ඔගස්ටස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.පූ. 63 - ක්‍රි.ව. 14). ඔගස්ටස් යනු රෝම සෙනට් සභාව විසින් ක්‍රි.පූ. 27 දී පළමුවෙන් ම ගේයස් ඔක්ටේවියස් නමැති ප්‍රථම රෝම අධිරාජයාට පිරිනමන ලද ගෞරව නාමයයි. ඉන්පසු ඔක්ටේවියස් ද ඔහුගෙන් පසු ආ අනෙක් සියලු රෝම අධිරාජවරු ද මෙම ගෞරව නාමය දැරූහ.

ක්‍රි.පූ. 63 දී ඉතාලියේ ලේෂියම් ප්‍රදේශයේ ධනවත් කුලීන පවුලක උපත ලත් ඔක්ටේවියස්ගේ පියා වූයේ මැසිඩෝනියාවේ සාර්ථක පාලනයක් ගෙන ගියාවූ ද රෝම සෙනට් සභාවේ ප්‍රථම ලේෂියම් සාමාජිකයා වූ ද ගේයස් ඔක්ටේවියස්ය. මව ජූලියස් සීසර්ගේ සහෝදරිය වූ ජුලියාගේ දියණිය වූ ඇටියාය. පුත්‍ර ලාභයක් නොලද සීසර් තම ඥාතීන් අතුරින් තරුණ ඔක්ටේවියස් ඉතාමත් හුරුබුහුටි අය ලෙස සලකා ඔහු තම පුත්‍රස්ථානයෙහි තබා තම උරුමක්කාරයා වශයෙන් ද නම් කෙළේය. පසුව මනා හමුදා පුහුණුවක් ද ලබා දුන් සීසර් විජයෝත්සවයටත් ස්පාඤ්ඤ සංග්‍රාමයටත් ඔහු සහභාගි කරවා ගත්තේය.

ක්‍රි.පූ. 44 දී ජූලියස් සීසර් ඝාතනය කරනු ලැබූ අවස්ථාවේ දී ඇපොලෝනියාවේ ඉගෙනීමෙහි යෙදී සිටි ඔක්ටේවියස් වහා සිය රටට පැමිණ තමා සීසර්ගේ උරුමක්කරු බව අසා එම උරුමය ලබා ගැනීමට ඉටා ගත්තේය. දහඅට හැවිරිදි තරුණයකු වූ ඔහුට වාසියකට තුබුණේ තමා සීසර්ගේ හදාගත් පුත්‍රයා වීම පමණි. වහා ම ඔහු තම නම ගේයස් ජූලියස් සීසර් යනුවෙන් වෙනස් කළේය. සීසර්ගේ විජයග්‍රහණයන් සැමරීමේ ක්‍රීඩෝත්සවාදිය තම වියදමෙන් ම පැවැත්විය. මේ වන විට කොන්සල් ධුරය ද ලබා සිටි මාක් ඇන්ටනි සීසර්ගේ බිරිඳගේ සහාය ද හමුදා හා සෙනට් පක්ෂපාතිත්වය ද ලැබ ප්‍රබල තත්වයක සිටියේය. තම අතට බලය ලබා ගැනීමේ උපාමං සොයමින් සිටි ඔක්ටේවියස්, මාක් ඇන්ටනි නෙරපා බලය ලබා ගැනීමට පුල පුලා හුන් සිසරෝගේ කුලුපගයකු බවට පැමිණියේය. අනතුරු ව මාක් ඇන්ටනි හා සෙනට් සභාව භේදභින්න වූ විට ඔක්ටේවියස් භටයන් 3,000කින් යුත් හමුදාවක් නීති විරෝධි ලෙස රැස්කර ගත්තේය. ඇන්ටනිට විරුද්ධව යුද ඇරඹීමට ඉටාගත් සෙනට් සභාව ඔක්ටේවියස්ට සෙනට් මන්ත්‍රී ධුරයක් හා ප්‍රීටර් (praetor) මහෙස්ත්‍රාත් බලතල ද පවරා යුද්ධයට සහාය වන ලෙස නියම කිරීමෙන් ඔහුගේ තත්වය නීත්‍යනුකූල බවට පත් කළේය. 43 දී ම්‍යුටිනා (මොඩෙනා) සටනින් ඇන්ටනි පරාජය කළ ඔක්ටේවියස් එවිගස ම ඔහු ඉල්ලා සිටි කොන්සල් ධුරය නොලත් විට හමුදාව කැටුව රෝමයට වැද කොන්සල් ධුරය ද ලබා ගත්තේය. ක්‍රමයෙන් තම බලය තහවුරු කොටගත් හේ මේ වන විට තමා ගෝල් දේශයේ පාලකයාත් ඔහුගේ සහාය පතමින් උන් ඇන්ටනිත් හා සම බල තත්වයක හුන් බැවින් තිදෙන හවුලේ පරමාධිපත්‍යය බෙදා ගැනීමට එකඟ වී ක්‍රි.පූ. 43 සිට ක්‍රි. පූ. 38 දක්වා වූ පස් අවුරුදු කාල පරිච්ඡේදය සඳහා ත්‍රිපුද්ගල ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය.

ඉන් අනතුරුව රටේ පාලනයත් රාජ්‍යයත් ශක්තිමත් කිරීමේ අරමුණින් ත්‍රිපුද්ගල ආණ්ඩුව විරුද්ධවාදීන් මැඩ පැවැත්වීමෙහි යෙදුණි. ක්‍රි.පූ. 42 දී මැසිඩෝනියාවට පහර දී බ්රූටස් (බ.) හා කැසියස් (බ.) පිලිප්පිහි දී පරදවන ලදහ. ඇන්ටනිගේ සහෝදර ලූසියස් ඇන්ටෝනියස් විසින් ඇන්ටනිගේ භාර්යාව වූ ෆුල්වියාගේ සහාය ද ඇතිව මෙහෙයවන ලද කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා ඔක්ටේවියස්ට ක්‍රි.පූ. 41 දී පෙරුසියා සටන කරන්නට සිදු විය. මෙයින් ඔක්ටේවියස් හා ඇන්ටනි අතර අමනාපයක් ඇති වුව ද ක්‍රි.පූ. 40 දී දෙදෙන සමගි වූහ. සමගිය තහවුරු කරනු වස්, ඒ වන විට තම බිරිඳ මිය ගොස් සිටියෙන්, ඇන්ටනි විසින් ඔක්ටේවියස්ගේ නැගණිය වූ ඔක්ටේවියා විවාහ කර ගනු ලැබුවාය. ක්‍රි.පූ. 37 දී දෙවන පස් අවුරුදු කාලයක් සඳහා ත්‍රිපුද්ගල ආණ්ඩුව දීර්ඝ කරන ලද අතර 36 දී ඔක්ටේවියස් හා ලෙපිඩස් සිසිලියේ හා සාර්ඩීනියාවේ පාලකයා වූ සෙක්ස්ටස් පොම්පීයස්ට විරුද්ධව ඒකාබද්ධ සටනක් කරන ලදි. මෙහි දී අන්ත පරාජයකට මුහුණ පා සිටි ඔක්ටේවියස් ගලවා ගනු ලැබුවේ ඔහුගේ ඉතා හිතෛෂි සෙනෙවියකු වූ මාකස් ඇග්‍රිපා විසිනි. ජයග්‍රාහක ඔක්ටේවියස් රෝමයට ආපසු පැමිණි අවස්ථාවේ දී ඉමහත් ගරු සැලකිලි සහිතව ඔහු පිළිගන්නා ලදි.

