අයුබ්ඛාන්, මොහම්මද්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
2-11-1.jpg
පකිස්ථාන් සමූහාණ්ඩුවේ (1958 සිට) ජනාධිපතිවරයාය. බාලවියේදී අලිගර්හි මුස්ලිම් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙතෙම එංගලන්තයේ සැ'ස්ට් යුද්ධ අභ්‍යාස විද්‍යාලයෙන් යුද පුහුණුව ලැබීය. විසි අටවන වියේ දී යුද්ධ හමුදාවේ ලෙෆ්ටිනන්ට් ධුරයකට පත්වුණු මොහු මුලින් ම සේවය කෙළේ තුදුස්වන පංජාබ් රෙජමේන්තුවෙහිය. දෙවන ලෝක සංග්‍රාම කාලයේ දී යුද්ධ හමුදාවක් භාර නිලධාරියෙකු හැටියට පත්වුණු අයුබ්බාන් බුරුමයේ සේවය කළේය. යුද්ධ හමුදා සේවයේ ක්‍රමයෙන් උසස් වූ මෙතෙම 1951 අවුරුද්දේ දී පකිස්ථානි යුද්ධ හමුදාවේ අග්‍ර සේනාධිපති තනතුරට පත්විය. මහමත් අලි මහතා යටතේ 1953 අප්‍රේල් මාසයේ පිහිටු වනු ලැබූ පකිස්ථානි ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යයා වශයෙන් 1954 සිට 1955 දක්වා අයුබ්බාන් කටයුතු කළේය.

1955 සැප්තැම්බර් මාසයේ සිට පකිස්ථාන යේ ජනාධිපතිව සිටි ඉස්කන්දර් මිර්සාට 1958 ඔක්තෝබර් මාසයේ 28 වනදා මොහුගේ බල පෑම නිසා ඉල්ලා අස්වන්නට සිදු වූයෙන් මෙතෙම පකිස්ථානයේ අසහාය පාලකයා හැටියට පත්විය.

එදා සිට පකිස්ථානයේ ජනාධිපති, අගමැති, ආරක්ෂක ඇමති හා යුද්ධ නීති විධායක යන පදවි සියල්ල අයුබ්බාන් තමාට ම පවරා ගති. එදින මහජනයා අමතා ගුවන් විදුලි පණිවුඩයක් නිකුත් කළ අයුබ්බාන් ඔහුගේ අරමුණ අල්ලස් ගැනීම්, දූෂණ ක්‍රියා, අකාර්යක්ෂමභාවය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඟවා තබා ගැනීම වැනි සමාජ විරෝධී ක්‍රියා නැති කිරීම යයි ප්‍රකාශ කළේය. අයුබ්බාන් ඇමෙරිකන්වරුන්ගේ හිතවතෙකි. කාශ්මීර ප්‍රශ්නය ආදි ප්‍රශ්න නිරාකරණය කරගැනීමේ අභිප්‍රාවෙන් අයුබ්බාන් ඉන්දියන් අග්‍රාමාත්‍ය නේරු සමග කීපවරක් සාකච්ඡා පැවැත්වීය.