උද්භිද විද්‍යාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මිනිසා හා ශාක අතර කවදත් කිට්ටු සම්බන්ධයක් පැවැත්තේය. එහෙයින් ම උද්භිද විද්‍යාව ඉතා පැරණි විද්‍යාවකි.

මිනිසා දැන් මෙන් ඉතා පැරණි අවදියේ දීත් තමාට වුවමනා ආහාරයෙන් පමණක් නොව, ඇඳුම්, වාසස්ථාන හා ඖෂධ වර්ග වැනි වූ ජීවිතයට අදාළ අන්‍ය අවශ්‍යතාවන්ගෙන් ද වැඩිහරියක් සපයාගැනීමට බලාපොරොත්තු වූයේ ශාකයන්ගෙනි. එහෙයින් ආදි කාලයේ පටන් ම ඔහු ශාක පිළිබඳ අධ්‍යයනයට පෙලඹීම ස්වාභාවිකය.

අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ම ශාක සම්බන්ධයෙන් මිනිසා සැලකිලිමත් වූයේ හුදෙක් තම ප්‍රයෝජනය සලකාගෙනය. ඔහුගේ සැලැකිල්ල තමාට ප්‍රයෝජනවත් වූ ශාකවලට පමණක් සීමා විය. එම ශාක නම් කරන ලදි. ඒවා සොයාගත හැකි ස්ථාන ද ඒවා වවන ක්‍රමය ද මිනිස්සු දැන සිටියහ. ප්‍රයෝජනවත් නොවූ හෝ අන් කිසියම් අයුරකින් මිනිසාගේ දිවිපැවැත්ම හා සම්බන්ධ නොවූ හෝ ශාක නොසලකා හරින ලදි. ඒවාට නම් තැබීමක් පවා නොකැරිණි.

කල් යත් යත් කුහුල් සිතැති ටික දෙනෙක් ශාක පිළිබදව ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කිරීමටත් හුදු අධ්‍යයනයක් වශයෙන් අධ්‍යයන පරමාර්ථයෙන් ම ඒවා හැදෑරීමටත් පටන් ගත්හ. ඔව්හු තමනට ප්‍රයෝජනවත් ශාක සම්බන්ධයෙන් පමණක් නොව අන් ශාක සම්බන්ධයෙන් ද නිරීක්ෂණ පවත්වන්නටත් නානාවිධ ශාක එකිනෙකට වෙනස් වන්නේ මන්ද, ඒවා වැවෙන්නේ කෙසේ ද, ඒවායේ කොළ, මුල් හා මල් කිනම් කාර්ය ඉටු කෙරේ ද වැනි ප්‍රශ්න නඟන්නටත් වන්හ.

මේ අන්දමින් කැරුණු විධිමත් අධ්‍යයන නිසා අවසානයේ දී යථෝක්ත ප්‍රශ්නවලට පිළිතුරු සැපැයීම් අරභයා වූ විද්‍යාත්මක විමර්ශන ක්‍රම භාවිතයට මඟ පෑදිණි. උද්භිද විද්‍යාව විකාසයට පැමිණියේ මෙපරිද්දෙනි.

ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384-322) සුපරීක්ෂ්‍යකාරීව ශාක පිළිබදව අධ්‍යයනය කොට නොයෙක් ප්‍රදේශවලින් රැස් කරන ලද බොහෝ ශාක විශේෂ වගා කෙළේය. ඔහු උද්භිද විද්‍යාත්මක විෂයයන් අළලා පෘථුල ලෙස ලියූ බව දැනගන්නට ලැබී ඇති නමුදු එම ලේඛන අභාවයට ගොස් ඇත. ‘උද්භිද විද්‍යාවේ පියා’ යනුවෙන් දන්නා ලද, ඔහුගේ ශිෂ්‍යයා වූ තියොෆ්රැස්ටස් (ක්‍රි.පූ. 371-287) ඔහුගේ කටයුතු නොනවත්වා කරගෙන ගියේය. ශාක ඉතිහාසය පිළිබඳව ලියූ සංග්‍රහ ග්‍රන්ථයක් ද ඔහුගේ කෘතීන් අතර විය. එහි ලා හේ ශාක විශේෂ 500ක් පමණ විස්තර කෙළේය. එවක දැනගෙන තුබුණු සියලු ම ශාක ප්‍රථමවරට නම් කොට වර්ග කරන ලදි. ඒ ඇතැම් නම් තවමත් භාවිතයෙහි පවතී. මේ ග්‍රන්ථයෙහි ශාක ව්‍යූහය හා ශාකයන්ගේ ඖෂධ ගුණ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙයි.

රෝමයෙහි ද ශාක ජීවිතය ගැන විමසා බැලූ අය වූහ. (ජ්‍යෙෂ්ඨ) ප්ලිනි (ක්‍රි.ව. 27-79) වෙන නොයෙකුත් දෑ ඇතුළුව දහසක් පමණ වූ ශාක විශේෂ ගැන තොරතුරු සපයමින් ස්වභාව වස්තු විද්‍යාව පිළිබඳව ග්‍රන්ථයක් සම්පාදනය කළේය. මේ ග්‍රන්ථයේ ඇතුළත් බොහෝ කරුණු ඉඳුරා ම නිරවද්‍ය නොවේ යයි හෝ අතිශයෝක්තීන්ගෙන් ගහන යයි හෝ දැන් සැලැකෙන නමුදු මෙය අවුරුදු බොහෝ ගණනක් මුළුල්ලෙහි ස්වභාව වස්තු විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික කෘතියක් වශයෙන් සලකන ලදි. එමෙන් ම එය දීර්ඝ කාලයක් මුළුල්ලේ උද්භිද විද්‍යාත්මක චින්තනය කෙරෙහි බලපෑවේය.

තවත් රෝම වැසියකු වූ ඩියොස්කොරිඩීස් උද්භිද විද්‍යා ඉතිහාසය විෂයයෙහි මෙන් ම වෛද්‍ය විද්‍යා ඉතිහාස විෂයයෙහි ද වැදගත් තැනක් ගනී. ඔහු ශාක පිළිබඳව අධ්‍යයනය කෙළේ ප්‍රධාන වශයෙන් ම වෛද්‍ය විද්‍යාවෙහි ලා ඒවායේ ඇති වැදගත්කම ගැන සලකාගෙනය.

මධ්‍යතන යුගවල දී අන් සියලු විද්‍යාවන් මෙන් උද්භිද විද්‍යා අධ්‍යයනය ද අඳුරෙහි ගැලී ගියේය. මේ විෂයට අලුතින් යමක් එකතු නොවීය. එහෙත් පුරාණ ලේඛකයන්ගේ ඉගැන්වීම ආරක්ෂා කරගනු ලැබ ශාක පිළිබඳ දැනීම නියම වශයෙන් ඒ එ් ශාකයන් ම පිරික්සා බැලීමෙන් නොව කෙළින් ම පැරැන්නන්ගේ ග්‍රන්ථවලින් ලබාගන්නා ලදි.

දහසය වැනි සියවසේ ආරම්භයේ දී ශාක අධ්‍යයනය පිළිබඳ අලුත් උනන්දුවක් නැවත ඇති විය. යුරෝපයේ රයින් මිටියාවතේ හා ඒ අවට ප්‍රදේශවල විසූ උද්භිද විද්‍යාඥයන් කණ්ඩා‍යමක් පැරැන්නන්ගේ ඉගැන්වීම් කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදක්වමින් ශාක සම්බන්ධයෙන් අභිනව නිරීක්ෂණ පැවැත්වීමට පටන් ගත්හ. ඔව්හු ද වෛද්‍ය විද්‍යාවෙහි ලා ශාකවල ඇති ප්‍රයෝජනය කෙරෙහි මූලික වශයෙන් සැලැකිලිමත් වූ අතර තම තමන්ගේ දේශවල වැවුණු ශාක විස්තර කොට ඒවායේ චිත්‍ර සටහන් ද පිළියෙල කළහ. මේ විස්තර හා චිත්‍ර සටහන් පසුව වනෞෂධ සංග්‍රහ (herbals) නමින් හැඳින්වෙන්නට වූ ග්‍රන්ථ මගින් ප්‍රකාශයට පමුණුවන ලදි. මේ වනෞෂධවේදීහු (herbalists) තමන් අධ්‍යයනය කළ ශාක විශේෂයන් වෙසෙසා දැක්වීමට මහන්සි ගත් අතර ඒවා වෙන් කොට හැඳිනගැනීම සඳහා උපයෝගී කොටගත හැකි ලක්ෂණ කවරේ ද යනුත් පෙන්නුම් කළහ. මෙම ශාකයන් වර්ග කිරීම ප්‍රයෝජනවත් බව දුටු ඔව්හු ඒවා වර්ග කිරීමෙහි ලා දළ ක්‍රම ද ඉදිරිපත් කළහ.

මේ වනෞෂධවේදීන් අතර ලේඕන්හාට් ෆුක්ස් (1501-1566), ගස්පාර් බෝඇං (1560-1624) සහ ඔටෝ බ්රූන්ෆෙල්ස් (1464-1534) වූහ. ඔවුන්ගේ සියලු ම කෘති රචනා කරන ලද්දේ එවක විද්‍යා විෂයක ‘ජගත් භාෂාව’ වූ ලතින් බසිනි.

ශාක වගා කෙරුණු වනෞෂධෝද්‍යාන, ශාකයන්ගේ ඖෂධීය අගයන් ගැන සාකච්ඡා කරන වනෞෂධවේදීන්, ශාකවලින් ඖෂධ පිළියෙල කිරීම හා එම ඖෂධ මගින් රෝගීනට පිළියම් කිරීම ද දැක්වෙන පින්තූර එම වකවානුවේ පටන් ම දක්නට ඇත. මෙසේ වනෞෂධවේදීහු ශාකවල ඖෂධීය වටිනාකම සම්බන්ධයෙන් සැලැකිලිමත් වූහ. ශතවර්ෂ ගණනක් මුළුල්ලෙහි උද්භිද විද්‍යා අධ්‍යයනය සැබැවින් ම පවත්වාගෙන යන ලද්දේ වෛද්‍ය විද්‍යාවෙහි ලා ශාකවල ඇති ප්‍රයෝජනය සම්බන්ධයෙන් මූලික සැලැකිල්ල දැක්වූ වෛද්‍යවරයන් විසිනි. මෙලෙස වෛද්‍යවරු උද්භිද විද්‍යාඥයෝ ද වූහ. උද්භිද විද්‍යාව ස්වාධීන විද්‍යාවක් වශයෙන් පිළිගැනෙන්නට වූයේත් වෙන ම විෂයයක් වශයෙන් එය විශ්වවිද්‍යාලයන්හි ඉගැන්වීම ආරම්භ කරන ලද්දේත් ඉතා මෑත කාලවල දීය.

ආදි උද්භිද විද්‍යාඥයෝ තමන් හදාළ ශාකවල ලක්ෂණ හා ප්‍රයෝජන විස්තර කිරීමේත් එම ශාක යම්කිසි වර්ගීකරණ ක්‍රමයකට අනුව ඉදිරිපත් කිරීමෙත් ලා මූලික වශයෙන් සැලැකිල්ල දැක්වූහ.

පැළෑටි, පඳුරු, ගස් යන කොටස් තුනට ශාක බෙදීම නොඑසේ නම් අකාරාදි පිළිවෙළට යෙදු ඒවායේ නාම අනුව ඉදිරිපත් කිරීම මූලික ම වර්ගීකරණය විය. එහෙත් වඩා තර්කානුකූල වූත් වඩා සතුටුදායක වූත් වර්ගීකරණ ක්‍රමයක් සොයා ගැනීමේ කාර්යය නොනැවතී කෙරිණ. 1583 දී ඉතාලි උද්භිද විද්‍යාඥයකු වූ චේසාල්පීනෝ විස්තීර්ණ වර්ගීකරණ ක්‍රමයක් යෝජනා කෙළේය. බොහෝ අවුරුදු ගණනක් මුළුල්ලේ ම විධිමත් උද්භිද විද්‍යාවේ පදනම වූයේ මෙම වර්ගීකරණයෙන් ඉදිරිපත් කරන ලද මූලධර්මයි.

ජෝන් රේ (1628-1705) ශාක විශේෂ පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරමින් ඒවා වූකලි පොදු මුත්තණු ශාකයකින් පැවැත එන්නාවූත් ඇතැම් ප්‍රභේදන ඇතිව වුව ද අවිච්ඡින්නව එක්බඳු සන්තතියක් ජනිත කරන්නාවූත් ශාක සමූහයක් ලෙස විග්‍රහ කෙළේය. රේ පළමු වරට සපුෂ්ප ශාක කෙරෙන් විපුෂ්ප (මල් හටනොගන්න) ශාක වෙන් කොට එක් බීජ පත්‍රයක් දරන ඒකබීජපත්‍රික හා බීජ පත්‍ර දෙකක් දරන ද්විබීජපත්‍රික වශයෙන් සපුෂ්පක ශාක බෙදා දැක්වීය.

18 වැනි ශතවර්ෂය වූකලි දේශගවේෂණය, උපනිවේෂණය හා දේශසංචාරණය පෘථුල ලෙස කෙරුණු කාලපරිච්ඡේදයක් විය. එහි ප්‍රතිඵල වශයෙන් අලුතින් සොයාගනු ලැබ විස්තර කෙරෙන්නට වූ ශාක සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩි වන්නට විය. ඈත දේශවල විසිරී වාසය කළ උද්භිද විද්‍යාඥයෝ අලුතින් සොයාගත් ශාක විශේෂ අන්‍යෝන්‍යයන්ගෙන් වග විභාග නොකොට නම් කරන්නට වන්හ. මේ හේතුකොටගෙන අතිශයින් ව්‍යාකුල තත්වයක් ඇති වූයෙන් ශාක විශේෂ නම් කිරීමේ හා යම්කිසි අනුපිළිවෙළකට යෙදීමේ ඒකාකාර ක්‍රමයක් නොපමාව සකස් කරගැනීම අවශ්‍ය විය.

ස්වීඩිෂ් ජාතික ජීවවිද්‍යාඥයකු වූ කරෝලුස් ලිනියස් (1707-1778 ) මේ අවුල නිරවුල් කෙළේය. ඊට කලින් ශාකයක නම එම ශාකය විස්තර කරන විශේෂණ පද මාලාවකින් සමන්විත දීර්ඝ වාක්‍ය ඛණ්ඩයක් විය. ලිනියස්ගේ ද්වීපද නාමකරණ ක්‍රමයෙහි ලා සෑම ශාකයකට ම (හා සෑම සතකුට ම) වචන දෙකකින් පමණක් සමන්විත නමක් දෙන ලදි. ඉන් පළමුවැන්න ශාකය අයිති ගණය (genus) හඳුන්වන නාමය වූ අතර දෙවැන්න නම් කරන ලද ශාක විශේෂය (species) සීමා කරමින් එම ගණයේ අන් විශේෂයන්ගෙන් එය වෙසෙසා දක්වන විස්තරාත්මක පදය විය.

ලිනියස් සැබැවින්ම මේ ක්‍රමය නිර්මාණය කෙළේ නොවේ. එහෙත් හේ තම ග්‍රන්ථයන්හි ලා එය භාවිත කෙළේය. මෙය එම ක්‍රමය තරයේ ප්‍රතිෂ්ඨාපනය වීමට ඉවහල් විය. 1753 දී ප්‍රකාශයට පමුණුවන ලද ඔහුගේ Species Plantarum (ශාක විශේෂ) නම් ග්‍රන්ථයෙහි එවක දත් සියලු ම ශාක විශේෂ ලේඛනගත කොට ඇත. වර්තමානයෙහි වළංගු සේ සලකනු ලබන ශාක නාම ලිනියස් විසින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් කරන ලද ඒවා නැතහොත් පසුව ඔහු විසින් හෝ අන් ගත්කතුවරයන් විසින් දෙන ලද ඒවායි. ශාක පුෂ්පයේ රේණුවල හා ජායාංගවල සංඛ්‍යාව පදනම් කොට ගෙන ශාකයන් වර්ග කිරීමේ පිළිවෙළක් ද ලිනීයස් යොදාගත්තේය. මේ වර්ගීකරණය බෙහෙවින් කෘත්‍රිම සේ දැන් සලකනු ලබන නමුදු ශාකයක් හඳුනාගැනීමට හෝ හඳුනාගැනීමක වරද නිවරද දැනගැනීමට හෝ එය උපස්තම්භක විය. ශාක විශේෂ හා ගණ වඩාත් විශාල ජාති (categories), කොට්ඨාස (divisions), ගෝත්‍ර (orders) හා වර්ග (classes) වශයෙන් ද ලිනියස් කොටස් කෙළේය. හේ වර්ග 75ක් පමණ ප්‍රතිෂ්ඨාපනය කොට එක් එක් වර්ගය ගෝත්‍ර සංඛ්‍යාවකට බෙදා ලීය.

ප්‍රංස උද්භිදවිද්‍යාඥ ද ෂුස්ය (de Jussieu, 1748-1836) කිට්ටු නෑ සබඳකම් ඇතැයි තමා සැලකූ ගණ එක්තැන් කොට අද අප කුල වශයෙන් හඳුන්වන ශාක සමූහයන් සමහරක් ප්‍රතිෂ්ඨාපනය කෙළේය.

ශාක සන්තතියට අයත් ශාක සමාන ලක්ෂණ දක්වන ශාක ඇතුළත් ‘ස්වාභාවික’ සමූහවලට බෙදුණු බව බොහෝ කලක සිට ම අවබෝධ කොටගෙන තිබිණි. නිදසුනක් වශයෙන් දක්වතොත්, ඒකබීජ පත්‍රිකයන්ගේ සමජාතීයභාවයත් ද්විබීජ පත්‍රිකයන්ගේ සමජාතීයභාවයත් ජෝන් රේ හඳුනාගත්තේය. මෙබඳු විශාල ශාක සමූහ අතර වෙනස සෑහෙන තරම් පැහැදිලි වුව ද ඊට කුඩා ශාක සමූහ අතර වෙනස එතරම් පැහැදිලි නොවීය. කෙසේ වෙතත් නිවැරැදි ‘ස්වාභාවික’ වර්ගීකරණ ක්‍රමයක් ඇති කිරීම අරභයා ප්‍රයත්න දැරිය හැකි වූයේ 1859 දී ඩාවින් විසින් ඓන්ද්‍රීය පරිණාමවාදය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසුවය. පරිණාමය හා විකරණ සහිත පරම්පරාව පිළිබඳ අදහස් උද්භිද විද්‍යාත්මක චින්තනයෙහි ලා විශාල ලෙස බලපෑවේය. ශාක සන්තතියට අයත් පහත් ම ශාකයේ පටන් උසස් ම ශාකය දක්වා වූ සියලු ම ශාක එකිනෙක හා ඒ ඒ තරමින් නෑසබඳකම් ඇති ශාක විශේෂ සහිතව, අවිච්ඡින්නව පැවැත ඒම පිළිබඳ මතය පහළ වූයේ ඒ හේතුවෙනි.

මේ නෑ සබඳකම් තෝරා බේරා නිරවුල් කර ගැනීම සඳහාත් පොදු වංශ පරම්පරාවක පැහැදිලි ලකුණු දරන ශාක එකට සමූහගත කිරීම සඳහාත් ඒවා යළි පොදු වංශ පරම්පරාගත ලකුණු දරන වඩාත් උසස් සමූහ වශයෙන් එක්තැන් කිරීම සඳහාත් යනාදි වශයෙන් නොයෙක් ප්‍රයත්න දරන ලදි. එබඳු ‘ස්වාභාවික’ වර්ගීකරණ ක්‍රම කීපයක් යෝජනා කරනු ලැබ දැන් භාවිතයෙහි පවතී (ශාක වර්ගීකරණය බ.).

