ජන කවි (Folk Poetry)
කාලාන්තරයක් තිස්සේ වැඩෙමින් පරිණාමයට ලක් වෙමින් හැඩ ගැසෙමින් සජීව ලෙස විකාශනය වෙමින් පැවත එන සාහිත්‍ය ස්වරූපයක් ලෙස ජන කවිය හැඳින්විය හැකි ය. මෙය ජනශ්‍රැති විද්‍යාවට (folklore) අයත් වැදගත් අංශයකි. ජනශ්‍රැති විද්‍යාවේ විෂය ක්ෂේත්‍රයට ජන කවිය මෙන් ම ජන සංගීතය, ජන කතා, ප්‍රස්ථා පිරුළු, ජන ඇදහිලි හා විශ්වාස, තේරවිලි මෙන් ම ජන නැටුම් හා ජන නාට්‍යය ද අයත් වේ. මිනිසාගේ සිතෙහි නිතැතින් ඇති වන හැඟීම් තමනට ශක්ති පමණින් කවියට නැගීමෙන් හා විරිතකට අනුව ගැයීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජන කවිය බිහි වේ. ජන කවිය සම්භාව්‍ය කාව්‍යයෙන් වෙනස් වන්නේ සම්භාව්‍ය කාව්‍යයේ මෙන් ආලංකාරිකයන්ගේ නීතිරීතිවලට වහල් නොවී එළිවැට වැනි සඳැස් ලකුණු රැකීමට ආයාස නොදරා තම කවි සිතුවිලි නිවහල් ව ප්‍රකාශනය කිරීම සිදු වන බැවිනි. එළිවැට වැනි පද්‍ය ලක්ෂණ ඇතැම් විට ජන කවියක නිරායාසයෙන් ඇතුළත් විය. සමාජ විද්‍යාඥයකු වන රොබර්ට් රෙඩ්ෆීල්ඩ්, සංස්කෘතිය, මහා සම්ප්‍රදාය හා චූල සම්ප්‍රදාය වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි (Robert Redfield – Peasant Society and Culture – University of Chicago Press – p. 7). මහා සංස්කෘතිය වශයෙන් සලකන්නේ ශාස්ත්‍රීය සම්ප්‍රදායයක් ලෙස විධිමත් ව පවත්වාගෙන එනු ලබන සංස්කෘතිකාංග ය. චූල සම්ප්‍රදාය වශයෙන් සලකන්නේ එසේ විධිමත් ව 'සංහිතාංගව' උගතුන් විසින් පවත්වාගෙන ඒමක් නොමැති, පොදුජන සංස්කෘතියයි. ජන කවිය අයත් වනුයේ මෙම චූල සම්ප්‍රදායටයි.
ජන කවියේ ලක්ෂණ:
1) ජන කවිය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වීම. ජන කවියක නිර්මාතෘවරයකු නිශ්චිත ව දැක්විය නොහැකි ය. ප්‍රථමයෙන් එක් පුද්ගලයකුගේ මුවින් ආරම්භය ලබා කල්යාමේ දී මුල් කවියට නව අංග එකතු වෙමින් වෙනස් ස්වරූප ගැනීම මෙහි ස්වභාවයයි. පොදු ජනතාවගේ ජීවිතයත් සමඟ පැවතෙමින් නවාංග එකතු වෙමින් වර්ධනය වන නිසා එහි ස්වරූපය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකි ය. නවාංග එකතු වුවත් එහි ගැබ් වී ඇති රසවත් ගුණය නිසා අගයෙහි අඩු වීමක් සිදු නොවේ.
2) ග්‍රන්ථාරූඪ නොවීම. ග්‍රන්ථාරූඪ නොවීම පොදු වශයෙන් සැලකෙන ලක්ෂණයක් වුවත් ජන කවි කිසියම් ආකාරයකට සටහන් වූ කල්හි එය ලිඛිත බවට පත් වේ. නිදසුන් වශයෙන් සීගිරි ගී අතර ජන කවි දක්නට ලැබීම සැලකිය හැකි ය. නූතන මුද්‍රිත ජන කවි සංග්‍රහයන් කිහිපයක් තිබීම තවත් නිදසුනකි. මෙහි දී අලිඛිත යන්න ජන කවියේ ආරම්භයේ පැවති මූලික ලක්ෂණයක් වශයෙන් සැලකීම වඩාත් යෝග්‍ය වේ.
3) මුඛ පරම්පරාගත ව පැවතගෙන ඒම. ජන කවි සාහිත්‍යය ලේඛනගත නොවූ චිත්තෝත්පාදක හා භාවාත්මක නිර්මාණ වේ. මේවා යුගයෙන් යුගයට වැඩෙමින් විකාශනය වෙමින් මුඛ පරම්පරාගත ව පැවතගෙන එන දායාදයක් වන හෙයින් සමාජයේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වෙනස් වීම් අනුව හැඩ ගැසෙමින් පැවත එනු දැකිය හැකි ය. ජන සමූහයක ස්මරණය පරපුරින් පරපුරට උරුම වෙමින් පැවත ඒම සඳහා ජන කවියේ යෙදෙන උපක්‍රමයක් නම් පුනරුක්තියයි.
4) ජන බස. ජන කවිය පොදු ජනතාවගේ දායාදයක් නිසා එහි ජන වහර ගැබ් ව තිබේ. ජන කවි නිසියාකාර ව අවබෝධ කර ගැනීම හා රසවින්දනය සඳහා ජන වහර පිළිබඳ යථාවබෝධය අත්‍යවශ්‍ය වේ.
ජන කවියේ ආරම්භය හා ආභාසය: කවර ජාතියක වුව ද ජන කවියේ ආරම්භය නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකි ය. මිනිසා අදහස් ප්‍රකාශ කිරීමට භාෂාවක් නිර්මාණය කරගෙන සමාජ සම්බන්ධතා පවත්වාගෙන සිය හැඟීම් ප්‍රකාශ කිරීමට උත්සාහ ගත් දා සිට ජන කවිය ආරම්භ වන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. සිංහල ජන කවියේ ආරම්භය එසේ අප මුතුන්මිත්තන් විසින් තමා අවට ලෝකය පිළිබඳ චිත්තවේග ප්‍රකාශ කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දිය හැකි අතර එය කවර වකවානුවක සිදු වී ද යන්න හෝ ජන කවිවල මුල් ස්වරූපය කෙබඳු වී ද යන්න හෝ දැක්වීමට අවශ්‍ය සාධක නැත.
විජය කුමරා සහ පිරිස නිරූපණය කරන ආර්යාගමනයෙන් පසුව ඇති වූ කෘෂිකාර්මික සංවර්ධනය නිසා මෙරට වැසියන්ගේ ජීවිතය වෙනස් විය. විජයගේ අභිෂේකය සඳහා දඹදිවින් පැමිණි පිරිස අතර දහඅට ශිල්ප කුලවලට අයත් දහසක් ජනකාය ද ඇතුළු වී සිටීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් කෘෂිකර්මය පමණක් නොව විවිධ කලා ශිල්ප පිළිබඳ දැන උගත්කම් ලබා සිටි පිරිසක් ද බවයි. ආර්යාගමනයේ ප්‍රතිඵල වශයෙන් ඊට පෙර මෙරට සිටි ජනයාගේ සංස්කෘතිය යටපත් වී නව සංස්කෘතිය ප්‍රධානත්වයට පත් වූ බව පෙනේ.
කවර හෝ විදේශීය සංස්කෘතියක් සමාජයක පැතිරයාමේ දී එය මුලින් ම තහවුරු වන්නේ රටේ ප්‍රභූ සමාජය තුළ ය. පොදු ජනතාව අතර එය පැතිර යන්නේ අනතුරුව ය.
