අබු හමිද් මුහම්මද් අල් ඝසාලි
(1058-1111). ශ්‍රෙෂ්ඨතම ඉස්ලාමික දේවධර්ම ශාස්ත්‍රඥයා වශයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. ක්‍රි.ව. 1058 දී (පර්සියාවේ) ඛුරාසන්හි ටස් නම් නගරයෙහි උපන් හෙතෙම එම නගරයෙහි දී සහ නිෂාපූර්හි දී ඉගෙනීම ලැබුවේය. 34 වැනි වියේ දී ඝසාලි බැග්ඩෑඩ්හි නිසාමත් විශ්ව විද්‍යාලයෙහි දේවධර්ම විද්‍යාව පිළිබඳ මහාචාර්යයවරයා හැටියට පත් කරනු ලැබීය. එහෙත් සිව්වසකින් එම ධුරයෙන් අස් වූ හෙතෙම රහස්‍යවාදි තාපසයකුව දමස්කසය, ජෙරුසලම ආදි ස්ථානයන්හි විසුවේය.
කලකට පසු ටස්හි සුෆී විද්‍යාලයක් ආරම්භ කළ අල් ඝසාලි නිශාපූර්හි නිසාම්උල් මුල්ක් නම් විද්‍යාලයේ මහාචාර්යවරයකු හැටියට ද සේවය කළේය. ඔහු තම අවසාන කාලය සිය සමයෙහි ගැඹුරු ධර්මයන් ගැන මෙනෙහි කිරීමට ද ග්‍රන්ථකරණයට ද යෙදීය.
ඝසාලි පර්සියානු ජාතිකයකු වූ නමුත් පොත් ලීවේ අරාබි භාෂාවෙනි. ඔහු විසින් ලියන ලද 'සමයානුබද්ධ විද්‍යාවන්ගේ පුනරුත්ථානය' නම් කෘතිය ඉස්ලාමික ග්‍රන්ථ අතර වැදගත්කමින් කෝරානයට පමණක් දෙවැනි කොට සලකනු ලැබේ. හෙතෙම මේ ග්‍රන්ථයෙහි සම්පූර්ණ ඉස්ලාම් දේවධර්මයත් පූජා හා ඇදහිලි ක්‍රමත් විමසා බලා ස්වර්ගාධිගමය සඳහා ඉස්ලාම් සමයෙහි එන කුදු මහත් සෑම කරුණක් ම අවශ්‍ය බව පැහැදිලි කරයි. මේ ග්‍රන්ථයෙන් හා 'දාර්ශනියකයන්ගේ විනාශය' නම් වූ පොතෙනුත් ඝසාලි රහස්‍යයන් අවබෝධ කරගැනීමෙහි ලා දාර්ශනික චින්තාවන් උපයෝගී කරගැනීමට විරුද්ධව තදින් පහර දෙයි. ඉස්ලාම් භක්තිකයන් අතර විශේෂ වරප්‍රසාද ලත් කොටසක් නැති බව පැවසූ ඔහු ඉස්ලාම් සමයෙහි එකමුතුබව හා අචලබව රැකීමට දෘඪ පරිශ්‍රමයක් දැරීය.
ඝසාලිගේ නම සඳහන් වනුයේ ඉස්ලාම් දේව ධර්මයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කළ තැනැත්තකු වශයෙන් පමණක් නොවේ. යුදෙව් හා ක්‍රිස්තියානි දේව ධර්මයේ වැඩි දියුණුවට ද මොහුගෙන් ලැබුණු ආභාසය ස්වල්ප නොවීය. ඇක්වයිනාස්, බේකන්, ඩාන්ටේ ආදීන්ගේ කෘතීන්හි පවා ඝසාලි අනුස්මරණය කර ඇත.
ඔහුගේ කෘති 69ක් ගැන පොතපතෙහි සඳහන් වේ. මේවායින් කීපයක් ලතින් භාෂාවට පෙරළා තිබේ.
(සංස්කරණය: 1965)