කුසුමාසනදේවි (දෝන කතිරිනා) (1578/80 පමණ සිට 1613 දක්වා)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කුසුමාසන දේවී යන නම ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රයවල රජ කුමරියන් දෙදෙනකු සඳහා භාවිත වූ බව පෙනේ. 16 වන සියවසේ අග භාගයේ කන්ද උඩරට පාලනය කළ කරල්ලියැද්දේ බණ්ඩාර රජුගේ වැඩිමහල් දූ ඉන් එක් කෙනෙකි. පසුව දෝන මාගරීදා නමින් බවුතීස්මය ලැබ 1572/73 දී පමණ කෝට්ටේ ධර්මපාල රජුට ආවාහ කොට කොළඹට ගෙන එන ලද ඇය සඳහා මේ නම යෙදුණු බව 'සීතාවක රාජසිංහ රාජ්ජ කාලය' නැමති පුස්කොළ ලියැවිල්ලක සඳහන් වේ. එසේ වුවත් 'රාජසිංහ හාමුදුරුවන්ගේ රාජ නීතිය' නමැති තවත් පුස්කොළ පොතක් අනුව මේ නම කරල්ලියැද්දේ රජුගේ බාල දුව සඳහා ද භාවිත වූ බව සඳහන් වේ. පසුව 1 විමලධර්මසූර්ය හා සෙනරත් රජුගේ අගමෙහෙසි තනතුරට ද පත් වූයේ ඕ තොමෝය. මෙසේ කුමරියන් දෙදෙනකු සඳහා මේ නම භාවිත වුවත් ඉතිහාසඥයන් අතර වැඩිපුර ම සම්මත වී ඇත්තේ දෙවන කුමරිය සඳහා මේ නමේ භාවිතය හෙයින් මේ ලිපියේ දී ද සාකච්ඡා වනුයේ ඇය ගැනයි.

සමහර සිංහල කෘතීන්හි 'මහ බිසෝ බණ්ඩාර', 'මන්නාරමේ වැඩ උන් බිසෝ අදහසින්' යන නම්වලිනුත් පෘතුගීසි හා ලන්දේසි ලේඛන හැම එකක ම 'දෝන කැතරීනා' යන නමිනුත් හඳුන්වන ඒ කුමරි 1578-80 අතර දී සෙංකඩගල නුවර දී උපත ලැබුවාය. ඉහත සඳහන් කරල්ලියැද්දේ රජ ඇගේ පියා විය. ගලගම මහඅදහසින් ඈගේ මව වූවාය. ඈට වැඩිමහල් සොහොවුරන් දෙදෙනකු සිටි බව ද සඳහන් ය.

ඈ උපත ලැබූ අවධිය උඩරට රාජධානියට තීරණාත්මක කාල පරිච්ඡේදයක් විය. ඊට ශත වර්ෂයකට පෙර කන්ද උඩ පස්රට එකතු කොට වෙන ම රාජධානියක් බිහි වූ දින සිට පහතරට තුබූ ප්‍රධාන රාජධානිවලින් මුලින් ම ජයවර්ධන කෝට්ටෙනුත් පසුව සීතාවකිනුත්-ඊට අනතුරු හැඟවීම් හා අභියෝග එල්ල විය. මේ අභියෝග තීව්‍ර වී අන්තිමේ දී සීතාවක රාජසිංහ රජ 1582 දී මහා සේනාවක් මෙහෙයවා උඩරට රාජ්‍යය සීතාවකට ඈඳාගැනීමට සමත් විය. එවිට කරල්ලියැද්දේ රජ සිය පවුල කැටුව පලා ගියේය. රජුත් මෙහෙසියත් එක පුත් කුමරකුත් වැඩි කලක් යන්නට මත්තෙන් මසූරිකාවෙන් මිය ගිය හෙයින් කුසුමාසනදේවි අනාථ වූවාය. කරල්ලියැද්දේ උඩරට රජ කළ අවධියේ සිට ම පෘතුගීසීන් සමඟ කුලුපගකම් පැවැත්වූ හෙයින් අනාථ දැරිය බලා හදාගැනීමේ කාර්යය ඔවුන් පිට පැවරීම ස්වාභාවිකය. මන්නාරමේ විසූ ග්‍රේබියල් කුලාසු හා කැතරීනා ද ආබ්‍රෙව් යන පෘතුගීසි දම්පතීන් යුවළක් වෙත යවනු ලැබූ ඕ ඔවුන්ගේ නිවසේ ඇති දැඩි වූවාය. එහි දී කතෝලිකාගම වැලඳගත් ඒ කුමරි දෝන කැතරීනා යන නමින් බවුතීස්ම ලැබුවාය. පෘතුගීසි සංස්කෘතිය සහ කතෝලිකාගම පිළිබඳ ගැඹුරු ඇල්මක් මේ 'මන්නාරම් යුගයේ' දී ඈ තුළ රෝපණය වූ බව පසුව වූ සිද්ධීන්ගෙන් පෙනී යයි.

මේ අතර රාජසිංහ රජුගේ පාලනයට විරුද්ධව උඩරට ප්‍රදේශවල නොසන්සුන්කම් උද්ගත විය. ඒවාට ද පණ පොවා තමන්ට පක්ෂපාතී කුමරකු හට උඩරට කිරුළ ලබාදීමට අවස්ථාවක් පෘතුගීසීන්ට එළඹුණේය. කුසුමාසන දේවියගේ සොහොවුරකු හෝ ඥාති සොහොවුරකු වූ ඇය මෙන් ම පෘතුගීසීන්ගේ රැකවරණ පිට විසූ යමසිංහ බණ්ඩාර නම් කුමරකු පෘතුගීසි හමුදාවක් සහිතව 1592 දී පමණ උඩ රට යවන ලද්දේ මේ සඳහාය. සීතාවක සේනාව පසුබැස්වූ පෘතුගීසීහු උඩරට මුදාගෙන යමසිංහ බණ්ඩාර එහි රජු බව ප්‍රකාශ කළහ. එහෙත් ඔහු ටික කලකින් මිය ගියේය. එවිට ඔහුගේ පුත් කුමරා උඩරට රජු වශයෙන් ඔටුනු පැලැඳි නමුත් යමසිංහ සමඟ සහයෝගයෙන් කටයුතු කළ උඩරට ජනාදරයට පාත්‍ර වූ රදලයකු වූ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුත් වූ කොනප්පු බණ්ඩාර නමැත්තා යමසිංහ බණ්ඩාරගේ ළදරු පුතාටත් ඔහුගේ ආරක්ෂාව සඳහා වූ පෘතුගීසි හමුදාවටත් විරුද්ධව නැඟී සිටියේය. පෘතුගීසීහු ඔවුන්ගේ තත්ත්වය දුර්වල නිසා කුමරා ද රැගෙන මන්නාරමට පසුබැස්සාහ. උඩරට ප්‍රබල හිමිකාරිය වශයෙන් ඉතිරි වූයේ කුසුමාසනදේවියයි.

1593 දී I රාජසිංහ රජු මිය ගිය විට සීතාවක රාජ්‍යය තුළ අභ්‍යන්තර ආරාවුල් හටගැනුණෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පෘතුගිසීහු පහතරට ප්‍රදේශ සියල්ල ම තමන් යටතට ගත්හ. රාජසිංහ ගේ අගසවුවකු ව සිටි අරිට්ටකීවෙණ්ඩු පෙරුමාල් (බ.) ද පෘතුගීසි පක්ෂයට එක් විය. මේ සිද්ධීන් නිසා මුළු ලංකාව ම ස්වකීය ග්‍රහණය යටතට ගෙන ඒම ලෙහෙසි පහසු කාර්යයකැයි පෘතුගීසීහු සිතූහ. උණුඋණුවේ උඩරට අල්ලා ගත හොත් මැනවැයි අදහස් කළ ඔවුහු කුසුමාසන දේවිය ඒ සඳහා උපයෝගී කරගැනීමට සැලසුම් කළහ. මේ සඳහා කොළඹ පෘතුගීසි කපිතාන් ජනරාල් තැන්පත් පේරු ලෝපෙස් ද සූසා හා ජයවීර බණ්ඩාර යන නම පටබැඳ සිටි අරිට්ටකීවෙණ්ඩු ද පෘතුගීසි, සිංහල හා ඉන්දියානු හේවායන්ගෙන් සමන්විත වූ මහ සෙනඟක් ද රැගෙන 1594 ජූනි මාසයේ දී සෙංකඩගල නුවර බලා පිටත් වූහ. ඒ සේනාව කන්ද උඩරට රාජ්‍යයේ දේශ සීමාවට සැපත් වන විට ම වාගේ එතෙක් මන්නාරමේ සිටි කුසුමාසනදේවි 400කින් සමන්විත ලස්කිරිඤ්ඤ හමුදාවක් ද පෘතුගීසි භටයන් 200ක්ද කතෝලික පැවිද්දන් පස් නමක් ද පිරිවරාගෙන පේරු ලෝපෙස්ට එක් වූවාය.

මියගිය යමසිංහ බණ්ඩාරගේ පුත් වූත් ඔහුගෙන් පසුව උඩරට රජු වශයෙන් පෘතුගීසීන් විසින් ලහිලහියේ අභිෂේක කරනු ලැබුවා වූත් කුමරුවාගේ උරුමය අමතක කොට සෙළොස් හැවිරිදි වියෙහි සිටි කුමරියක් උඩරට හිමිකාරිය වශයෙන් පෘතුගීසීන් ඉදිරිපත් කෙළේ කුමක් නිසා දැයි ප්‍රශ්නයක් පැන නැඟේ. කුමරියකට සිහසුන ලබා දී වල්ලභයකු ද තෝරා දුන් විට උඩරට රාජ්‍යය නාම මාත්‍ර වශයෙන් දේශීය පාලකයකු යටතේ ස්වාධීන වුවත් වක්‍ර ලෙසකින් දැඩි ප්‍රතිකාල් ග්‍රහණයට යටත් කළ හැකි හෙයින් පෘතුගීසීන් මේ පියවර ගත් බව අපට නිගමනය කිරීමට සිදු වේ.

පේරු ලෝපෙස්ගේ පැමිණීමත් සමඟ ම කොනප්පු බණ්ඩාර වෙල්ලස්සට පලාගිය හෙයින් උඩරට යටත් කරගත් පෘතුගීසීහු එහි රැජින වශයෙන් කුසුමාසනදේවිය ප්‍රකාශයට පත් කළහ. එහෙත් ඕ නාමමාත්‍ර රැජිනක පමණක් වූවාය. රාජ්‍යය පාලනය කිරීමට තබා ඇගේ යටත් වැසියන් දැකීමටවත් ඇයට අවසරයක් නොවීය. ඕ පෘතුගීසීන් යටතේ හිරකාරියකගේ තත්ත්වයට වැටුණාය.

ඒ නිසා උඩරැටියන් හා ඇය අතර සම්බන්ධයක් නොවීය. මේ අතර ඇය ආවාහ කරගෙන උඩරට බලය ලැබීමට සිතුවන්ගේ මංගල යෝජනා කිහිපයක් ද ගලා එන්නට විය. පේරු ලෝපෙස් ඇයට පෘතුගීසි සැමියකු සොයා දීමට යුහුසුලු විය. දහසය වන සියවසේ උඩරට රජුන් අතර ඉතා ප්‍රිය වූ ජයවීර යන නාමය සමහර විට මතු බලාපොරොත්තු සහිතව තෝරාගෙන සිටි අරිට්ටකීවෙණ්ඩු ද තමාගේ සුදුසුකම් ඉදිරිපත් කෙළේය. මේ අතර පෘතුගීසීන් හා අරිට්ටකීවෙණ්ඩු අතර හටගත් භේදයක් උග්‍ර වී අරිට්ටකීවෙණ්ඩු මැරුම් කෑ පසු ඔහු යටතේ වූ සිංහල හමුදාව එහැමපිටින් ම පෘතුගීසීන් හැර ගියහ. මේ සිද්ධියෙන් පෘතුගීසීන්ගේ තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස් වූ බව දුටු පේරු ලෝපෙස් කොළඹට වහා පසුබැසීමට තීරණය කෙළේය. එහෙත් අතරමඟ දන්තුරේ වෙල මැද දී පෘතුගීසි හමුදාවට මුහුණ දුන් උඩරැටියෝ 1594 ඔක්තෝබරයේ දී ආක්‍රමණිකයන් සමූලෝත්පාටනය කළහ. කුසුමාසනදේවිය උඩරට හමුදාවේ ඒකනායක මුදලි අතට පත් වූයෙන් කොනප්පු බණ්ඩාරට බාරදෙන ලදුව ඔහුගේ අගමෙහෙසිය බවට පත් වූවාය. එතෙක් උඩරටට නීත්‍යනුකූල උරුමයක් නොමැතිව සිටි කොනප්පු බණ්ඩාර (I විමලධර්මසූරිය රජු) ගේ ඒ අඩුපාඩුව මේ විවාහයෙන් පිරිමැසුණේය.

විමලධර්මසූර්ය රජුට දාව කුසුමාසනදේවිය දරුවන් තිදෙනකු වැදුවාය. ඒ රජ්ජුරු බණ්ඩාර හෙවත් මහා අස්ථාන කුමරාත් සූරිය අදහසින් සහ හන්තානේ අදහසින් යන දියණියන් දෙදෙනාත්ය.

1604 දී විමලධර්මසූර්ය රජු මියගියෙන් කුසුමාසන දේවි වැන්දඹු වූවාය. එහෙත් වැඩි කලකට නොවේ. ඇය අගමෙහෙසිය කරගැනීම උඩරට රාජ්‍යය ලැබීමට ඒකායන මාර්ගය බව දුටු කිහිප දෙනෙක් ඒ ගෞරවය සඳහා වලි කෑහ. උඩරට මේ නිසා සිවිල් යුද්ධයක් පවා ඇති විය. අන්තිමේ දී විමලධර්මසූර්යගේ ඥාති සොහොවුරකු වූ සෙනරත් ස්වකීය ප්‍රතිමල්ලවයන් පරදවා ඇය විවාහ කරගත්තේය. විමලධර්මසූර්ය මෙන් ම ඔහු ද රාජ්‍ය උරුමය ලැබූයේ ඇය හා විවාහ වීමෙන් බව 1617 උඩරට පෘතුගීසි ගිවිසුමේ එන "නීත්‍යානුකූල රැජින හා විවාහ වූ ඒ රජ (සෙනරත්) උඩරට රජු වශයෙන් පිළිගැනේ" යන වගන්තියෙන් පෙනී යයි.

1612 වර්ෂය කුසුමාසනදේවියට ඉතා අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් උදා කෙළේය. ඒ අවුරුද්දේ මුල දී ස්වකීය වස්තුවත් දරුවනුත් රැගෙන පෘතුගීසීන් වෙතට පලායෑමට ඈ අදහස් කළ බවත් මල්වානේ පෘතුගීසි කපිතන් ජනරාල් වූ දොන් ජෙරනිමෝ ද අසවේදුට මේ බව ප්‍රකාශ කරමින් පණිවිඩයක් යැවූ බවත් පෘතුගීසි ලේඛනවලින් පෙනී යයි. එහෙත් එවැනි දරුණු පියවරක් ගැනීමට ඈ පෙලඹුණේ ඇයි දැයි දැන ගැනීමට හෝඩුවා නොමැත. 1612 අගෝස්තුවේ දී ඇගේ වැඩිමහල් පුත් මහා අස්ථාන කුමරා මියගියේය. උඩරට සිහසුනට ප්‍රබල උරුමයක් තුබූ ඔහු මරවන ලද්දේ සෙනරත් රජු විසිනැයි සැකයක් උඩරට පුරා පතළ වූ බව පෙනේ. ඒ කුමරාගේ වියෝව මව් දේවියට දරාගත නොහැකි වූ බවත් ඈ ඊට පසු ඇඬූකඳුලින් කල් ගත කළ බවත් ලන්දේසි වාර්තාවල කියැවේ. මේ අතර ජ්වර රෝගයක් වැලඳුණු ඕ එය උත්සන්න වීමෙන් 1613 ජූලි 20වැනි දා වෙල්මන්තොට මාලිගයේ දී අවසාන හුස්ම හෙළුවාය. එවිට තිස්පස් වියේ පමණ වූ ඈ මරණයට පෙර දැසිදසුන් නිදහස් කොට මෙහෙකරුවන්ට පඩිනඩි ගෙවා නෑදෑ හිතවතුන්ට තෑගිබෝග ප්‍රදානය කොට සිය යුතුකම් මනා සේ ඉටු කළ බව සඳහන් වේ.

උඩරට සිංහල රැජිනක වූ නමුත් උත්සව අවස්ථාවල දී විශේෂයෙන් ම බටහිර රටවලින් ආ රාජ්‍ය දූතයන් හමු වූ අවස්ථාවල දී ඈ පෘතුගීසි කුලකාන්තාවන්ට සරිලන ආකාරයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසීමට කැමැති වූ බව ලන්දේසි වාර්තාවල කියැවේ. මන්නාරමේ විසූ බහ නොතේරෙන කාලයේ දී මුල් බැසගත් පුරුදුවල හා ආකල්පවල බලපෑම මෙයින් පෙනී යයි. එසේ ම බුද්ධාගමේ ආරක්ෂකයන් වූ උඩරට රජුන් දෙදෙනකුගේ අගමෙහෙසිය වූ නමුත් ළදරු වියෙහි දී රෝපණය වූ කතෝලික විශ්වාස හා ඇදහිලි යටපත් කරගැනීමට ඈ අපොහොසත් වූ බවක් හැඟේ. උඩරට රාජ්‍ය තුළ සිට කතෝලික පැවිද්දන් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට ඕ විශේෂ කැමැත්තක් දැක්වූවාය. එසේ ම මරණ මඤ්චකයේ දී තමා ක්‍රිස්තු භක්තික බව ඈ කී බවත්, "ක්‍රිස්තුනි, මට සරණ වන්න" (O Christo ajude me) යන ප්‍රකාශය ඇගේ මුවෙන් පිට වූ බවත් සඳහන් වන හෙයින් මේ නිගමනය තහවුරු වෙයි.

කුසුමාසනදේවිය මුළු ජීවිත කාලය තුළ ම රාජ්‍ය බලය සඳහා පොරකෑවුන්හට ඉත්තකු වූ බව ඇගේ චරිතාපදානයෙන් තවත් පැහැදිලි වන කරුණකි. පෘතුගීසීන් ඇය රැක බලා ගත්තේ ද මේ අයුරේ 'සත්ත්ව කරුණාවක්' පෙරදැරි කරගෙනයි. ඇය අග මෙහෙසිය කරගත් අය මෙන් ම කරගැනීමට බලාපොරොත්තු වූවන් ද මෙහෙයැවූ එක ම ජව වේගය රාජ්‍ය ලෝභයයි. තීරණාත්මක අවධියක උඩරට හිමිකමක් රැගෙන උපන් නිසා මෙය ඇය ලබා උපන් ඉරණමක් වශයෙන් සැලකිය හැකියි.

කුසුමාසනදේවියගේ දරුවන් පිළිබඳ තොරතුරු ද කෙටියෙන් සඳහන් කළ හැකිය. විමලධර්මසූර්යට දාව ඇගේ කුසින් උපන් සූරිය අදහසින් දියණි ඇගේ මරණයෙන් පසුව සෙනරත් රජුට මෙහෙසි වූවාය. 1617 දී පමණ සූරිය අදහසින් දියණි ඇගේ මරණයෙන් පසුව සෙනරත් රජුට මෙහෙසි වූවාය. 1617 දී පමණ සූරිය අදහසින් මිය ගිය විට සෙනරත් රජ ඇගේ නඟා එනම් කුසුමාසන දේවියගේ දෙවැනි දියණි වූ හන්තානේ අදහසින් හෙවත් උඩුමාලේ බණ්ඩිගේ තමාගේ බිසෝ තනතුරට ගත්තේය.

සෙනරත්ට දාව කුසුමාසනදේවිය පුතුන් තිදෙනකු වැදුවාය. වැඩිමහල් කුමාරසිංහ 1625 සිට ඌවේ පාලකයා වී සිට 1634 දී මිය ගියේය. දෙවැනියා වූ විජයපාල කලක් මාතලේ රාජධානිය පාලනය කොට පසුව සිය බාල සොහොයුරු රාජසිංහ සමඟ බිඳී පෘතුගීසින්ට එක් විය. ඔවුන් විසින් ගෝවට යවන ලද හේ වර්ෂ කිහිපයකට පසු එහි දී මිය ගියේය. බාල පුත් II රාජසිංහ 1628 දී පමණ සෙංකඩගල රාජ්‍යය ලැබ දීර්ඝ වූත් විශිෂ්ට වූත් පාලනයකින් පසුව 1687 දී මිය ගියේය.

ටිකිරි උබයසිංහ