බුදු සමය ලක්දිවට හඳුන්වාදීමේ සිද්ධියේ දී ද මේ ක්‍රියාදාමය දැකිය හැකි ය. ඒ අතර ම බුදු සමය මෙරට පොදු මහත් ජනතාවගේ ආගම බවට පත් කරනු වස් මිහිඳු හිමියන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙතෙහි විශේෂත්වයක් පෙනේ. ලක්දිව ම උපන්, ලක්දිව ම මහණ වූ, ලක්දිව ම විනය ඉගෙනගත් භික්ෂූන් වහන්සේ ලවා ලක්දිව වැසියන්ට ධර්මය කියා දීම අවශ්‍ය බව උන්වහන්සේ හඳුනාගත් අයුරු, ලක්දිව බුදුසමය මනාව පිහිටනු ඇත්තේ එවිට පමණක් බව පැවසීමෙන් පෙනේ. ඉන්දු- ආර්ය භාෂාවක් වූ සිංහලයට මිහිඳු හිමියන් බුද්ධාගම ගෙන ආ මාගධී භාෂාව හා සමග සමීප සබඳකමක් පවතින්නට ඇත. එසේ වූයේ නම් උන්වහන්සේලාට මෙරට පැවති භාෂාව ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීමට ද ඉක්මනින් එය ඉගෙන සාමාන්‍ය පොදු ජනයාට වටහා ගැනීමට පහසු වන අයුරු දහම් දෙසීමට ද හැකි වන්නට ඇත. බුද්ධාගම මෙරට තහවුරු වීමට ප්‍රථම ලංකාවේ ජන කවි සම්ප්‍රදායයක් තිබෙන්නට ඇත. බුදු දහම ජනතාව අතර පැතිරී ජන ජීවිතයේ අවියෝජනීය අංගයක් වීම සමග මුල් බස මෙන් ම එහි ජන සාහිත්‍යය අභිභවා බුදු සමයට අනුව හැඩගැසුණු ජන සාහිත්‍යයක්, විශේෂයෙන් ජන කවි සම්ප්‍රදායයක් ගොඩනැගෙන්නට ඇත.
ජන කවි සම්ප්‍රදාය: ජන කවි සම්ප්‍රදාය හඳුනාගත හැක්කේ එහි ඇති බාහිර ලක්ෂණ දෙස නොව අභ්‍යන්තර ගුණාංග දෙස බැලීමෙනි. මෙම අභ්‍යන්තර ගුණාංග රැක ගනිමින් නවතාවෙන් යුක්ත ව අභිනව දෘෂ්ටියකින් අත්දැකීම් දෙස බලන්නේ නම් එතැන සම්ප්‍රදායයේ ආරම්භයයි. සම්ප්‍රදාය යනු පවත්නා ක්‍රමය අනුව සිතීම නොව පැවති ක්‍රමය තුළින් නවතාවෙන් යුතු ව සිතීම ය. ඒ නිසා සම්ප්‍රදාය අතීතයට වඩා වර්තමානයට සමීප වේ.
ජන කවි සම්ප්‍රදාය දෙස බලන කල එහි පැහැදිලි ව දැකිය හැකි අභ්‍යන්තර ලක්ෂණ කිහිපයකි. දේශීයත්වය, ස්වාධීන බව, අව්‍යාජ බව, සංයමය, සරල බව, සංගත බව, නිතැත් බව හා සියත් බව එහි කැපී පෙනෙන ලක්ෂණ වේ. මෙම උසස් ලක්ෂණ ඇති ජන කවි සම්ප්‍රදාය තේරුම් ගැනීමට එයට බල පා ඇති චින්තනයේ මූලාශ්‍රයන් සොයා බැලිය යුතුයි.
ජන කවිය මුඛ පරම්පරාගත ව පැවතගෙන එන පොදු ජන කලා ස්වරූපයක් නිසා ලිඛිත මූලාශ්‍ර සොයා ගැනීම අසීරු ය. නූතන ජන කවි එකතු කර ලේඛනගතව ඇතත් අතීතයේ පොදු ජන ලිඛිත මූලාශ්‍ර බෙහෙවින් ම අල්ප විය. පද්‍ය ඉතිහාසය පුරා ම දක්නට ලැබෙන්නේ උගතුන්ගේ කවි සංකල්පනාවන් ය. එහෙත් වාසනාවකට මෙන් සීගිරි ගී වල පොදු ජන කවි සංකල්පනා කිහිපයක් හෝ දක්නට ලැබීම නිසා ජන කවි සම්ප්‍රදාය හා එහි බාහිර, අභ්‍යන්තර ලක්ෂණ අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා වී ඇත.
