"ස්ලාව්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Slavs). නැගෙනහිර යුරෝපයේ හා සයිබීරියාවේ වෙසෙන ජනත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:14, 27 දෙසැම්බර් 2023 වන විට නවතම සංශෝධනය
(Slavs). නැගෙනහිර යුරෝපයේ හා සයිබීරියාවේ වෙසෙන ජනතාවකි. රුසියන්, පෝල්, වෙන්ඩ්, රුතේනියන්, චෙක් ස්ලෝවික් වර්ගයට අයත් ය. ස්ලාව්වරු වනාහි ඉන්දු යුරෝපීය භාෂා කථා කරන මහ ජාති අතුරින් අන්තිමට ම ව්‍යාප්ත වූ වර්ගය ලෙස සැලකේ. මොවුහු ද අනෙක් ඉන්දු යුරෝපීයයන් මෙන් නෝඩික් ගණයට අයත් ය. වාසය හා භාෂාව අනුව මොවුන් නැගෙනහිර, වයඹ, දකුණු යන ප්‍රධාන කොටස් තුනට බෙදිය හැකි ය. නැගෙනහිර කොටසට අයත් ස්ලාව්වරු රුසියානුවරු ය. මොවුහු 27වැනි දේශාංශකයේ සිට ඌරල් කඳුවැටිය දක්වා වූ විශාල ප්‍රදේශයේ වාසය කරති. මධ්‍ය සයිබීරියාව තෙක් ද විහිදී ඇති මොවුහු ඇතැම්විට ෆැසිපික් සාගරය තෙක් ද විහිදී සිටිත්. බටහිරින් පෝලන්තවාසීන් හා රුතේනියන්වරු වෙසෙත්. දෙවන කොටස වන වයඹ දිග ස්ලාව්වරු පෝල්, කෂුබ්, සෝබ්, චෙක්, මොරේපියන්, පෝලබ් යන ජාතීන් ය. තෙවන කොටසට අයත් දකුණු දිග ස්ලාව්වරු ජූලියන් ඇලිජස් කඳුවල සිට ඩැනියුබ් ගඟ දක්වා බෝල්කන් අර්ධද්වීපයේ බොහෝ කොටසකට වෙසෙත්.
ස්ලාව්වරු ඩැනියුබ් ද්‍රෝණියේ සිට පැමිණුනැ'යි සමහරුන් කල්පනා කරන නමුත් ඔවුන්ගේ මූලික වාසස්ථානය කාජෙනියන් කඳුවලට ඊසාන දිගින් පිහිටි විස්තුලා, ප්රිපට් හා ඩ්නීස්ටර් යන ද්‍රෝණි ලෙස සැලකීමට සාධක බොහෝ ය. මෙම ප්‍රදේශයේ පැරණි ම ස්ථාන නම් ස්ලාව් නම් වන අතර ඉන්පිට ස්ථාන නම් වෙනත් භාෂාවලට අයත්වීම එක සාධකයකි. නෙරෝඩෝටස් නෙයුරි (Neuri) යන නමින් හඳුන්වන්නේ ස්ලාව්වරු යැයි සිතිය හැකි ය. එහෙත් නිශ්චය වශයෙන් ම ස්ලාව්වරුන් සම්බන්ධයෙන් මුලින් ම සඳහන් කරන්නේ ප්ලියිනි (Pliny) ය. ඔහු ස්ලාව්වරුන් හඳුන්වන්නේ වෙනෙසි යන නමිනි. ටොලමි ද ඔවුන් මෙනමින් හඳුන්වයි. මේ වනාහි ජර්මානුන් කවදත් ස්ලාව්වරුන් හැඳින්වූ වෙන්ඩ් යන්නෙන් බිඳුනකි. සයවන ශතවර්ෂයේ ග්‍රීක හා රෝම ග්‍රන්ථවල ස්ලාව්වරුන් පිළිබඳ තොරතුරු නොයෙක්විට ඇතුළත් වී තිබේ. එම කාලය වන විට ස්ලාව් වර්ගය එම කර්තෘවරුන්ගේ සැලකිල්ල යොමුවීමට තරම් වැදගත් වර්ගයක් බවට පරිවර්තනය වී තිබුණු බව මෙයින් සළකා ගත හැකි ය. එහෙත් ගොත්වරුන්ගේ සංක්‍රමණය හේතුකොට ගෙන ස්ලාව්වරුන්ගේ ව්‍යාප්තිය තරමක් දුරට පාලනය විය. ගොත්වරුන්ගේ ආධිපත්‍යය හේතුකොට ස්ලාව් භාෂාවලට ජර්මන් වචන ද බොහෝ ගණනක් ඇතුළත් වී ඇති බව පෙනේ. ගොත්වරුන් පරදවා හන්වරුන් මධ්‍ය යුරෝපයේ ආධිපත්‍යයට පත්වූ අවස්ථාවේ දී ස්ලාව් හමුදාවන් ඔවුන්ට සහාය වූයේ යැයි සිතිය හැකි ය. හන්වරුන්ගේ පහසු විජයග්රහණයට හේතුවූයේ ද ස්ලාව්වරුන් ගොත්වරුන් කෙරෙහි අප්‍රසාදයට පත් ව සිටීම යැ'යි සමහරු කල්පනා කරති.
දකුණුදිග ස්ලාව්වරුන් බෝල්කන් ප්‍රදේශයට සංක්‍රමණය වීම ආරම්භ කළ කාලය ද නිශ්චිත නොවේ. 6 වන ශතවර්ෂයට පෙර නම් ඔවුහු බෝල්කන් අර්ධද්වීපයේ විශාල කොටසක් වසා සිටි බව සිතිය නොහැකි ය. එහෙත් 7වන ශතවර්ෂය වන විට ඔවුහු බෝල්කන්හි බොහෝ පෙදෙස්වල පදිංචි වී සිටියහ. දකුණුදිග ස්ලාව්වරු විවිධ ජාතීන්ගෙන් සෑදී ඇති වුව ද එකිනෙකාට කිට්ටු ලෙස සම්බන්ධ ය. මුලින් අවාර්වරු ද පසුව ජර්මන්වරු ද ඔවුන්ටත් පසුව මග්යාර්වරු ද දකුණුදිග ස්ලාව්වරුන් උතුරුදිග ස්ලාව්වරුන්ගෙන් වෙන් කරමින් එම දෙකොටසට මැද ප්‍රදේශයේ විසූහ.
ස්ලාව්වරු කාණ්ඩ වශයෙන් විසූ වර්ගයක් යැයි සිතිය හැකි ය. ඔවුහු කලාතුරකින් විනා එක්සත් නුවූයෙන් බොහෝවිට පරදේශීන් යටතේ විසූහ. ආදිස්ලාව්වරු කෘෂිකාර්මික කටයුතුවල යෙදුනාහු ය. ඔවුහු දක්ෂ පිහිනුම්කරුවන් බව ද, ගංගාවල ගමනාගමන ක්‍රම නිපදවා ගැනීමේ දක්ෂයන් වූ බව ද පෙනේ. ඔවුහු ඊජියන් මුහුදේ කොල්ලකෑම්වල පවා යෙදෙන්නට ඇතැයි සිතිය හැක. වෙළඳාම පිළිබඳ දක්ෂතාවක් දැක්වූවන් බව නැගෙනහිරදිග ග්‍රන්ථවල එන කරුණු අනුව පෙනේ. දක්ෂ හේවායන්ද වූ මොවුන් කාව්‍යය හා සංගීතය ප්‍රියකරන්නන් බව ද ප්‍රචලිත ය.
ස්ලාව්වරුන්ගේ ප්‍රධාන දෙවියා පෙරුන් නම් විය. ස්වරෝග් නමින් ද මොහු හැඳින්විණි. දස්බොග්, කෝර්ඩ්, වෙලෙස් යනාදී ප්‍රධාන දෙවිවරු ද ස්වරෝග්ගේ දරුවන් ලෙස සළකන ලදහ. ස්ට්රිබොග් නම් වූ නපුරු දෙවි කෙනෙක් ගැන ද ඔවුහු විශ්වාස කළහ. ආදිස්ලාව්වරුන් අතර පූජකයින් පන්සල් හා ප්‍රතිමා ආදිය තිබුණු බවක් නොපෙනේ. ආත්මයේ අමරණීයත්වය පිළිබඳ විශ්වාස දැරූ ඔවුහු රාජ් නම් වූ දෙව්ලොවක් පිළිබඳ විශ්වාස කළහ. 7වන ශතවර්ෂයේ පමණ පටන් ස්ලාව්රු ක්‍රිස්තු ලබ්ධියට හැරවීම ඇරඹිණි.
වර්තමාන ස්ලාව්වරු කොටස් හතරකට බෙදා දැක්විය හැක.
1. මධ්‍ය හා බටහිර ස්ලාව්වරු
2. උතුරු හා නැගෙනහිර ස්ලාව්වරු
3. දකුණු ස්ලාව්වරු
4. බල්ගර්වරු
යනුවෙනි.
මධ්‍ය සහ බටහිර ස්ලාව්වරු චෙක්, ස්ලෝවික්, මෙන්ඩි ආදීන්ගෙන් සමන්විත ය. උතුරු හා නැගෙනහිර ස්ලාව්වරු පෝල්, රුසියා, සයිබීරියා ආදී පෙදෙස්වල වසන්නෝ ය. දකුණු ස්ලාව්වරු ප්‍රධාන කොට සර්බ්, ක්රෝට් සහ ස්ලෝවෙන්ස්වරු ය. බල්ගර්වරු බෝල්කන්වාසී ස්ලාව්වරු ය.
1830 දී රුසියාවේ ප්‍රධානත්වයෙන් යුරෝපයේ ස්ලාව් ව්‍යාපාරයක් ඇතිවිය. මෙය සර්වස්ලාව් ව්‍යාපාරය (Panslavism) යනුවෙන් ඉතිහාසයේ හැඳින්වේ. යුරෝපයේ සීසීකඩ ව සිටි ස්ලාව් ජාතීන් තුළ ප්රබෝධයක් ඇති විය. ප්රාග්, මොස්කව්, වියානා ආදී නගරවල සර්ව ස්ලාව් සංගම් පැවැත්විණි. එහෙත් ස්ලාව් ජාතීන්ගේ එක්සත්බවක් නොමැතිවීම හේතු කොටගෙන එම ව්‍යාපාරය සාර්ථක නොවී ය. ස්ලාව් ජාතීන්ගේ සංස්කෘතික දියුණු වූවකි. 1348 දී පිහිටුවනු ලැබූ ප්රාග් විශ්වවිද්‍යාලය බොහෝ කලක් යනතෙක් යුරෝපයේ උසස් ම විද්‍යායතනයක් විය. ශ්‍රේෂ්ඨ පෝලිෂ් ජාතික තාරකා විද්‍යාඥයකු වූ කොපර්නිකස් ක්රකොව් විශ්ව විද්‍යාලයේ ශිල්ප හැදෑරී ය. බොනිමියාවෙන් උසස් කලා නර්මාතෲන් බිහි වී තිබේ. පොලිෂ් හා රුසියන් සංගීතය ලෝක ප්‍රසිද්ධ ය.
(කර්තෘ: එච්.ඇල්. සෙනෙවිරත්න: 1961)
(සංස්කරණය නොකළ)