කෙලෙස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පෙළ බසෙහි ‘අපවිත්‍ර කරන’, “කිලිටි කරන” යන තේරුම් ඇති ‘කිලේස’ යන වදනයි, කෙලෙස් යනුවෙන් සිංහලයට පැමිණ ඇත්තේ. ‘කිලේස’ යනු බුදු දහමෙහි ඉතා වැදගත් වූ පාරිභාෂික වචනයකි. සත්ත්වයාගේ සංසාරික පැවැත්මත් එහි අභාවයත් යන දෙක ම සිත හා සම්බන්ධව පවතී. සංසාරික පැවැත්මෙහි කෙළවරක් දැකිය හැක්කේ කර්ම ශක්තිය දනවන කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා යන ත්‍රිවිධාකාර තණ්හාව ක්ෂය කිරීමෙනි. තණ්හාව කෙළවරක් කළ හැක්කේ හැම දෙයක් පිළිබඳව ම ඇති තත්ත්වය ඒ ආකාරයෙන් ම දැකීම (යථාභූත ඥානය) නිසා ඇති වන විරාගය හෙවත් නොඇලීම හේතුවෙනි. බුදු දහමට අනුව හැම දෙයක ම යථාතත්ත්වය නම් නිතර වෙනස් වන සුලුබව (අනිච්ච), දුකින් පිරුණුබව (දුක්ඛ), නිත්‍ය වශයෙන් ගත යුතු දෙයක් නැති බව (අනත්ත) හා හේතුප්‍රත්‍යයන්ගේ එක්තැන් වීමෙන් හටගන්නා ලද (පටිච්චසමුප්පන්න) බවයි. විරාගය හෙවත් අරමුණුවල නොඇලීම ඇති කරන තත්ත්වාකාර ඥානය හෙවත් යථාභූත ඥානය ඇති කරගත හැක්කේ විසුරුණු බැවින් මිදුණු, එක්තැන් වූ සිතක් කෙනකුට ඇති නම් පමණි. එසේ සිතෙහි එක් තැන්බව නැති කරන, සිත චංචල කරන ධර්මයි, කිලේස හෙවත් කෙලෙස් යනුවෙන් නම් කර ඇත්තේ.

පාළි අංගුත්තර නිකායෙහි ඒකනිපාතයෙහි අච්ඡරාවග්ගයෙහි දක්වා ඇති ලෙස සිතෙහි මුල් ම ස්වභාවය ඉතා පැහැපත්ය, ප්‍රභාස්වරය, අපවිත්‍ර දෙයින් විනිර්මුක්තය. එබඳු වූ සිත කිලිටිකර, වික්ෂිප්තභාවයට පත් කර, එම පැහැපත් බව ආවරණය කරන්නේ පිටතින් පැමිණ සිතට සම්බන්ධ වන අපිරිසිදු ධර්මයයි. කෙලෙස් දනවන එබඳු මානසික ස්වභාව දහයක් සමහර පෙළ පොත්වල සඳහන් වෙයි. ලෝභ, දෝස, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථින, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යනු එම දහයයි. ලෝභ නම් නොයෙකුත් අරමුණුවල සිත ඇලීමයි. දෝස නම් නොයෙකුත් අරමුණු හා සිත අතර ඇති වන ගැටීමයි; නුරුස්සන ගතිය හෝ කිපීමයි. මෝහ නම් මුළාවයි; වැරදි වැටහීම හෙවත් යමක ඇති තතු එම ආකාරයෙන් ම නොපෙනීමයි. මාන නම් උඩඟුකමයි, ආඩම්බරයයි; උසස්, පහත්, සම ආදි වශයෙන් මිනිසුන් මැනීමයි. දිට්ඨි නම් නිසි අවබෝධයකින් තොරව, ආධානගාහී වශයෙන් යම් යම් මතවල දැඩිව එල්බගෙන සිටීමයි. විචිකිච්ඡා නම් තීරණවලට බැසීම අපහසු කරන අවිනිශ්චිතබව හෙවත් සැකයයි. ථින නම් සිතෙහි හැකුළුණු බවයි; කර්මණ්‍ය ගුණයෙන් අඩුබව හෙවත් පසුබස්නා ගතියයි. උද්ධච්ච නම් සිතෙහි කැලඹුණු විසිරුණු බවයි; නොසන්සුන් ගතියයි. අහිරික නම් වැරදි දේ කිරීමට ලජ්ජා නොවීමයි. අනොත්තප්ප නම් වැරදි දේ කිරීමට බිය සැක නැති කමයි; පසුබට නොවීමයි. මෙම ස්වභාව දහය පුහුදුන් අයගේ සිත්වල අඩුවැඩි වශයෙන් පවතී. තව තවත් මෙකී කෙලෙස් වර්ධනය වීමට තුඩු දෙන කායික, වාචසික, මානසික ක්‍රියා මෙහෙයවනු ලබන්නේ ද මෙම දහය විසින් මය.