සීගිරි කැටපත් පවුරේ ගී ලියා ඇත්තේ හයවන සියවසේ සිට දහවන සියවස දක්වා සීගිරිය නැරඹූ විවිධ පුද්ගලයන් විසිනි. ඒ අය සීගිරියේ නොයෙකුත් අසිරිමත් දේ නැරඹීමෙන් ද ලෙන්වල ඇඳ තිබූ ලියන්ගේ රූප ශෝභාව දැකීමෙන් ද සිතේ ජනිත වූ චමත්කාරජනක හැඟීම් මුක්තක ස්වරූපයෙන් කැටපත් පවුරේ සටහන් කර ඇත. මෙහි රටේ සියලු දෙසින් පැමිණි උගත් ප්‍රභූන්ගේ මෙන් ම පොදු ජනයාගේ ජන කවි සම්ප්‍රදාය ද නියෝජනය වී ඇත. ඒ නිසා සීගිරි පද්‍ය සමාජයේ උගතුන්ගේ කවි සංකල්පනාවලට පමණක් සීමා නොවූ සමාජයේ සියලු තරාතිරමේ අයගේ ම කාව්‍යමය සංකල්පනා එක්තැන් කර පෙන්වන තැනකි; ඉතා දුර්ලභ ගණයේ කලා නිකේතනයකි. එසේ වනුයේ සීගිරිය සිය අසිරිමත් සෞන්දර්යය නිසා සියලු කලාකාමීන් එක්රැස් කිරීමටත්, පිබිදුණු කවි සංකල්පනාවන් නිතැතින් ප්‍රකාශ කිරීමටත් අවස්ථාව සැලසූ හෙයිනි. ඒ නිසා සීගිරියේ පොදු ජනතාව ද ඇතුළු මුළු ජනතාවගේ ම චින්තනයන්ගේ නියැදියක් වශයෙන් සැලකිය හැකි ය.
සීගිරි ගීවල සම්ප්‍රදායයන් දෙකකට අයත් ගී දක්නට ලැබෙන බවත් එයින් පළමුවැන්න පොදු ජන සම්ප්‍රදාය, එනම්, ජන කවි සම්ප්‍රදායත්, දෙවැන්න උසස් සම්ප්‍රදාය එනම් සංස්කෘත අලංකාර රීතීන් ගැන සැලකිල්ලක් දැක්වූ උගතුන්ගේ පද්‍යත් යනුවෙන් කොටස් දෙකකට ඇතැම්හු බෙදා දක්වති. මේ නිසා පොදු ජනයාගේ භාෂාව හඳුනාගත හැකි කෙනෙකුට සීගිරි ගීවලින් ජන කවි ද එහි සම්ප්‍රදායයන් ද පහසුවෙන් ම වෙන්කර හඳුනාගත හැකිය. බොහෝ කොට සීගිරි ගී අවසානයේ ගී ලියූ තැනැත්තාගේ තනතුරත් නමත් සඳහන් කර තිබීම ද පොදු ජන ගී හඳුනා ගැනීමට උපකාරයකි. කණ්ණා, කලියා, බුදල් වැනි නාම පොදු ජනයාට පමණක් සීමා වූ නම් ය.
කොමුල් අමඩ්ලෙඩ් ලිනසී
එබොන්ද මියුර්ට්යහ බැසී
එකපල් දලවන් දිගැසී
මන ජල්වයි සිත් නොමුසී ( 103)
(ඇය ලූ කොමල සිනාව කොමඩු ගෙඩියක ඇට පෙළ මෙනි. ඇගේ ප්‍රිය තෙපුල කොමඩු මදය මෙන් මියුරු ය. ඇගේ දිගු ඇස කොමඩු ගෙඩියේ පිට පොත්ත මෙනි. ඕ හද දල්වයි මා සිත නොමුදයි.)
ඇය ලූ කෝමල සිනාව කොමඩු ගෙඩියේ බීජ පන්තිය විදහා ලූ මෙනි යනු ගැමි වහරෙහි අදත් අසන්නට ලැබෙන ව්‍යවහාරයකි. ඇයගේ යහපත් වචන කොමඩු ගෙඩියේ මදය මෙන් මියුරු ය. කොමඩු මදය කෙතරම් තෙත් ගතියෙන් හා මෘදු ගතියෙන් යුක්ත ද? එසේම ඇගේ වචන ද ඇසූ අයට හදවත් තෙත් කරන සුලු ය. ඇගේ දිගු ඇස දෙකෙළවරට සිහින් ව ගිය කොමඩු ගෙඩියේ පිට පොත්තට ද උපමා කර ඇත.
ජන කවියෙන් ලද හැකි ප්‍රයෝජන: ජන කවිය ජන ජීවිතයෙහි තොරතුරු සෙවීමෙහි ලා බෙහෙවින් ම උපකාරී වූ ජනශ්‍රැතික අංගයකි. ජීවිතයෙහි මුහුණපාන්නට සිදු වූ දුක්කම්කටොළු ප්‍රකාශ කිරීමටත් ආගමික සංකල්ප, සමාජ නීතිරීති, සිරිත් විරිත් පෙන්වාදීමටත් චරිත වර්ධනයට හා සමාජ ශෝධනයට අදාළ ගුණධර්ම ප්‍රකාශ කිරීමටත් ජන කවි යොදාගෙන ඇත. ජන සංස්කෘතිය සිසාරා විහිදී ගොස් ඇති ජනකවියෙන් ජන තොරතුරු සෙවීමෙහි ලා ගත හැකි විවිධ ප්‍රයෝජන සංක්ෂිප්ත වශයෙන් පහත දැක්වේ:
1) දේශීය සංගීතයක් සකසා ගැනීමේ දී එයට ආවේණික සම්ප්‍රදාය, ආකෘතිය ජන කවියෙන් උකහා ගත හැකි ය. 2) නූතන කාව්‍ය පෝෂණයට ජන කවියේ අභ්‍යන්තර හා බාහිර ලක්ෂණවලින් පිටිවහලක් ලබාගත හැකි ය. 3) ජන නාට්‍යයේ ස්වරූපය දැන ගැනීමටත් එමගින් දේශීය නාට්‍ය සම්ප්‍රදායයක් බිහිකර ගැනීමටත් එය උදවු කරගත හැකි ය. 4) ජන කවිය හා ජන ක්‍රීඩා අතර තිබූ සම්බන්ධය නූතන ක්‍රීඩාවේ වර්ධනයට යොදාගත හැකි ය. 5) සාහිත්‍යය, ඉතිහාසය, සමාජ විද්‍යාව වැනි විෂයයන්ට අදාළ කරුණු ඒ මගින් ලබාගත හැකි ය. 6) ජන සමාජයේ නොයෙකුත් තොරතුරු දැන ගැනීමට එයින් හැකි වන අතර එය සමාජ විද්‍යාඥයන්ට ප්‍රයෝජනවත් ය. 7) ජන කවිය සහ ජීවන කුසලතා අතර පැවති සබඳතාව අවබෝධ කර ගැනීම. 8) සමාජ ධර්මතා බාල පරපුරට පවරා දීමට ජන කවිය යොදා ගැනීම.
ජන කවි වර්ග:
සිව්පද. විවිධ විරිත් අනුව බැඳුණු ජන කවි වර්ග රැසකි. එයින් ඉතා ජනප්‍රිය වර්ගය සිව්පදයි. පැල් කවි, ගොයම් කවි, කරත්ත කවි, පාරු කවි, පතල් කවි මේ ගණයට වැටේ.
රෑ එළිවන තුරු පැල් රැකීමෙහි යෙදෙන ගොවියාට නිදිවැරීමට හා තනිකම මගහරවා ගැනීමට එක ම මග වූයේ පැල් කවියයි. මෙම පැල් කවි බොහොමයක් ගැමි කෘෂි ජීවිතය පිළිබිඹු කරන අතර කරුණා රසයෙන් පරිපූර්ණය.
ලස්සන හිමවතේ මා වී පැසෙන් නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින් නේ
රැක්මෙන දෙවියනේ වෙලෙබත් බුදින් නේ
දුප්පත්කම නිසයි මම පැල් රකින් නේ
මෙබඳු පැල් කවි ශ්‍රවණය කිරීමෙන් පැල් රකින්නා කෙරෙහි අනුකම්පාවක් ජනිත වේ. රාත්‍රී කාලයේ සුන්දර ශාන්තභාවය පිළිබඳ තොරතුරු බොහෝ පැල් කවිවලින් වර්ණනා වී ඇත. පැල් කවි මෙන් ම අනෙක් සිව්පද කවි වන කරත්ත කවි, පාරු කවි, පතල් කවි, ගොයම් කවි ද සිත් ඇදගන්නා සුලු ය.
දුක් වේදනා ප්‍රකාශ කිරීමේ ජන කවි. මවුපියන්ගේ ගුණ, බඩගින්න, මාතෘ පුත්‍ර ස්නේහය, දරුවන් හා ඥාතීන් නොසලකා හරිනු ලබන්නන්ගේ දුක, විවිධ අනපේක්ෂිත ව්‍යසනයන්ට ගොදුරු වීම ආදී අවස්ථා පිළිබිඹු කරන ජන කවි තවත් අංගයකි.
බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී පතක් දුන්නයි මල්ලකට
ගන් දෝ නොගන් දෝ කියලා සිතුනි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට
බඩගින්නෙන් පෙළෙන මව සිය පුතු හමුවීමෙන් පසුව තම පුතා මවට වී පතක් දෙයි. මව පුතු වෙත ගියේ තම බඩගින්න නැති කර ගැනීම මෙන් ම පුතුගේ සෙනෙහස හා උපකාරය ද ලබා ගැනීමට ය. එහෙත් ඒ වෙනුවෙන් ලැබුණේ වී පතක් පමණි. එය බඩගින්න නැති කර ගැනීමට සාධකයක් නොවේ. මැනලා වී පතක් දීම ඇයට කරන නොසැලකිල්ලකි. මෙයින් අඇයට ශෝකය ජනිත වී තම පුතා කුඩාකල ඇති දැඩි කළ ආකාරය සිහි වේ. එහෙත් ඇය තුළ ඇති වූ දැඩි ශෝකය මතු නොකර කෝපයට පත් නොවී " මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට" කියා පුතු ලවා අතීතය ස්මරණය කරවන්නේ මනා සංයමයෙනි. ඇය පුතුට කිසි ලෙසකින්වත් පරිභව නොකරයි. ඈ තුළ මුලින් පැවති අකලංක ස්නේහය, දයාව, කරුණාව හා ඉවසීම එලෙස ම පවතී. පුතේ, මම නුඹට කිරි දුන්නේ මැනලා ද? යන කියමනෙන් ශ්‍රාවකයන් තුළ සියුම් කෝපයක් හා කම්පනයක් ද ඇති වෙයි. මවගේ හදවතින් නැගෙන එම සංවේගජනක කම්පනය සමාජය සිසාරා ගලා යන්නට සමත් වී ඇත්තේ ජන කවියාගේ අව්‍යාජත්වය හා මනා සංයමය නිසා ය. අනවශ්‍ය එක ද පදයකුදු නොයොදා ගුඹුරු හා පුළුල් වූ මාතෘ දාරක ස්නේහය නමැති සමාජ ධර්මය සංක්ෂිප්ත ව ඉදිරිපත් කිරීමට ජන කවියා සමත් ව සිටී.
කෙළි සෙල්ලම් ආශ්‍රිත ජන කවි. කෘෂිකාර්මික කටයුතුවල නිරත වන ගැමියා විවේක ලත් කල්හි ගී ගයා, නටා විනෝද වීම සිරිතක් වූ බව පෙනේ. ඔන්චිලි පැදීම, ලී කෙළි, ඔළිඳ කෙළි, කළගෙඩි නැටුම ආදියේ දී ගායනා කරනු ලැබූ ගී මේ ගණයට වැටේ.
උඩ යන රවුමට පපුවයි දන් නේ
පහතට එනකොට නිවිලයි එන් නේ
පොල්ලක් පැන්න ම බය නොසිතන් නේ
පත්තිනි දෙවිඳුට පිං දීපන් නේ
උන්සිලි පැදීම මෙන් ම එම කවි ද ගැමියන් අතර ජනප්‍රිය ය. සිංහල අවුරුදු සමයේ උන්සිලි පැදීමට මුළු ගම ම එකතු වේ. සුදුසු ස්ථානවල උන්සිල්ලා බැදීම එම කාලයේ සිරිත විය. උන්සිල්ලා කවිවලින් කතුරු රෝද උන්සිල්ලා, වැල් උන්සිල්ලා ආදී නොයෙක් වර්ගයේ උන්සිල්ලා තිබූ බව හෙළි වේ. එහෙත් ඒවා ක්‍රමයෙන් අභාවයට යන බව ද පෙනේ. සිංහල අවුරුදු සමයේ උන්සිල්ලා බඳින තැනට ගමේ සියල්ලන් ම එකතු වන්නේ හුදු උන්සිල්ලා පැදීමට ම පමණක් නොව සුහද ව හමු වී ප්‍රීති වීමටත් ය.
උන්සිල්ලා පදින කල්හි භය සහ තැතිගැන්ම නිතැතින් ම සිදු වේ. ජන කවියා එය දක්ෂ ලෙස දක්වා ඇති ආකාරය මතු කවෙන් පෙන්නුම් කරයි. ජන කවියට යොදාගෙන ඇති විරිත ද පැද්දෙන රිද්මයට උචිත අයුරු යොදාගෙන තිබීම විශේෂ ලක්ෂණයකි. දරු නැළවිලි. දරු නැළවිල්ලේ දී දරුවා නැළවීමට උචිත මිහිරි වචන යොදා ගැනීම ජන කවියාගේ සිරිත වී ඇත. ගෙතීමේ දී වියරණ පිළිබඳ ව උනන්දුවක් නොදක්වන අතර ශබ්ද රසයට මුල් තැනක් දී ඇති අයුරු පහත සඳහන් කවෙන් පෙනේ.
උඩින් අන්න අහස පෙනෙයි
අවට මිදුල අව්ව පෙනෙයි
රෑට පුතා වලා පෙනෙයි
නාඬා නිදියන්න පුතේ
ස්වභාවික සෞන්දර්ය වර්ණනා කොට තනා ඇති ගීතවත් බවෙන් යුක්ත කවිය ගායනය දරුවා නැළවීමට යොදාගෙන ඇත.
උපහැරණ: සමාජය යහමග යැවීමේ අපේක්ෂාවෙන් සමාජ දුබලතා මතු කර පෙන්වා දෙන ජන කවි වර්ග ද ඇත.
නෙත නොපෙනෙයි දාවල බකමූණන් ට
නැත එක සේ රෑ පෙනුමක් කපුටන් ට
සිත තුළ නිතර රා ගින්නෙන් මත් අය ට
නැත රෑ දවල් දෙක්හි ම පෙනුමක් උන් ට
බකමූණන්ට රාත්‍රී කාලයේ ඇස් පෙනුණත් දවල් කාලයේ නොපෙනේ. කපුටන්ට දාවල් කාලයේ ඇස් පෙනුණත් රාත්‍රියට නොපෙනේ. නමුත් සිත රාගයෙන් පෙළෙන අයට දවල් රාත්‍රී දෙකේ ම ඇස් පෙනුමක් නැත. ජන කවියා ඉහත කවෙන් දක්වා ඇති උපහාසය කිසිවෙකුගේ සිත් රිදීමට හේතුවක් වී නැත. උපේක්ෂා සහගත ව මානව දයාවෙන් සමාජ ශෝධනය සඳහා එල්ල කර ඇති එම උපහාසය නූතන සමාජයට වුව ද එක ලෙස සාධාරණ ය.
තේරවිලි: ජන කවි අතර තේරවිලි, ගැටලු ස්වරූපයෙන් ඉදිරිපත් කර ශ්‍රාවක අවධානය යොමු කරගන්නා වර්ගයක් ඇත. පහත දැක්වෙන ජන කවිය බලන්න.
වැට බඳිනට කී සැටි අසව ගොතේ
වැට ඉනි තුනක් සිටුවා ගන්න මැතේ
රිටි තුන සලකුණෙන් බැඳ ගන්න අතේ
අට පහ නොදනිතොත් පලයන් අලතේ
මෙහි දැක්වෙන වැට අමා නමැති නිවනයි. ඉනි තුන නම් බුදුන්, දහම්, සඟුන් යන තුන් සරණයි. රිටි තුන නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයයි. එය භාවනා කර අට පහ නම් ලද අටසිල් හා පන්සිල් වැඩිය යුතුයි. අටසිල් හා පන්සිල් නොගැනීම විනාශයට හේතුවයි. ආගමික දහමක් ප්‍රහේළිකා ස්වරූපයෙන් ජන කවියා ඉදිරිපත් කර ඇති ආකාරය අගය කළ හැක්කකි. මෙබඳු කවි රාශියක් ජන කවි අතර ඇත.
සරල උපමා යොදා ගැඹුරු දහමක් හෙළි කරන ජන කවි: ලෝක ධර්මය පිළිබඳ අදහස් බුදු දහමින් අවබෝධ කරගත් ජන කවියා මුහුණ පෑමට සිදු වන හැම ගැටලුවක් ම ඒ අනුව සිතන්නට පුරුදු වී ඇති ආකාරය පහත දැක්වෙන කවෙන් පෙන්නුම් කරයි.
කපුරු මල් පිපී පර වෙනවා නියමයි
රුකුල බැඳි මීය හැර යනවා නියමයි
සෙනේ ඇති දෙදෙන කඩ වෙනවා නියමයි
මෙලොව උපන්නොත් පණ යනවා නියමයි
සරල උපමා මඟින් බුදු දහමේ එන ගැඹුරු දහම් කොටස් පහසුවෙන් වැටහෙන අයුරු ඉදිරිපත් කර ඇත.
ලැබෙන්නට තිබෙන හොඳ නරක දෙක මිස
අනුන් හට කරන්නට බැරිය ගුණ දොස
තමන් හට යෙදෙන්නේ පූර්වයෙහි දොස
අනුන් හට කියන්නේ කුමකට ද දොස
දුක, කර්මය, අනිත්‍යය යන දහම්වලින් පීඩා විඳින ජන කවියා සියලු වේදනාවක් ම උපේක්ෂාවෙන් තුනී කරගෙන ඇත්තේ හොඳ නරක දෙක ම නියත යැයි සිතා සැනසෙමිනි. සතුට බාහිර ව ලබාගත නොහැකි ය. භෞතික සැප සම්පත්වලින් ලබන බාහිර සතුට තාවකාලික ය. සතුට මානසික ව අභ්‍යන්තරික ව ලබාගනු වෙනුවට බාහිර ව ලබා ගැනීමට බලාපොරොත්තු වීමෙන් පුද්ගලයා අර්බුදකාරී ව්‍යසනයට පත් වේ. එහෙත් සතුට ඉතා සාර්ථක ව අභ්‍යන්තර ව ලබාගත හැකි බව ජන කවියාගේ මුවින් පිට වී තිබීම බුදු දහමින් ලැබූ අන්තර්ඥානයේ උසස් ප්‍රතිඵලයකි.
පී.ඒ.ගුණරත්න