ගරු සම්මාන හා විශේෂ බලතල ආදියෙන් පුදනු ලැබූ ඔක්ටේවියස් මුළු බටහිර ප්‍රදේශයේ පූර්ණ බලධරයා විය. ඔහුත් මුළු නැගෙනහිර ප්‍රදේශයේ පාලකයා වූ ඇන්ටනිත් අතර පරමාධිපත්‍යය සඳහා අරගලයක් ඇතිවනු නියත බව පෙනෙන්නට වන. ඔක්ටේවියස්, ඇග්‍රිපාගේ දස්කම් ද හේතුකොටගෙන ලැබූ ජයග්‍රහණයන් නිසා, කීර්තියට පත් වෙමින් හුන් අතර ඇන්ටනි මේ වකවානුව තුළ ලැබූ පරාජයවල් නිසා මෙන් ම මිසරයේ ක්ලියොපැට්‍රා බිසව සමඟ පැවැත් වූ පෙම් සබඳකම් නිසා ද අපකීර්තියට පාත්‍ර වෙමින් සිටියේය. මෙයින් ඔක්ටේවියස්ගේ බලය තදින් ම තහවුරු විය. මෙම බලය සඳහා වූ තරගය කුළුගැන්වුණේ ක්‍රි.පූ. 32 දී ත්‍රිපුද්ගල ආණ්ඩුවේ දෙවන වාරය අවසානයේ දීය. ඇන්ටනිගේ බලතල දක්වාලීමට ඔක්ටේවියස් විසින් ඔහු කැඳවන ලදි. ඇන්ටනිට කොන්සල්වරුන් දෙදෙනකුගේ හා සෙනට් සභිකයන් තුන්සිය දෙනකුගේ පමණ සහාය ලැබිණ. ඒ අවස්ථාවේ දී ඔක්ටේවියස් ඇන්ටනිට විරුද්ධව තුරුම්පුව කොට ගත්තේ ඇන්ටනිගේ අන්තිම කැමති පත්‍රයයි. ක්ලියොපැට්‍රාට හා ඇගේ දරුවන්ට තම උරුමය පවරමින් ඇන්ටනි විසින් ලියන ලද එම අන්තිම කැමති පත්‍රය සෙනට් සභාවට ඉදිරිපත් කිරීමෙන් ඇන්ටනිට විරුද්ධ මහජන මතයක් ගොඩනැඟීමට හැකි විය. ඉතාලි ජනයා සියලු දෙන ම තමාට පෞද්ගලිකව පක්ෂපාත වන බවටත්, ඇතිවන්නට යන යුද්ධයේ දී තමා ඔවුන්ගේ නායකයා වන ලෙස එකහෙළා ඉල්ලා සිටින බවටත් ඔවුන් ලවා දිවුරවා ගැනීමට ඔක්ටේවියස්ට පිළිවන් විය. බටහිර පළාත් සියල්ලක් ඉතාලි ජාතිකයන් අනුගමනය කෙළේය. ක්ලියොපැට්‍රාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන ලදි. ඔක්ටේවියස් ක්‍රි.පූ. 31 දී ඇන්ටනි හා ක්ලියොපැට්‍රා දෙදෙනාගේ ඒකාබද්ධ බලඇණියක් තීරණාත්මක ලෙස පැරදවිය. ඇන්ටනි හා ක්ලියොපැට්‍රා මිසරයට පළා ගියහ. ක්‍රි.පූ. 30 අගෝස්තු මස 1 වැනි දා ඔක්ටේවියස් ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇතුළු වීමෙන් ඉක්බිති ඇන්ටනි ද ක්ලියොපැට්‍රා ද සිය පණ හානි කර ගත්හ. මිසරය තම අණසක යටතට ගත් ඔක්ටේවියස් මහත් වස්තු සම්භාරයක් ද අත්පත් කොටගෙන ක්‍රි.පූ. 29 දී පෙරළා රෝමයට පැමිණ ජයපැන් පානය කෙළේය.

දැන් රෝම අධිරාජ්‍යයේ අසහාය ස්වාමියා වූ ඔක්ටේවියස් අගනුවර හා පළාත් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත වහා ඇරඹීය. හේ තාවකාලික ත්‍රිපුද්ගල ආණ්ඩුවේ නීති විරෝධී තීරණාදිය අහෝසි කොට අනෙක් කොන්සල්වරයා වූ ඇග්‍රිපාගේ ද සහාය ඇතිව සෙනට් මණ්ඩලය පවිත්‍ර කරනු වස් එහි වූ අනවශ්‍ය නුසුදුසු පුද්ගලයන් ඉන් ඉවත් කෙළේය. හුදෙක් කොන්සල්වරයකුගේ තත්වය දරමින් අවශේෂ හා සුවිශේෂ බලතලවලින් අස් විය. මෙයින් තුටු පහටු වූ සෙනට් මණ්ඩලය කෘතගුණ සැලකීම් වස් ඔගස්ටස් නම් ගෞරව සම්මානය ක්‍රි.පූ. 27 දී ඔහුට ප්‍රදානය කොට ඉදිරියටත් සමුහාණ්ඩුවට නායකත්වය දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඒ වන විටත් අර්බුදකාරී තත්වයක පැවති පළාත්වල පාලනය සියතට ගැනීමට සතුටු වූයෙන් ස්පාඤ්ඤය, ගෝල්, සිරියාව හා මිසරය ඇතුළු විශාල ප්‍රදේශයක් දස අවුරුදු කාලයක් සඳහා ඔහුට පවරන ලද්දේ යුද්ධ ප්‍රකාශ කිරීමේ හා ගිවිසුම් ඇති කිරීමේ බලය ද සමඟය. “රෝම ජනතාවගේ නිදහසේ ආරක්ෂකයා” යනුවෙන් ඔහු හඳුන්වා ඔහුගේ පිළිරුව සහිත කාසි ද නිකුත් කරන ලදි.

තමාට පවරන ලද ප්‍රදේශයේ කැරලි මඩිමින් පාලනය ගෙනගිය ඔක්ටේවියස් (දැන් ඔගස්ටස්) අවුරුදු පතා කොන්සල් ධුරයට ද පත් කරගනු ලැබීය. මෙයින් රදල පන්තිය තුළ දැඩි අසහනයක් උද්ගත විය. ඔවුන්ට කොන්සල් ධුරය ලබා ගැනීමේ අවස්ථා සීමා සහිත වූවා පමණක් නොව එක ම පුද්ගලයකු දිගින් දිගට කොන්සල් ධුරය දැරීම සමූහාණ්ඩුවේ මූලධර්මවලට පටහැණිය යන හැඟීම රටේ පැතිරෙන්නට විය. ඔගස්ටස් මරා දැමීමේ අරමුණින්, ඔහුට මෙතෙක් පක්ෂපාතීව හුන් අනෙක් කොන්සල්වරයාගේ මූලිකත්වය පිට, ක්‍රි.පූ. 23 දී ඇති වූ කුමන්ත්‍රණයෙන් මෙකී අසහනය කුළුගැන්විණ. තම හදාගත් පියා වූ සීසර්ගේ ඉරණම තමාට ද උරුම නොකර ගැනීමට සුදුසු කටයුතු ගැන මෙහි දී සලකා බැලූ ඔගස්ටස් මින්පසු දෙවතාවක් (ක්‍රි.පූ. 5 දී හා ක්‍රි.පූ. 6 දී) හැරුණු විට යළි කොන්සල් ධුරය නොදරන්නට ඉන් ඉල්ලා අස් විය. තමාට පවරන ලද ප්‍රදේශ පාලක ධුරය අවසන් වීමට තව කලක් තිබුණෙන්, ඒ ධුරය දැරුව ද, අනවශ්‍ය ලෙස එහි එල්බ සිටීමේ අදහසක් තමා තුළ නැති බව දක්වනු වස් සමථයකට පත් කරගන්නා ලද ප්‍රදේශ වරින්වර ආපසු භාර දෙන ලදි. ඔහු විසින් කරන ලද මෙකී පරිත්‍යාගයන්ට වන්දි වශයෙන් ඔහුට අතිවිශේෂ බලතල පවරනු ලැබීය. සෙනට් සභාවේ පනත් ඉදිරිපත් කිරීම, මහෙස්ත්‍රාත්වරුන්ගේ තීරණ කෙරෙහි නිෂේධ බලය යෙදීම, අනෙක් කොන්සල්වරුන් අභිභවා සිටීම වැනි අනන්‍යසාධාරණ විශේෂ බලතල ඔහුට පවරන ලද නමුත් ඔගස්ටස් විසින් ඒ බලතල පාවිච්චි කරන ලද්දේ ඉතා කලාතුරකිනි. ක්‍රි.පූ. 22 දී නැගෙනහිර පළාත්වල දීර්ඝ සවාරියක යෙදුණු ඔගස්ටස් පෙරළා රෝමයට පැමිණියේ ක්‍රි.පූ. 19 දීය. මේ තත්ත්වය සමූහාණ්ඩු පාක්ෂිකයන්ගේ සතුටට හේතු වුවද සෙනට් මණ්ඩලයට රට පාලනය කිරීමට ඉඩහැර ඔගස්ටස් සදහට ම තම පළාතට වැදගනු ඇතැයි යන බියක් පොදු ජනතාව තුළ ඇති විය. එහෙයින් ඔවුහු දැඩි උද්ඝෝෂණ පවත්වමින් ඔහුට එකාධිපති තත්ත්වය හා සදාකාලික කොන්සල් ධුරය වැනි අසීමීත බලතල පැවරිය යුතු යයි ඉල්ලා කැරලි ගසන්නට වූහ. කැරලි මැඩලීමට අපොහොසත් වූ සෙනට් සභාව මෙහි දී මැදහත් වන ලෙස ඔගස්ටස්ට කන්නලව් කරන්නට වන. එතැන් සිට ඉතාලියේ මුළු විධායක බලය ඔගස්ටස් සතු විය. ක්‍රි.පූ. 2 දී ඔහු “ දේශයේ පිතෘවරයා ” යනුවෙන් සම්මාන ලදි.

ඔගස්ටස් ඇත්ත වශයෙන් සමූහාණ්ඩුව ප්‍රතිෂ්ඨාපනය කිරීමට අදහස් කෙළේ ද, නැතිනම් සෙනට් මණ්ඩලයත් සමග ද්විත්ව පාලන බලයක් දැරීමට අදහස් කෙළේ ද, එසේත් නැතිනම් ඉහළ පන්තිය සැනසීමට පමණක් සමූහාණ්ඩු අදහස ඉදිරිපත් කළේ ද යනු මතභේදයට තුඩු දුන් කරුණකි. අධිරාජ්‍යය යථා තත්ත්වයට පත් කළ පසු සමූහාණ්ඩුව නැවත පිහිටුවීමට ඔහු තුළ මුල දී අදහසක් තිබුණා විය හැකිය. පාලන කටයුතුවල දී වඩා ක්‍රියාශීලි කොටසක් ඉටු කිරීමට ඔහු මහෙස්ත්‍රාත්වරුන් හා සෙනට් මණ්ඩලය උනන්දු කරවූයේය. සමූහාණ්ඩු ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ඇති කෙළේය. කලින් අතපසු කොට දමන ලද ජලය සැපයීම වැනි කාර්‍ය්‍ය නව මණ්ඩලවලට පවරන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකිතාක් දුරට තමාගේ ඇඟිලි ගැසීමෙන් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ හරින ලදි. නිදහස් ඡන්ද විමසීම් පවත්වාගෙන යෑමට ඉඩ හරින ලද අතර ඔහු විසින් කරන ලද්දේ තමා කැමැති අපේක්ෂකයන් ටික දෙනකු මහජනයාට නිර්දේශ කිරීම පමණි. ඔහුගේ අවසාන කාලය වන විට මේ නිර්දේශ කිරීම සීමාසහිත අපේක්ෂකයන් ගණනක් නම් කොට ඔවුන් නිතරගයෙන් පත්කරගනු ලැබීමක් බවට පෙරළිණ. සෙනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව සශෝධනය කරවන ලදි. මේ සියල්ලක් ඔහු කෙළේ හමුදාව සිය ග්‍රහණයෙන් කිසි විටෙක මිදෙන්නට නොදී තබාගෙන නියම බලය තරයේ සියත රඳවාගෙන සිටිමින්ය.

ඔගස්ටස් සමූහාණ්ඩුව ප්‍රතිෂ්ඨාපනය කිරීමට එතරම් ඕනෑකමක් නොදැක්වූ බවට කදිම සාක්ෂිය ලෙස දැක්විය හැක්කේ තම පවුලේ ම අයකු තම අනුප්‍රාප්තිකයා ලෙස පත්කර ගැනීමට ඔහු දැරූ දෘඪ උත්සාහයයි. තමාගෙන් පසු අධිරාජ්‍යයේ නායකයා වශයෙන් තම පවුලේ අයකු ම පත් කර ගැනීමට ඔහු පෙලඹුණේ පෞද්ගලික හේතු නිසා ම නොවේ. දේශපාලන හේතු ද විය. යුද්ධ සේනාවන් පක්ෂපාතිත්වය දැක්වුයේ සීසර්ගේ පවුලේ අයට බව ඔගස්ටස් සිය අත්දැකීමෙන් ම දැන සිටියේය. ඒ නිසා අධිරාජ්‍යයේ චිරස්ථීතිය රැක ගැනීමට නම් ඒ පක්ෂපාතිත්වය ලබා ගත හැකි අයකු පත් කළ යුතු විය. එහෙත් අවාසනාවකට මෙන් ඔගස්ටස්ට පුත්‍රයෙක් නොවීය. දියණියක පමණක් ලබා දුන් ස්ක්‍රිබෝනියා නම් වූ ප්‍රථම බිරිඳ දික්කසාද කළ ඔහු ටයිබීරියස් ක්ලෝඩියස් නීරෝගේ බිරිඳ වූ ලිවියා ඩ්රුසියා නමැත්තිය සැමියාගෙන් දික්කසාද කරවාගෙන සරණ පාවා ගත් නමුදු ඉන් දරුපල නොලැබිණ. ඔහුගේ එක ම කිට්ටු පිරිමි ඥාතියා වූයේ සිය සොහොයුරිය වූ ඔක්ටේවියාගේ පුත් මාකස් ක්ලෝඩියස් මාර්සෙලස්ය. මාර්සෙලස් තම අනුප්‍රාප්තිකයා කරගන්නා අදහසින් තම දියණිය වූ ජුලියා ඔහුට විවාහ කොට දුන් නමුත් ඔහු නොබෝ කලකින් මිය ගියේය. කෙළවර දී සිය දෙවැනි බිරිඳට ඇගේ පළමු විවාහයෙන් ලැබුණු ටයිබීරියස් තම අනුප්‍රාප්තිකයා වශයෙන් තෝරා ගැනීමට ඔගස්ටස්ට සිදූ විය. (ඔගස්ටස්ගෙන් පසු රෝම අධිරාජයා වූයේ මේ ටයිබීරියස්ය.)

ඔගස්ටස්ගේ කාලය තුළ සිවිල් පාලනය ක්‍රමවත් කිරීමට දරන ලද ප්‍රයත්න කිහිපයකි. ප්‍රාදේශීය පාලනයට කොන්සල් තත්ත්වයේ සෙනට් සභිකයෝ පත්කරන ලද අතර රෝම නගරයේ පාලනයට ජ්‍යෙෂ්ඨ කොන්සල් තත්ත්වයේ සෙනට් සභිකයෝ පත් කරන ලදහ. කුඩා ප්‍රදේශ පාලනයට පාලකවරු වෙන ම පත් කරනු ලැබූහ. අයබදු ගැනීම වඩා සාධාරණ බවට පත්කරන ලදි. මංමාවත් අධිරාජ්‍යයේ බලනහර බව දත් ඔහු ඒවා තැනීමට නොමසුරු ව වියදම් කෙළේය. විථී අලංකාර කරවා, නිවෙස් පහසුකම් සලසා, ප්‍රමාණවත් පොලිස් හා ගිනි නිවන සේවා ඇති කරන ලදි.

දේව මන්දිර, නගර ශාලා, අධිකරණ ශාලා ආදි නොයෙකුත් ගොඩනැඟිලි අලුතින් ඉදිකරවූ මොහුගෙන් ප්‍රතිමා ශිල්පීන් හා ගෘහනිර්මාණ ශිල්පීන් බොහෝ දෙනකුට සෙත සැලසිණ. තමා එහි එන විට ගඩොලින් කළ නගරයක් ව තිබුණු රෝමය තමා ඉන් යන විට කිරිගරුඬින් කළ නගරයක් ව තිබිණැයි ඔහු පාරට්ටු කෙළේ නිකමට නොවේ. සාහිත්‍ය අනුග්‍රාහකයෙකු වශයෙන් සුප්‍රකට ස්වකීය යාවජීව මිත්‍ර ගේයස් මිසීනස් හා එක්ව ඔහු වර්ජිල්, හොරස්, ඔවිඩ් ආදි කවීන්ට නැතක් අනුබල දෙමින් ඔවුන් ලවා නව යුගයේ පුරුෂාර්ථ රටේ ප්‍රචාරයට පත් කෙළේය. කලා හා සාහිත්‍ය යුගයක් ඔගස්ටස්ගේ නමින් හැඳින්වෙන්නේ යුක්ති සහගත ලෙසය. රෝම ජනතාවගේ ආගමික, සදාචාර හා සමාජ කටයුතුවල ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට ඔහු යත්න දැරීය. නටබුන් දේවස්ථාන පිළිසකර කරවා අභාවයට යමින් තිබුණු පුද පූජා හා පූජක තනතුරු යළි පණ ගන්වා දේශ වාත්සල්‍යය හා ආශ්‍රිත පැරණි රාජ්‍ය ආගම ප්‍රකෘතිමත් කිරීමට ඔහු වෑයම් කෙළේය. විවාහයේ අලංඝනීය භාවය ආරක්ෂා කොට උත්පත්ති සංඛ්‍යාව වැඩිකිරීම පිණිස, පරදාර සේවනය දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙසටත් අවිවාහක බව හා දරුවන් නොලැබීම වරදක් ලෙසටත් නීති පනවා, බොහෝ දරුවන් ඇති දෙමව්පියන්ට තෑගි බෝග දෙන ලදි. සීසර් වෙනුවෙන් අලංකාර දෙවොලක් තැනු ඔගස්ටස් තමාට වැඳුම් පිදුම් කිරීමෙන් රෝම ජනතාව හැකිතාක් දුරට වළකාලීය.

ඔගස්ටස්ගේ ජීවිතය තරමක ප්‍රහේලිකාවකි. බලය ලබාගන්නා තුරු දරුණු මගක් අනුගමනය කළ හේ බලයට පත් වූ පසු දැමුණු, තැන්පත් ගති ඇති, උසස් පාලකයෙක් විය. ඔහුගේ පාලන හා හමුදා ප්‍රතිසංවිධාන ඉතා යහපත් ප්‍රතිඵල ලබා දුනි. මහජන මතය විනිවිද දැක තමාට අවශ්‍ය පරිදි එය හසුරුවා ගැනීමට සුවිශේෂ දස්කමක් පෙන්වූ හේ හැම පන්තියක ම ජනයා අස්වසාලීමට සමත් විය. ඔහු හර බර කාර්‍ය්‍යයක් ඉටු කළ බවට හොඳ ම සාක්ෂ්‍යය නම් ඔහු විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද පාලන පද්ධතිය සැලකිය යුතු විපර්‍ය්‍යයාසයකට භාජන නොවී ශත වර්ෂ තුනක් මුළුල්ලේ චිරස්ථායීව පැවතීමයි. රෝම අධිරාජ්‍යය පෙර නොවු විරූ ස්වර්ණමය යුගයක් කරා ගෙනගොස් ලෝක ඉතිහාසයේ අමරණීය නාමයක් ශේෂ කළ ඔගස්ටස් ක්‍රි.ව. 14 අගෝස්තු 19 දා කැම්පේනියාවේ නෝලා නම් නගරයේ දී අවසන් හුස්ම හෙළීය.

"http://encyclopedia.gov.lk/ltrl_cyclopedia/si_encyclopediaV2/index.php?title=ඔගස්ටස්&oldid=1073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි