තම්බිමුත්තු, ඊ.ආර්.

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tambimuttu E.R.) (1890 දී පමණ-අප‍්‍රකට ය). 1930 ගණන්වල මඩකලපුවේ සිටි කීර්තිමත් නීතිඥයෙකි, ලංකා ව්‍යවස්ථාදායක සහ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවන්හි මහජන නියෝජිතයෙකි.

යාපනයේ නල්ලූර් ප‍්‍රදේශයේ සිට මෙතුමාගේ දෙමාපියන් මඩකලපුවට පැමිණ පදිංචි වූහයි කියැවේ. වෘත්තියෙන් නීතිවේදියකු වූ මෙතුමා අතිදක්ෂ කථිකයෙක් ද විය. 1921 දී නැගෙනහිර පළාත නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභා මැතිවරණයට ඉදිරිපත් වී නිතරගයෙන් තේරී පත්විය. 1924 පැවති ව්‍යවස්ථාදායක සභා මැතිවරණයට මඩකලපුව ආසනයෙන් තරග කෙළෙන් යළිත් වරක් 1930 දක්වා එම මැතිවරණ බලප‍්‍රදේශය නියෝජනය කරනු පිණිස තෝරා පත් කර ගනු ලැබිණි. යාපනයේ තරුණ කොන්ග‍්‍රසය විසින් දියත් කරන ලද 1931 මැතිවරණ වර්ජන ව්‍යාපාරයට අවනතවෙමින් එම රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණයට නාමයෝජනා භාරදීමෙන් වැලකී සිටි මොහු 1936 දී යළිත් වරක් ත‍්‍රිකුණාමල-මඩකලපු ආසනය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණය තරගකොට ජය ගත්තේ ය. ඒ එම කොට්ඨාසය රාජ්‍ය සභාවේ නියෝජනය කළ පළමු මන්ත‍්‍රීවරයා වෙමින් යැයි සඳහන් වේ.

රාජ්‍ය සභාව තුළ මෙතුමා ගෙනගිය දැඩි අරගලය නිසා මඩකලපු ජනතාව මෙතුමා සදානුස්මරණය කරති. එම වාග් සංග‍්‍රාම හේතුවෙන් ඔහුගේ අනුගාමික ඡුන්දදායකයෝ විශාල පිරිසක් ඇති වූහ. තමා නියෝජනය කළ ප‍්‍රදේශවාසීන්ගේ පමණක් නොව මු`එ නැගෙනහිර පළාතේ පොදු ප‍්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම පිණිස දකුණු මඩකලපුවේ පාලමක් ඉදිකරවා ගැනීමට මෙතුමා මහත් උද්‍යෝගයෙන් ක‍්‍රියා කළේ ය. අද කල්ලඩි පාලම නමින් හැඳින්වෙනුයේ මෙයයි. එය ඔහු වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් සේ දෙමළ ප‍්‍රජාව සලකයි.

1943 ජූනි මාසයේ දී අල්ලස් කොමිසම විසින් අල්ලස් ලබාගැනීමක් සම්බන්ධයෙන් මෙතුමාට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කොට වරදකරු කරනු ලැබිණි. එකී චෝදනා නොපිළිගත් මොහු සිය රාජ්‍ය සභා මන්ත‍්‍රී පදවියෙන් ඉල්ලා අස්වීම ප‍්‍රතික්ෂේප කෙළේ ය. ඉක්බිති ඔහු එකී ධුරයෙන් නෙරපන ලද්දේ යැයි කියැවේ.

ඔහුගේ දියනිය ලෝරල් රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ව ක‍්‍රියා කළ කාසිනාදර් හා විවාහ වූවා ය.

කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ

(සංස්කරණය නොකරන ලද-2022)