"අඹගහපිටියේ විමලසාරතිස්ස" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1825–1890) ලක්දිව අමරපුර නිකායේ ආදි කර්තෘ වූ ඤාණවිම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:23, 7 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
(1825–1890) ලක්දිව අමරපුර නිකායේ ආදි කර්තෘ වූ ඤාණවිමලතිස්ස නාහිමියන්ට ගිහි පැවිදි දෙලෙසින් ම මුනුබුරකු වූ මෙතුමා ක්‍රි.ව.1825 දී වැලිතර පෙදෙසට අයත් මහකරාව නම් ගමෙහි උපන. එගම වාසය කළ මහබද්දේ කන්කානම් ධුරය දැරූ අව්වාහන්දි ලක්නයිදේ නමැති මහතා මෙතුමාගේ පියා විය. බාලවියෙහි සිට ම ඉගෙනීමෙහි ඇලුම් ඇති ව ඉතා දක්ෂ ව සිටි මොහු කහවේ සිරි සද්ධම්මජෝතිපාල ඤාණානන්ද මහතෙරණුවන් විසින් මවුපියන්ගේ ද කැමැත්ත පරිදි සුදුසු වියෙහි පැවිදි කරන ලදි. මඳ කලකින් සාමණේරව සිටිය දී ම ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදියෙහි ව්‍යක්ත වූ ප්‍රකට වූ උන්වහන්සේ "ධම්මාධාරතිස්ස" නායක තෙරණුවන් උපාධ්‍යාය කොට බලපිටිමෝදර උදකුක්ඛේපසීමායෙහි උපසපන් කරනු ලැබූහ. විනයෙහි ප්‍රවීණ වූ මුන්වහන්සේ පාළි පඬිවරයකු වශයෙන් මහත් කීර්තියක් ලත් යතීන්ද්‍රයෙකි.
ස්වකීය ආචාර්‍ය්‍යවරයන‍්ගේ අභාවයෙන් පසු බු.ව.2410 (ක්‍රි.ව.1867) දී එම නිකායේ පාලක නායක පදවියට ද පත් වූ විමලසාරතිස්ස තෙරණුවෝ ස්වකීය විහාරස්ථානය වූ අම්බරුක්ඛාරාමයෙහි විද්‍යස්ථානයක් ආරම්භ කොට බොහෝ ගිහි පැවිදි ශිෂ්‍යයනට ධර්මශාස්ත්‍රය ඉගැන්වූහ. රන්දොඹේ මහාචේතිය පිරිවෙන ආරම්භ කළ තොටගමුවේ පඤ්ඤාමෝලිතිස්ස මහානායක තෙරණුවෝ ද උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතුරෙහි කෙනෙකි. උන්වහන්සේගේ පාණ්ඩිත්‍යය ප්‍රකාශ වනුයේ පසු කලෙක රචනා කළ ගාථා 1,671 කින් යුත් "සාසනවංස දීප" නම් වූ අගනා ග්‍රන්ථයෙනි. එය දේශාන්තරයෙහි පවා උගතුන්ගේ ප්‍රශංසාවට භාජන වූවකි. එකල සීමාසංකරවාදය ඇති වූයෙන් එය නිරාකරණය කරනු සඳහා "සීමාලක්ඛණදීපනී" නම් විශාල ග්‍රන්ථයක් ද මුන්වහන්සේ විසින් රචනා කරන ලද්දේ ය. මේ තෙරණුවෝ අවුරුදු 65ක් ආයු වළඳා ක්‍රි.ව.1890 වැන්නෙහි දී අපවත් වූහ.
(සංස්කරණය:1963)