මේ අයුරින් සංසාරික පැවැත්ම මුළුල්ලෙහි ඉහත සඳහන් කිලිටි දහය විසින් මෙහෙයවනු ලදුව, සිත කය වචනය යන තුන්දොරින් සිදු කෙරෙන ක්‍රියාවන්ගෙන් ජනිත වන කෙලෙස් ශක්තිය අප සිත්හි තැන්පත්ව පවතී. මේ අවස්ථාව ‘අනුසය’ යනුවෙන් හැඳින්වෙයි. ඉන්ද්‍රියයන් යම් කිසි අරමුණක් හා ගැටුණු විට එසේ තැන්පත්ව ඇති කෙලෙස් ශක්තිය සිත තුළ ම අවදි වීම පරියුට්ඨාන අවස්ථාව ලෙස හැඳින්වෙයි. එසේ අවදි වූ කෙලෙස් ශක්තිය ක්‍රියාවෙන් හෝ වචනයෙන් ප්‍රකාශිත වීම වීතික්කම අවස්ථාව ලෙස සැලකේ.

කෙලෙස් දනවන ස්වභාවයන් දහයක් ඉහතින් සඳහන් වුව ද ඉන් ප්‍රධානතම වනුයේ මෝහ හෙවත් මුළාව-වැරදි වැටහීම-යයි සැලකීම නිවැරදි වේ. ඉතිරි නවය මුළාවේ ම ප්‍රතිඵලයයි. මෙය වඩාත් ම පැහැදිලි වන්නේ ‘අමෝහය’ හෙවත් මුළාවේ අභාවය නිසා ජනිත වන තත්ත්වාකාර දැනීම ඇති වූ විට එම ස්වභාවයන් නවය ම ඉබේට ම අභාවයට යන බැවිනි.

බෞද්ධ ආගමික ජීවිතයේ අරමුණ මෙම කෙලෙසුන් නසා සංසාරික පැවැත්ම කෙළවරක් කිරීමය. ‘රහත්’ තත්ත්වයට පත්වීම යයි කියන්නේ ද කෙනකුගේ චිත්තසන්තානයෙහි තැන්පත්ව තුබූ කෙලෙස් ශක්තිය මුළුමනින් ම අහෝසි වී යාමයි. නිවන් පසක් කරගැනීම යනුවෙන් අදහස් වන්නේ ද එය මය. අනුසය වශයෙන් තිබූ කෙලෙස් මේ අයුරින් අභාවයට යාම නිසාත් අලුතින් කෙලෙස් හට නොගැනීම නිසාත් රහත් තත්ත්වයට පත් වූවෙක් මරණින් මතු නැවත නොඋපදියි. පහන් තිරයත් තෙලුත් ආධාර කොට ගෙන දැල්වෙමින් තිබූ පහනක් පහන් තිරයෙහි හා තෙල්වල නිමාවට පත් වීම නිසා නිවී යන්නාක් මෙනි, කෙලෙස් ශක්තියේ අභාවය නිසා ඔහුගේ සාංසාරික පැවැත්මෙහි අභාවය සිදු වන්නේ. එබඳු තත්ත්වයකට පත් වූ කෙනකු හැඳින්වීම සඳහා කෙලෙසුන් බිඳ දැමූ තැනැත්තා (භින්නකිලෙසො), ‘කෙලෙස් නිවූ තැනැත්තා’ (උපසන්තකිලෙසො) යන පර්යාය නාම පෙළ පොත්වල පෙනේ.

