන්‍යයන්ට ද ආදර්ශයක් වන සේ ප්‍රසිද්ධියේ කළ අතර සද්ධර්මරත්නාවලියේ සඳහන් පරිදි උලහිඳුවන ලද්දේ “එක විට නොමරා දුක්ගෙන මියන ලෙසට” දඬුවම් දීම සඳහා වේ. පැරණි සිංහල ග්‍රන්ථවල මරණයට පත්කරනු ලැබුවකු ඒ සඳහා ගෙන යන අන්දම පැහැදිලිව විස්තර කොට ඇත. “රාජ පුරුෂයෝ ඔහු පිටිතල හයා බැඳ සියලු ශරීරයෙහි අළු හුනු ගල්වා රත්මල්දම් කර පලඳවා හිස පස් කොණ්ඩයක් කොට බන්දා ඒ නුවර කොවේ මහවේ ආදී වූ ඒ ඒ වීථී සන්ධියෙහි සිටුවා ගෙන කටු සැමිටි ආදියෙන් පිට පළා පහර දහස් ගණන් ගස්වමින් මෙසේ නොයෙක් විචිත්‍ර වධ කෙරෙමින් වධබෙර ගස්වා ගෙන හුලක් කර තබා” (සද්ධර්මාලංකාරය) ඔහු ගෙන යන ලදි.
මෙරට ඉංශ්‍රීසි යුගයේ ආරම්භයේ දී ම උලහිඳුවීම නීතියෙන් තහනම් කැරිණි.