ගෘන්ඩ්ට්විග්, නිකෝලයි, ෆ්‍රිඩ්රික් සෙවරින් (Grundtvig, Nikolai Frederik Severin) (1783-1872)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඩේන්ස් ජාතික පූජාප්‍රසාදිවරයකු හා කවියෙකි. ගෘන්ට්ගියන්වාදය නමින් ප්‍රකට වූ දේවධර්ම ව්‍යාපාරයේ නිර්මාතෘවරයා මොහුයි. එමෙන් ම ගීතිකා රචනා කරන්නකු ඉතිහාසඥයකු සහ අධ්‍යාපනඥයකු වශයෙන් ද ප්‍රසිද්ධියට පත් වූ මෙතෙම මුල් කාලීන ස්කැන්ඩිනේවියානු සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනයන්හි පුරෝගාමියකු වශයෙන් ද කටයුතු කෙළේ ය.

1783 සැප්තැම්බර් 08 වැනි දින සීලන්තයේ උපත ලැබූ ගෘන්ඩ්ට්විග් 1800 දී කෝපන්හේගන් විශ්වවිද්‍යාලයට ඇතුළු ව 1803 දී දේවධර්මය පිළිබඳ උපාධියක් ලබා ගත්තේ ය.

ආගම පිළිබඳ ව ආගමික නායකයන් සමග ඇති කර ගත් මතභේදයක ප්‍රතිඵලයක් වශයෙන් ආගම දේශනා කිරීම ඔහුට තහනම් කරන ලදි. මේ නිසා ඉන් අනතුරුව ඔහු තම කාලය මුළුමනින් ම වාගේ කැප කළේ ග්‍රන්ථකරණයටයි.

1812 පළ කරන ලද Brief View of the History of the World (ලෝක ඉතිහාසය පිළිබඳ සංක්ෂිප්ත පැහැදිලි කිරීමක්) ග්‍රන්ථයෙන් ඔහු වෑයම් කෙළේ ලෝක ඉතිහාසයෙහි ක්‍රිස්තුස් වහන්සේට වැදගත් තැනක් හිමි වන ආකාරයට ඔප්පු කිරීමටයි.

1818-1822 අතර කාලයේ දී ගෘන්ඩ්ට්විග් නෝර්වීජියානු ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ හා ඓතිහාසික වාර්තා කීපයක් ඩෙන්මාක් භාෂාවට පරිවර්තනය කෙළේ ය.

1825 දී The Reply of the Church (පල්ලියේ පිළිතුර) යන නමින් ඔහු විසින් ලියන ලද ලිපිය නිසා ඔහුට දඩ නියම කරන ලද අතර ඒ ලිපිය ද තහනම් කරන ලදි.

1832 පටන් ඇතැම් අවස්ථාවල දී පමණක් පල්ලියේ දේශනා පැවැත්වීමට ඔහුට අවසර දෙන ලදී 1837 දී Collection of Songs for the Danish Church (ඩෙන්මාක් පල්ලිය සඳහා ගීත එකතුවක්) නම් ග්‍රන්ථයේ පළමු කලාපය නිකුත් කරන ලදි. එහි ගෘන්ඩ්ට්විග් විසින් නිර්මාණය කරන ලද ගීතිකා 100 ක් පමණ අඩංගු විය.

1861 දී ගෘන්ඩ්ට්විග් නාමමාත්‍ර පූජාප්‍රසාදිවරයකු වශයෙන් පත් කරන ලදි.

පොදු ජන අධ්‍යාපනය පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූ ඔහු ජාත්‍යන්තර කීර්තියට පත් වූ ජන උසස් පාසල් (Falk High School) ආරම්භ කෙළේ ය. 1872 සැප්තැම්බර් 02 වන දින ගෘන්ඩ්ට්විග් මිය ගියේ ය.