මුළුමනින් ම කෙලෙස් නසා රහත් තත්ත්වයට පත් වීමට උපකාරී වන ක්‍රියාමාර්ගයක් බුදු සමයෙහි ඉගැන්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් දැක්වෙන්නේ එයයි. එය අවස්ථා තුනකට බෙදා දක්වා ඇත. සීල, සමාධි, පඤ්ඤා වශයෙනි. කෙනකු තුළ ඇති කෙලෙස් මෙම අවස්ථා තුනෙහි දී පිළිවෙළින් තදංගප්පහාන, වික්කම්භනප්පහාන සහ සමුච්ඡේදප්පහාන යන ක්‍රම තුනින් පහ කෙරේ. සීල අවස්ථාවේ දී ලෝභ, දෝස යන කෙලෙස්වලට ප්‍රතිපක්ෂ වූ ත්‍යාගශීලභාවය හා දන් දීම, අනුනට මිත්‍රත්වයෙන් කටයුතු කිරීම වැනි දේ පුරුදු පුහුණු කිරීමෙන් එකී කෙලෙස් මතු වීම වැළැක්වීම තදංගප්පහානයයි. සීල අවස්ථාවට පසුව සමාධි අවස්ථාවේ දී සිත එකඟ කිරීමෙන් එකී කෙලෙස්වලට ඉස්මතු වීමට ඉඩ නොහැර ඔබා තබාගැනීම වික්කම්භනප්පහානයයි. සිත එකඟ කරගැනීමට පසුව එසේ එකඟ වූ සිතින් ලෝ තතු පිරික්සීමෙන් ඇති වන මනා දැක්ම හෝ නුවණ (විදර්ශනා) නිසා ඇති වන විරාගී බව හේතුවෙන් අනුසය වශයෙන් ඇති කෙලෙස් ශක්තිය මුළුමනින් ම ගෙවා අහෝසි කිරීම සමුච්ඡේදප්පහානයයි.

සියලු කෙලෙසුන් එක විටක දී ප්‍රහාණය නොකළ හැකි බවත්, සාංසාරික ජීවිතය කෙළවර කර දැමීමෙන් දුකින් මිදීමට උත්සුක වන තැනැත්තකු විසින් සිතෙහි ඇති ඕලාරික කෙලෙසුන් වන සිත-කය-වචනයෙන් සිදු වන වැරදි හැසිරීම්වලින් හෙවත් දුශ්චරිතවලින් පළමුව වෙන් විය යුතු බවත් මධ්‍යම ප්‍රමාණයේ කෙලෙසුන් වන කාම ව්‍යාපාද විහිංසා විතර්කයන්ගෙන් (සිතුවිලිවලින්) අනතුරුව වෙන් විය යුතු බවත් ඊට පසුව තමන්ගේ ඥාතීන්, උපන් රට, තමන්ගේ තරාතිරම, උදාරත්වය වැනි දේ මෙනෙහි කිරීම වැනි සියුම් කෙලෙසුන්ගෙන් මිදිය යුතු බවත් මෙසේ ත්‍රිවිධාකාර කෙලෙසුන්ගෙන් සිත මුදාගත් විට උසස් දැනීම් සංඛ්‍යාත අභිඤ්ඤා ලබාගැනීමට එබඳු සිතක් මෙහෙයවීම පහසු බවත් සංයුත්ත නිකායෙහි තිකනිපාතයෙහි ලොණඵලවග්ගයෙහි සූත්‍රයක සඳහන් වේ.

ඩබ්ලිව්. ජී. වීරරත්න

"http://encyclopedia.gov.lk/ltrl_cyclopedia/si_encyclopediaV2/index.php?title=කෙලෙස්&oldid=1233" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි