අෂ්ට ලෝකධර්මය
ලොවැ රජයමින් පවත්නා ලෝක ධර්මයෝ අට දෙනෙකි. ලාභ අලාභ අයස යස නින්දා පසංසා සුඛ දුක්ඛ යන මොහුයි. මේ අටලෝදහම්හු ලෝවැසියා අනුව පවත්නාහුය. ලෝවැසියා නොහැර, ලෝවැසියා කෙරෙන් නොවෙන්ව පවත්නාහුය. ලෝවැසි තෙමේත් අටලෝදහමුන් අනුව, ලෝදහමුන් නොහැර, ලෝදහමුන් කෙරෙන් නොවෙන්ව සිටුනේය. මේ ධර්මයෝ අටදෙන ලොවැ එක ද සත්ත්වයකු නොහැර පරිවර්තනය වෙමින් පවත්නාහුය. එහෙයින් ලාභය පැමිණි කල්හි අලාභය ද නියතයෙන් පැමිණෙනසුලු වෙයි. යස අයසාදිය ද එසේ මැය. මිනිසුන් කෙරෙහි ලාභාදීහු අනිත්‍ය වෙති, වෙනස් වන ස්වභාව ඇත්තාහු වෙති.
මේ ලෝදහම්හු අශ්‍රැතවත් පුහුදුනන්ට ද ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයනට ද එක සේ පැමිණෙති. එහි දී පුහුදුන් පුඟුල්හුගේත් ආර්යශ්‍රාවකයාගේත් වෙනසෙක් වෙයි. පෘථග්ජනයකුට ලාභ-යශස්-ප්‍රශංසා-සුව යන දහම් උපන් කල්හි හෙතෙම එහි ඇලෙයි, අනුරාගය උපදවයි. අලාභ-අයශස්-නින්දා-දුක් උපන් කල්හි එහි ද්වේෂය, නොසතුට, උපදවයි. ලාභාදියෙහි අනුරාගය හේතුකොටගෙන ද අලාභාදියෙහි විරෝධය හේතුකොටගෙන ද මැඩුණු සිත් ඇති හෙතෙම ජාතිජරාදි සසර දුකින් නොමිදෙයි. ආර්යශ්‍රාවකයා වූකලි ලාභාදියෙහි අනුරාගය හෝ අලාභාදියෙහි විරෝධය හෝ නූපදවයි. ලාභාදි ලෝදහම්හි අනිත්‍යබව විපරිණාමබව මෙනෙහි කෙරෙයි. ලාභාලාභාදියෙහි අනුරෝධ-විරෝධ (රාග-ද්වේෂ) ප්‍රහීණ කළ හෙතෙම ජාතිජරාදි සසරදුකින් මිදෙයි.
බුදුහු පවා අටලෝදහමින් නොවෙන් වූහ. උන්වහන්සේ ලාභාදියෙහි ද තාදී වූහ, අලාභාදියෙහි ද තාදී වූහ. එහෙයින් බුදුහු අටලෝදහම්හි තාදීගුණසම්පන්න වූහ යි කියනු ලැබෙත්.
(සංස්කරණය: 1965)