මෙසේ වර්ණනාත්මක උද්භිද විද්‍යාව හා ශාක වර්ගීකරණය ග්‍රීක සමය තෙක් විහිදී යන දීර්ඝ ඉතිහාසයක් ඇති විද්‍යාවෝයි. මේ දෙකේ දියුණුවක් දකින තුරු උද්භිද විද්‍යාවේ අනෙක් ශාඛාවන්ගේ වර්ධනයක් කිසිසේත් අපේක්ෂා කට නොහැකි විය. එක් එක් ශාඛාව පිළිබඳ අධ්‍යයනයන්ගෙන් වෙනත් වෙනත් ශාඛාවන්ට මඟ පෑදිණ. නිදසුනක් දක්වතොත් ස්වරූපය නිවැරැදි ලෙස විස්තර කිරීම වර්ගීකරණයට අයත් කාර්යයක් විය. හුදෙක් ස්වරූපය අරභයා ම ස්වරූපය හැදෑරීමට මඟ මෙයින් සැලසිණි. ශාක ස්වරූපය පිළිබඳ අධ්‍යයනය ශාක රූපවිද්‍යාව නමින් දන්නා ලැබේ. (ශාක රූපවිද්‍යාව බ.). ශාක දේහයේ සංවිධානය හා ස්වරූපය පිළිබඳ අධ්‍යයනයත් විවිධ ශාක සමූහයන්ගේ ස්වරූපය සම්බන්ධ තුලනාත්මක අධ්‍යයනයත් මෙම විද්‍යාවේ පරමාර්ථයය. මෙහිලා ශාකවල බාහ්‍ය ස්වරූපය පිළිබඳ අධ්‍යයනය මෙන් ම ආභ්‍යන්තරික ව්‍යූහය පිළිබඳ අධ්‍යයනයද ඊට ඇතුළත් වෙයි. මෙසේ, ආභ්‍යන්තරික ව්‍යූහය විස්තර කරන ව්‍යවච්ඡේදය (ශාක ව්‍යවච්ඡේදය බ.), සෛල පිළිබඳ අධ්‍යයනය වන සෛල විද්‍යාව (ශාක සෛල විද්‍යාව බ.), එක් එක් ශාකයේ වර්ධනය පිළිබඳ අධ්‍යයනය වන ශාක කලල විද්‍යාව (බ.) සහ ස්වරූපය හා ව්‍යූහය නිර්ණය කිරීම පිළිබඳ අධ්‍යයනය වන රූප ජනනය (ශාක රූප ජනනය බ.) ද ශාක රූප විද්‍යාවෙහි අන්තර්ගත වෙයි.

ශාක රූප විද්‍යාවටත් ව්‍යවච්ඡේදයටත් පදනම වැටුණේ තියො‍ෆ්රැස්ටස් විසින් තමන් විමර්ශනය කළ ශාකයන්ගේ බාහ්‍ය ව්‍යුහය හා දළ අභ්‍යන්තරික ව්‍යූහය විස්තර කරනු ලැබූ කල්හිය. 16 වැනි ශතවර්ෂයේ ඇතැම් උද්භිද විද්‍යාඥයෝ ද ශාකයන්ගේ ආභ්‍යන්තරික ව්‍යූහය අධ්‍යයනය කළහ. එහෙත් ආභ්‍යන්තරික ව්‍යූහයේ සියුම් විස්තර හැදෑරිය හැකි වූයේ කාච භාවිතයත් අණ්වීක්ෂයේ වර්ධනයත් ඇති වූවාට පසුව පමණකි. රොබට් හුක් (1635-1703) අණ්වීක්ෂයේ ආදි මෝස්තරයක් උපයෝගී කොටගෙන වල්ක, අඟුරු හා අන් ශාක කොටස්වලින් ගත් තුනී කැබැලි තුළ වූ සෛල දුටුවේය.

එංගලන්තයේ නෙහිමායා ග්රූ (1628-1711) හා ඉතාලියේ මාචෙලෝ මාල්පීගි (1628-1684) ශාකයන්ගේ ආභ්‍යන්තරික ව්‍යූහය පිළිබඳව සවිස්තර අධ්‍යයනයක් කළහ. විවිධ ශාක සමූහයන් සම්බන්ධයෙන් තුලනාත්මක හා අභිවර්ධනාත්මක අධ්‍යයනයන් කළ පශ්චාත්කාලීන ව්‍යවච්ඡේද විද්‍යාඥයන් විසින් තවදුරටත් කරන ලද පර්යේෂණ කටයුතුවලට ඔවුන්ගේ පර්යේෂණ අඩිතාලම විය. සංයුක්ත අණ්වීක්ෂය නිපදවීමත් එහි වැඩිදුර වර්ධනයත් නිසා ශාකයන්ගේ ආභ්‍යන්තරික ව්‍යූහය පිළිබඳව වඩාත් නිවැරැදි අධ්‍යයනයන් පැවැත්වීමට පිළිවන් විය. 1839 දී ෂ්ලයිඩන් සහ ෂ්වාන් විසින් ඉදිරිපත් කරන ලද සෛලවාදයට, එනම් ශාකයන්ගේ මෙන් ම සත්වයන්ගේත් ව්‍යූහයේ ඒකකය සෛලයයි යන වාදයට මෙන් ම සෛල විද්‍යාවේ හා පටක විද්‍යාවේ වර්ධනයට ද මඟ පෙන්වූයේ ඒ අධ්‍යයනයයි. සෛලවිද්‍යාවත් උරුමය හෙවත් ප්‍රවේණිය, එනම් පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සංක්‍රමණය වීම පිළිබඳ අධ්‍යයනය වන ප්‍රවේණි විද්‍යාවත් (ප්‍රවේණි විද්‍යාව බ.) අතර සමීප සම්බන්ධයක් පවතී. වර්තමානයෙහි මේ විද්‍යාවන් දෙක ශීඝ්‍ර ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පවතී. දැන් අවධාරණය සෛල මට්ටමෙන් අණුක මට්ටමට මාරු වී ඇත. මෙහි දී එම විද්‍යාවන්ගේ අධ්‍යයනයට ජෛව රසායන විද්‍යාවත් කායික විද්‍යාවත් අදාළ වෙයි (ජීව විද්‍යාව, අණුක බ.).

ශාකයන්ගේ කෘත්‍යයන්, එනම් ශාක ජීවිතය නඩත්තු කරන විවිධ ක්‍රියාවලීන්, පිළිබඳ අධ්‍යයනය ශාක කායික විද්‍යාව නම් වේ (ශාක කායික විද්‍යාව බ.). මේ විද්‍යාව වර්ධනය කළ හැකි වූයේ පදාර්ථය හා ශක්තිය පිළිබඳවත් ඒවායේ ඇති වන වෙනස්වීම් පිළිබඳවත් අවබෝධයක් ලබා දුන් භෞතික විද්‍යාවන්ගේ වර්ධනය පිහිට කොට ගෙනය. ආදි උද්භිද විද්‍යාඥයෝ ශාකයන්ගේ කෘත්‍යයන් හා ශාකයන් තුළ ඇති වන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් යම් යම් මත ඉදිරිපත් කළහ. එහෙත් ඊට අදාළ භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පිළිබඳ දැනීමක් මත නොපිහිටීම හේතුකොටගෙන බෙහෙවින් ම එම මත මතිමාත්‍ර වූවා පමණක් නොව සාවද්‍ය ද විය.

ස්ටීවන් හේල්ස් (1677-1761) ශාකයන්ගේ නොයෙක් කායික ක්‍රියාවලීන් මැනීමට ප්‍රථම වරට උපකරණ භාවිත කෙළේය. හේ ශාකයන් ඔස්සේ ද්‍රව ගමන් කරන අයුරු පිළිබඳව ද ශාකයන්ගේ පෝෂණය පිළිබඳව ද අධ්‍යයනය කෙළේය. 1774 දී ප්‍රිස්ට්ලි විසින් ඔක්සිජන් සොයාගනු ලැබීම නිසා ශාකයන් තුළ කාබන් ඩයොක්සයිඩ් හා ජලය කෙරෙන් ආහාර ප්‍රභාසංශ්ලේෂණය වීම හැදෑරීමට පිළිවන් විය. ඉංගන්-හවුස් (1730-1799) ශාකවල පවත්නා කාබන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් කෙරෙන් ලැබුණු බව පෙන්වා දුන්නේය. පදාර්ථය හා ශක්තිය අතර සම්බන්ධය පිළිබඳ දැනීම නිසා ශ්වසනය ගැන අවබෝධයක් ලබා ගැනීමට මං සැලසිණි. වායු සහ ද්‍රාවණ පිළිබඳ චාලකවාදය හේතුකොටගෙන ශාකයන් මුල් මගින් ජලය අවශෝෂණය කරගැනීම සම්බන්ධයෙන් අවබෝධයක් ලැබිණි.

රසායන විද්‍යාව හා ජෛවරසායන විද්‍යාව සම්බන්ධයෙන් මෑත දී ඇති වූ දියුණුව කරණකොටගෙන ශාකයන්ගේ ජීවන ක්‍රියාවලීන් පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමට පහසුකම් සැලැසිණි. වර්තමානයෙහි ශාක කායිකවිද්‍යාව වූකලි ඉතා වැදගත් වූත් ඉතා සිත් ගන්නාසුලු වූත් උද්භිද විද්‍යා අංශයකි; එමෙන් ම බෙහෙවින් දියුණුවට පත්වෙමින් පවත්නා විද්‍යා අංශයක් ද වෙයි.

ශාක හා ඒවායේ පරිසරය අතර පවත්නා සබඳකම් ශාක පරිසර විද්‍යාවෙන් විස්තර වේ. ශාක වාතයෙන් (හෝ ජලයෙන්) වට වී, පොදුවේ අන් ශාක හා සත්වයන් ද ඇසුරුකරමින් පස තුළ (හෝ ජලයෙහි) මුල් ඇද වැඩෙන බැවින් පස, දේශගුණ තත්ත්වයන් හා අන් සජීව වස්තූන් යන පරිසරයේ නොයෙක් සාධක ඒවායේ වැඩීමට හා පැවැත්මට හේතුභූත වෙතැයි අපේක්ෂා කිරීම ස්වාභාවිකය. මෙම සම්බන්ධතාවන් මෙන් ම ශාකයන් ඒවායේ පරිසරයන් විෂයයෙහි ප්‍රතික්‍රියා කිරීමට සමත් කරවන ශාක ව්‍යූහය හා කෘත්‍යය පිළිබඳ විකරණ ද පරිසර විද්‍යාව මගින් විස්තර වේ. මෙපරිද්දෙන් ඊට ශාකයන්ගේ බාහ්‍ය හා ආභ්‍යන්තරික ව්‍යූහය, ශාක කායික විද්‍යාව, දේශගුණ විද්‍යාව, පාංශු විද්‍යාව හා භූගර්භ විද්‍යාව ද අදාළ වේ (ශාක පරිසර විද්‍යාව බ.).

ශාක භූගෝල විද්‍යාව ශාකයන්ගේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය නිර්ණය කරන සාධකයන් විෂය ක්ෂේත්‍ර කොට ඇත. එකිනෙකින් බොහෝ ඈත්ව පිහිටි ප්‍රදේශවල සමාන ශාක සමූහයන් ඇතිවීම ද ඇතැම් ශාක සමූහයන්ගේ පෘථුල ව්‍යාප්තිය හා අන් සමූහයන්ගේ මන්ද ව්‍යාප්තිය වැනි ප්‍රශ්න ද ඉන් විස්තර වේ. එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමෙහි ලා ශාක පරිසර විද්‍යාව හා වර්ගීකරණය ද භූගෝල විද්‍යාව හා භූගර්භ විද්‍යාව ද උපයෝගී වේ (ශාක භූගෝල විද්‍යාව බ.).

කලෙක විද්‍යමානව තිබුණු නමුදු තවදුරටත් විද්‍යමාන නොවන ශාක පිළිබඳව කාල වශයෙන් ශාකයන්ගේ ව්‍යාප්තිය අධ්‍යයනය කිරීම පුරා උද්භිද විද්‍යාවයි. මෙහි ලා වැඩි කොට ම සලකා බැලෙන්නේ පාෂාණිභූත ශාකාවශිෂ්ටය. මෙය ශාක වර්ගීකරණය, රූප විද්‍යාව, භූගර්භ විද්‍යාව සහ පරිණාමය පිළිබඳ අධ්‍යයනය හා සමඟ බැඳී පවතී (පුරා උද්භිද විද්‍යාව බ.).

වැඩි කොට ම සෛද්ධාන්තික වූ මෙම උද්භිදාංශ කෙරෙන් මානව ජීවිතයට හා ශුභ සිද්ධියට ඉතා වැදගත් වූ ව්‍යවහාරික විද්‍යා සංඛ්‍යාවක් විකාසයට පත්ව තිබේ. මේ විද්‍යා මානව ජීවිතයට ඉඳුරා අදාළ වන්නාවූ ශාක පිළිබඳ ප්‍රායෝගික අංග හා සම්බන්ධය. අපගේ ඇඳුම්, ඖෂධ වර්ග, කාර්මික අමු ද්‍රව්‍ය සහ අන් බොහෝ ප්‍රයෝජනවත් දෑ අතුරෙන් බොහොමයක් මෙන් ම මිනිසා විසින් පරිභෝග කරනු ලබන සියලු ම ආහාර හා පාන වර්ග ද මොනයම් ආකාරයකින් හෝ ශාක කෙරෙන් ලැබීම හේතුකොටගෙන එම විද්‍යාවෝ වැදගත් වෙති.

එවැනි විද්‍යා වූකලි මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ශාක හා ඒවායින් ගනු ලබන ප්‍රයෝජන විස්තර කරන ආර්ථික උද්භිද විද්‍යාව ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය පිළිබඳ විද්‍යාව වන සස්‍ය විද්‍යාව (බ.), පාංශු විද්‍යාව (බ.), පලතුරු එළවළු හා අලංකාර බෝග ශාක පිළිබඳ අධ්‍යයනය වන උද්‍යාන කර්මය (බ.), වනාන්තර සහ ඒවායේ පරිපාලනය විස්තර කරන වන විද්‍යාව (බ.), ශාකයන්ගේ රෝග ද ඒවාට ප්‍රතිකාර කිරීම හා මර්දනය කිරීම ද විස්තර කරන ශාක ව්‍යාධි විද්‍යාව (බ.) ද වේ.

බැක්ටීරියාවේදය, භිෂග්වේදය, වෛද්‍යකර්මය හා මහජන සෞඛ්‍ය කටයුතු බඳු අන් විද්‍යාවන් ද උද්භිද විද්‍යාවට අදාළ වන නමුදු ඒ එතරම් ඍජු අයුරකින් නොවේ.

මෙපරිද්දෙන් උද්භිද විද්‍යාව පිළිබඳ දැනීම ශාක සහ ශාක නිෂ්පාදිත හා සම්බන්ධ වූ ව්‍යවහාරික විද්‍යාවන්ගේ පදනමව පවත්නා අතර එම විද්‍යාවන් හැදෑරීම සඳහා උද්භිද විද්‍යා අධ්‍යයනය ආවශ්‍යක ද වෙයි.

