ඔකොට්ස්ක්

සිංහල විශ්වකෝෂය වෙතින්
(ඔකොට්ස්කි වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
5-434-1.jpg
සෝවියට් රුසියාවේ තොටමුණු නගරයක් ද ඒ වටා වූ මුහුදක් ද මෙනමින් හැඳින්වේ.

නගරය

කබාරෆ්ස්ක් ප්‍රදේශයට අයත් මේ නගරය ඔකොට්ස්ක් මුහුදේ වයඹදිග වෙරළේ අයාන් සහ නගායෙව යන නැව්තොටවල් දෙක අතර පිහිටා තිබේ. ජනගහනය 3,500ක් පමණ වේ. නැව්තොට අවුරුද්දේ හය මාසයකටත් වැඩි කාලයක් හිමෙන් වැසී තිබේ.

මුහුද

අඩි 11,069ක් ගැඹුරැති, ව.සැ. 613,838ක් පමණ විහිදී ගිය ඔකොට්ස්ක් මුහුද වයඹදිග ශාන්තිකර සාගරයේ කොටසකි. එය බටහිරින් සහ උතුරින් සයිබීරියාවෙන් ද ඊශාන දිගින් කැම්චැට්කා අර්ධද්වීපයෙන් ද ගිනිකොනින් කූරල් දූපත්වලින් ද නිරිතින් සහ දකුණින් සකාලින්, හොකයිදෝ යන දූපත්වලින් ද සීමා වී තිබේ. උතුරු වෙරළේ මාගදාන් ද සකාලින්හි කෝර්සාකොෆ් ද නගායෙව සහ ඔකොට්ස්ක් ද මෙහි ප්‍රධාන නැව්තොටවල්ය. මෙය ගිනිකොන දෙසින් ශාන්තිකර සාගරයට ද නිරිත දෙසින් ජපන් මුහුදට ද සම්බන්ධ වේ. මෙහි දේශගුණය ශීතලය; මීදුම් හා වර්ෂාව අධිකය. අගෝස්තු මාසයේ දී මතුපිට ජලයේ උෂ්ණත්වය පැරන්හයිට් අංශක 58කි. මෙහි ජලජ පැලෑටි සහ ජලජ සත්තු ආක්ටික් සාගරයේ ජලජ ජීවිත පිළිබඳ තත්වයනට සමානය. ඔකොට්ස්ක් මුහුද මත්ස්‍යයන්ගෙන් ගහනය. සෝවියට් සංගමයෙහි අල්ලන මසුන්ගෙන් 1/10ක් පමණ මෙම සමුද්‍රයෙන්ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔකොට්ස්ක්&oldid=11841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි