ජිනසේන, සී. (1873.01.18 - 1932.04.29)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනසේන, සී. (1873.01.18 - 1932.04.29). මුලින් ජේම්ස් ඒ. ප‍්‍රනාන්දු නම් වූ මෙතුමා වරලත් ඉංජිනේරුවරයෙකි. 20 වන සියවස මුල දී කොළඹ දී ආරම්භ කෙරුණු, එවකට ලාංකිකයකුට අයත් ව තිබූ එක ම දේශීය ඉංජිනේරු සමාගම වූ ‘සී. ජිනසේන සහ සමාගමේ‘ ආරම්භකයා ය. යටත්විජිත සමයේ යන්ත‍්‍රසූත‍්‍ර අලූත්වැඩියාව පමණක් බි‍්‍රතාන්‍යයින්ගේ න්‍යාය පත‍්‍රයෙහි තිබූ යුගයක ලංකාවේ ම යන්ත‍්‍ර නිෂ්පාදනයට මූලික පියවර ගත් පුරෝගාමියා ය. එකල උසස් තත්ත්වයෙන් ඉංජිනේරු කටයුතු පවත්වා ගෙන ගිය එක ම ලාංකිකයා ය.

පෘතුගීසි බලපෑමට නතු ව ප‍්‍රනාන්දු යන පෙළපත් නාමය ගෙන කතෝලික දහම වැළඳගත් මොරටුවේ දිළිඳු වඩු කාර්මික පවුලකින් පැවතෙන්නකු වූ මෙතුමා උපත ලැබුවේ කොළඹ දී ය. 1882 සිට 1884 දක්වා නාමය නිශ්චිතව සඳහන් නොවන පෞද්ගලික පාසලක මෙතුමා සිය ප‍්‍රාථමික උගැන්ම ලැබී ය. ඉක්බිති 1884 නොවැම්බර් 01 දා සිට 1890 ජූනි දක්වා ලංකා රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවා පාසලේ සන්ධ්‍යා පන්තිවලට සහභාගී වෙමින් යාන්ත‍්‍රික ඉංජිනේරු විද්‍යාව, වැද්දුම් වැඩ, යාන්ත‍්‍රික වැඩ, බොයිලේරු හා ඇන්ජින් අලූත්වැඩියාව සහ පිරිවැඩියාව යනාදි විෂයයන් ද ඇතුළත්ව ලංකා දුම්රිය සේවයට අදාළව හය අවුරුදු තාක්ෂණික අධ්‍යාපනයක් ලැබී ය. මේ අතර 1887 දී පියා පවුල හැරපියා ගියෙන් අනාථභාවයට පත් මෙතුමාත් සොයුරා හා සොයුරියත් ඇතිදැඩි වූවෝ මවගේ රැුකවරණය යටතේ ය. එනයින් පුළුල් විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව මෙතුමා කෙරෙන් ගිලිහී ගියත් නව නිපැයුම් පිළිබඳ ”ජීවයේත් ධෛර්යයේත් අභිමානයේත් ආශිර්වාදය” ඔහු වෙත විය. දුම්රිය සේවා පාසලින් ඉංජිනේරුවන් වීමට අපේක්ෂා කළවුන්ට මහඟු අවස්ථා සැලසී තිබුණෙන් ඉංජිනේරු ශිල්පය පිළිබඳ මුල් ම අද්දැකීම් මෙතුමා ලබාගත්තේ එහි උගන්නා සමයේ දී පුහුණුව ලැබූ එම ආයතනයේ බොයිලේරු හා නඩත්තු කර්මාන්ත ශාලාවන්හි දී ය. මෙතුමා විසින් ඇති කරගෙන තිබූ ඉංග‍්‍රිසි භාෂාව පිළිබඳ චතුරත්වය තාක්ෂණික ලෝකය කරා පිවිසීමට ඔහු සතු වූ ප‍්‍රබල මෙවලම විය.

වයස අවු. 25 තරම් කාලයේ දී, දක්නට තිබෙන අන්දමට, දේශමාමක හැඟීම් පාදක කරගෙන මෙතුමා තම ප‍්‍රනාන්දු නාමය ඉවත ලා, බුදුසමය වැළඳගෙන, රජ සමයේ දී සිය මුත්තණුවන් විසින් ලද ‘කොළඹ පටබැඳිගේ’ නමැති අභිදානයත් ජිනසේන නමැති පවුල් නාමයත් ගත් බව පළවෙතත් එකී පවුල් නාමය තෝරා ගැනීමේ පදනම අපැහැදිලි ය.

මෙතුමාගේ දක්ෂතා හඳුනාගෙන සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් දුම්රිය සේවා පාසලේ ඉගෙනුම් කටයුතු හමාර කිරීමෙන් ඉක්බිති 1891 ජනවාරි 27 සිට සැප්තැම්බර් දක්වා මෙතුමා මලයාවේ සෙලාන්ගෝර් රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැද්දුම්කරුවකු හා ලියවන පට්ටල්කරුවකු ලෙස සේවයෙහි යොදවා සිටියේ ය. පෙරළා මවුබිමට පැමිණීමෙන් පසු ලංකා දුම්රිය සේවයේ වැද්දුම්කරුවකු හා ලියවන පට්ටල්කරුවකු වශයෙන් (1893 මාර්තු 16 සිට 1894 පෙබරවාරි 17 දක්වා) ද සී.ඒ. හඞ්සන් ඉංජිනේරු සහ සමාගමේ ලියවන පට්ටල්කරුවකු වශයෙන් (1894 මාර්තු 97) ද නාවලපිටියේ බ‍්‍රවුන් සහ සමාගමේ ලියවන පට්ටල්කරුවකු (1897-98) ද කොළඹ වරාය කර්මාන්ත සමාගමේ ලියවන පට්ටල්කරුවකු හා වැද්දුම්කරුවකු (1899-1903) ද වශයෙන් මෙතුමා සේවය කෙළේ ය. මේ අතර 1897 දී එක් මසක කාලයකට නැවත මලයාවට ගිය මෙතුමා එහි රාජ්‍ය බෙලෙක් පතල් ආයතනයේ සේවය කෙළේ ය. තම ක්ෂේත‍්‍රයේ දැනුම වඩවා ගනු පිණිස මෙතුමා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවත් බි‍්‍රතාන්‍ය රාජ්‍ය සේවයට බැඳී ‘බිඞ්ගෝර් පාළම රජයේ දුම්රිය’ හා රන් පතල් වැනි දැවැන්ත ඉදිකිරීම් කර්මාන්තවල මෙතුමා සේවය කළ බවත් සඳහන් වේ. ඉක්බිති ස්ව කැමැත්තෙන් බ‍්‍රවුන් සමාගමට බැඳුණු මෙතුමා බොයිලේරු හා ඇන්ජිම් තැනීමේ හා ඒවා පරීක්ෂා කිරීමේ කාර්යයට සම්බන්ධව සාමාන්‍ය ඉංජිනේරුවකු ලෙස සේවය කෙළේ ය. එනයින් මෙතුමා ලත් දස වසරක පමණ ක්ෂේත‍්‍ර පලපුරුද්ද ස්වකීය වූ ව්‍යාපාරයක් ඇරඹීමට මනා පදනමක් විය. 1905 දී ඒ.ඞී.ජේ.පෙරේරා, ජේ. රත්නසාර සහ තවත් අයකු සමග රන් පවුම් කිහිපයක ප‍්‍රාග්ධනයක් පමණක් සහිතව හවුල් ව්‍යාපාරයක් වශයෙන් කොළඹ කොටුවේ රෝහල් වීදියේ ඇරඹුණු ‘සී. ජිනසේන සහ සමාගම’ නම් කුඩා අලූත්වැඩියා කම්හල එයයි. මුල දී පාපැදි හා මහන මැෂින් අලූත්වැඩියාව පමණක් සිදුකළ මෙම කම්හල ක‍්‍රමයෙන් මිනිරන් පතල් කැණීමේ යන්ත‍්‍රසූත‍්‍ර අලූත්වැඩියාව හා නිෂ්පාදනය කෙරේ යොමු වී ලංකාවේ පතල් කර්මාන්තය ආරක්ෂා සහිත ව්‍යවසායයක් බවට පත් කිරීමට සිය ඥානය හා හැකියාවන් මෙහෙයැවී ය. මිනිරන් කර්මාන්තයට අවශ්‍ය වාෂ්ප යන්ත්‍රෝපකරණ සියල්ල නිර්මාණය කිරීමත් සුවිශාල යන්ත‍්‍ර සැලසුම් කර ලාංකික ශ‍්‍රමිකයන් ලවා නිපදවීමත් ඒවාට නව තාක්ෂණික උපාංග එකතු කිරීමත් මෙතුමන් විසින් සිදු කරනු ලැබිණි. මේවායේ වාත්තුවම් වැඩ, ලාංකිකයකුට අයත් වූ පළමු වාත්තු වැඩපළ වූ ඔහුගේ ම වාත්තු මඩුවේ සිදු කරනු ලැබිණි. මේ නිසා වෝකර්ස් සමාගම හැර සෙසු බටහිර සමාගම් ජිනසේනට එරෙහි විය. 1932 දී ක‍්‍රියාකරුගේ අත්වැරැුද්දකින් වාෂ්ප ඇන්ජිමක් පුපුරා යෑමෙන් පතල්කරුවන් සත් දෙනකු මියයෑම හා බොහෝ ගණනකට තුවාල සිදුවීම ජිනසේන නිෂ්පාදනයන්හි පහත් ප‍්‍රමිතිය නිසා සිදුවූවක් යැයි හුවා දැක්වූ හෝර් සහ සමාගම දුන් සාක්ෂියෙන් ජිනසේන නිදහස් වූයේ බි‍්‍රතාන්‍යයේ ප‍්‍රිවි කවුන්සිලයට කළ ඇපෑලෙනි. තව ද තේ, රබර් (1905 දී රබර් රෝලර් නිෂ්පාදනය ආරම්භ කෙරිණ.) හා පොල් (පොල් කපන යන්ත‍්‍රයක් සැලසුම් කොට නිපදවා පේටන්ට් බලපත‍්‍රය ලබා ගනු ලැබිණි.) කර්මාන්තවල හැම අංශයක් ම ආවරණය වන පරිදි මෙම ව්‍යාපාරය දියුණට පත් විය. උසස් තාක්ෂණික ප‍්‍රමිතීන් අත් කර ගැනීමට අනවරත උත්සාහයක නිරතව සිටි ජිනසේන ව්‍යාපාරයට තම පාපැදි අලූත්වැඩියා වැඩපළට වල්කනයිසිං වැඩ සඳහා අවසර පත‍්‍රයක් ලැබීම එකල විශාල ජයග‍්‍රහණයක් විය.

1913 වන විට යාන්ත‍්‍රික ඉංජිනේරු සංගමයේ සහාය සාමාජිකයෙක් වූ මෙතුමාගේ ව්‍යාපාරික දියුණුව කෙතරම් වී ද යත් මෙම ව්‍යාපාරයෙන් ඉවත් වූ හවුල්කරුවන්ගේ කොටස් ද මිලදී ගෙන 1916 දී ජිනසේන මෙම ව්‍යාපාරයේ තනි අයිතිකරු බවට පත් විය.

ලංකාවේ ක‍්‍රියාත්මක වූ යුරෝපීය සමාගම් ඉඳුරා ම අත නොගැසූ ක්ෂේත‍්‍රයක් වූ ඛනිජ තෙල් විදුලි බලාගාර අලූත්වැඩියාව හා පිස්ටන වැනි වැදගත් උපාංග නිෂ්පාදනය කිරීම ජිනසේන සමාගමේ විශේෂඥ ක්ෂේත‍්‍රය විය.

නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම පිණිස ඉඩකඩ ඇති කම්හලක් පිහිටුවීම අවශ්‍ය වූයෙන් මෙතුමන් විසින් සිය ව්‍යාපාරය කොළඹ ඇල්ස්ටන් පෙදෙසට ගෙනයන ලද්දෙන් එය ‘ඇල්ස්ටන් යකඩ කර්මාන්තායතනය’ ලෙස ප‍්‍රකට විය. ඉක්බිති මෙය කොළඹ හුණුපිටිය පාරට ගෙනයන ලදි.

ක්ෂේත‍්‍රයේ තමා කෙරේ ඇති පිළිගැනීම හා විශ්වාසය තහවුරු කර ගනු පිණිස සිය අධ්‍යාපන තත්ත්වය සපුරා ගනුවස් පළමු ලෝක යුද්ධ සමයේ දී මහා බි‍්‍රතාන්‍යයට ගොස් ඒ.එම්.අයි. (A. MEH. I.M.E) උපාධිධාරී යාන්ත‍්‍රික ඉංජිනේරුවකු ලෙස සුදුසුකම් ලබා ගැනීම ජිනසේනගේ පෞද්ගලික, අධ්‍යාපන මෙන් ම ව්‍යාපාරික ජීවිතයේත් ඉහළ ජයග‍්‍රහණයක් විය. මෙතුමන් විසින් පොදු ඉංජිනේරු කටයුතු හා අලූත්වැඩියා කිරීම් ඇරඹුවේ ඉනික්බිතිව බව සඳහන් වේ. තව ද උපාධිය නිමවා ලංකාවට පැමිණීමට පෙර ගල්අඟුරු ආකරයන්හි මාස ගණනක් සංචාරය කරමින් කැණීම් ක‍්‍රම හා යන්ත්‍රෝපකරණ හැදෑරූ බව ද පළවේ.

විද්‍යුත් ජනක ක‍්‍රියාත්මක කිරීමට ද යොදා ගත හැකි වූ, වාෂ්ප ඇන්ජිම් වෙනුවට තැනූ මුල් ම ඞීසල් ඇන්ජිමක් වූ වෝක්ෂයර්හි ෂිප්ලි සහ සමාගමෙන් ආනයනය කළ රොබ්සන් ඇන්ජිමේත්, බේලිස් තෝමස් මෝටර් රථයේත් ලංකාවේ නියෝජිත වූයේ ද ජිනසේන ය.

බුද්ධාගම කරා සමය මාරු කළ ද මෙතුමා භාවනාවට, ශාන්තිකර්මයට නැඹුරු වූයේ හෝ නිතර විහාරාරාමයන්ට ගියේ හෝ නැත. සේරුවිල හා තිස්සමහාරාම දාගැබ් ප‍්‍රතිසංස්කරණයට දැරූ ප‍්‍රයත්නයන් ද තිස්සමහාරාම විහාරයේ සිව්දොරටු සෑදවීම ද කොත් කැරලි සියල්ල හුණුපිටිය කම්හලේ වාත්තු කිරීම ද කෙරෙන් ඔහුගේ ආගමික භක්තිය විද්‍යමාන විය. කොළඹ, හුණුපිටියේ ගංගාරාම විහාරයේ දායකයෙක් ද විහාර කාරක සභාවේ සාමාජිකයෙක් ද වූ මෙතුමා මියෙන තෙක් ම රුවන්මැලි සෑ ප‍්‍රතිසංස්කරණයේ උපදේශක ඉංජිනේරුවෙක් විය. ඔහු විසින් එම සූක්ෂ්ම හා සවිස්තර කාර්යය කෙතරම් උනන්දුවෙන් ඉටුකළා ද යන්නට ඒ සඳහා කළ ඉංජිනේරු ඇඳීම් සාක්ෂ්‍ය වෙයි. ගංගාරාමයේ අදත් වැඩෙනුයේ මෙතුමා විසින් රැුගෙනවිත් සිය දෙටු පුතු ලවා 1921 දී රෝපණය කරවන ලද අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධියේ අංකුරයකි.

මොරටුවේ මෙරෙඤ්ඤගේ පරපුරේ ධීවර දැල් ආම්පන්න හා යාත‍්‍රා අයිති ව තිබූ ධනවත් පවුලක කාන්තාවක හා විවාහපත් වූ ජිනසේනට පුතුන් හා දියණියන් දෙදෙනා බැගින් දරුවෝ සිව් දෙනෙක් වූහ. පියාගේ ඇවෑමෙන් ව්‍යාපාරයේ උරුමකරු වූයේ දෙවන දරුවා වූ දෙටු පුත් තිස්සවීර සිරිවර්ධන ජිනසේන ය.

මොරටුවේ අක්කර හතක ඉඩමක මහා මන්දිරයක් තනා එහි පදිංචියට යෑමෙන් අනතුරුව ජිනසේන පවුල බිඳී විසිරී ගියේ ය. 1925 පමණ කාලයේ දී තමා වැඩියෙන් ම ඇල්ම කළ දියණියගේ සැමියා තම ව්‍යාපාරයට හවුල් කර ගත්ත ද ඔවුන්ගේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙතුමා තවත් සිත්තැවුලට පත් ව රෝගාතුර ව සිට මිය ගියේ ය.

ග‍්‍රැමෆෝන ගී ඇසීමට මහත් සේ ප‍්‍රිය කළ මෙතුමා ආත්ම ගෞරවය හා අවංකභාවය ඉතා ඉහළින් අගය කෙළේ ය. ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ සුදු මිනිසා ආධිපත්‍යය දැරූ යුගයක දේශජයකුටත් එය ඒ තරමට ම හෝ ඊටත් වඩා හොඳට කළ හැකි බව පෙන්වීමට මහන්සි ගත් මෙතුමාගේ දේහය මොරටුවේ දී ආදාහනය කරනු ලැබිණි.

මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලය (1932) වන විට දිවයිනේ ප‍්‍රමුඛතම ඉංජිනේරු සමාගම් පහ අතර ‘සී. ජිනසේන සහ සමාගම’වැජඹීම මෙතුමාගේ ප‍්‍රයත්නයන්ට පිදුණු මහඟු කුසලානය විය.


රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