මෙකී ව්‍යවහාරික විද්‍යාවන් සම්බන්ධයෙන් උද්භිද විද්‍යාවේ ඇති අගය හැරුණු විට ඒ පිළිබඳ අධ්‍යයනය අන් අයුරින් ද ප්‍රයෝජනවත් වේ. මානව වර්ගයා මෙන් ම අන් සත්ව වර්ග ද හුදෙක් ස්වකීය දිවි පැවැත්ම පිණිස ම වුව ද හරිත ශාකවලට ණය ගැති වෙති. සියලු සත්වයන් විසින් පරිභෝග කරනු ලබන ආහාර මොනයම් විදියකින් හෝ ඒවා මගින් සංශ්ලේෂණය වේ. ඒවා සත්වයන් ආශ්වාස කරන ඔක්සිජන්වල මූලික ප්‍රභවස්ථානය ද වෙයි. තවද වනාන්තර, උයන් හා වතු මගින් මිනිසාට විශ්‍රාමය හා විනෝදය ලබා දෙනු හැරුණු විට ශාකයෝ මිනිසාගේ පරිසරයේ ඉතා සුලභ වූ ද ඉතා ප්‍රකට වූ ද වස්තූහු වෙති. එබැවින් ශාකයන් ද ඒවායේ ස්වරූප, ජීවිත හා ඒවා තුළ සිදු වන ක්‍රියාවලීන් ද පිළිබඳව අධ්‍යයනයක් කිරීමෙන් මිනිසකුගේ දැනීම හා අධ්‍යාපනය පොහොසත් වේ. ශාක පිළිබඳ අධ්‍යයනය මිනිසාට අවට සජීවී ලෝකය හා තමා අතර අන්‍යෝන්‍ය සම්බන්ධය පිළිබඳ යථාවබෝධය ඇති කරවන ජීව විද්‍යාවේ අංශයක් ද වෙයි.

(කර්තෘ: ඇම්.ඩී. දසනායක)

ආයුර්වේදීය

උද්භිද (ශාක) පිළිබඳ විස්තර විභාග ආයුර්වේදයේ ප්‍රධාන අංගයකි. එය ද්‍රව්‍ය විඥාන සංඛ්‍යාත කොටසට අයත්ය. ආහාර සහ ඖෂධ වශයෙන් ව්‍යවහාර වන ද්‍රව්‍යයන්ගේ ගුණ විනිශ්චය හෙවත් යම් ආහාරයක් හෝ ඔසුවක් කෙතරම් පුෂ්ටිකර ද, වාතාදී කිනම් දෝෂයක් ශමනය කෙරේ ද, කිනම් රෝගයක් නසා ද, කවර ඖෂධයක් ශරීරයේ කිනම් යන්ත්‍රයක් කෙරෙහි කෙසේ ක්‍රියා කෙරේ ද, කුමන රෝගයක් සම්බන්ධයෙන් කෙබඳු විශේෂ ප්‍රභාවයක් පළ කෙරේ ද යනාදි කරුණු ද්‍රව්‍ය විඥානයෙහි ඇතුළත්ය.

ලෝකයෙහි ඇති සියලු තෘණ, ගුල්ම, වෘක්ෂලතා ආදීන්ගේ ජාති බෙදා වර්ග කිරීම, ඒවායේ අවයව නම් කිරීම, ඒවායේ උත්පත්තිය හා පෝෂණ විධි හැඳින්වීම, පාර්ථව, ආප්‍ය, ආග්නේය, වායව්‍ය හා ආකාශාත්මක වශයෙන් ද්‍රව්‍යයන් වෙන් කිරීම හා ඒවායින් කැරෙන පෝෂණ, ශෝෂණ, රෝපණ, ශෝධන, ලේඛනාදි කර්ම, දෝෂ ශමනය, රෝගනාශක ශක්තිය ආදිය නිර්ණය කිරීම, ඕෂධී සමූහයාගේ නාමරූප විඥානය හා ද්‍රව්‍යගත රස, ගුණ, වීර්යය, විපාක, ප්‍රභාව දැක්වීම ආදි කරුණු ආයුර්වේදීය උද්භිද විද්‍යාවට විෂය වී ඇත.

වනස්පති, වීරුධ් වානස්පත්‍ය (වෘක්ෂ), උද්භිද් (ඕෂධී) යයි ඖද්භිද ද්‍රව්‍යයෝ චතුර්විධ වෙත්. ඔවුනතුරෙන් මල් නැතිව ඵල හටගන්නා වෘක්ෂයෝ වනස්පති නම් වෙත්. පුලිල, දිඹුල් ආදිය මේ ගණයට අයිතිය. පඳුරු (ලතා ගුල්මාදිය) සහිත වූයේ වීරුධ්ය. කිරිබදු, එරමිණියා, සිවිය ආදිය මේ ගණයට අයිතිය. මල් හටගැනී පසුව ඵල දරන්නේ වානස්පත්‍යයි. අඹ, දඹ, බෙලි ආදිය මේ කොටසට අයිතිය. ගෙඩි හටගත් පසු නැසෙන්නේ උද්භිද් නම් වේ. ගොයම්, තිරිඟු, කෙසෙල් ආදිය මීට අයිතිය. උද්භිද ද්‍රව්‍යයන්ගේ මුල්, පොතු, අරටු, දුම්මල ආදි මැලියම්, නාල (දඬු), ස්වරසය, ළපටි දළු, ක්ෂාර, කිරි හෝ කිරි වැනි මැලියම්, ගෙඩි, මල්, අළු, තෙල්, කටු, කොළ, කරටි, අල, අංකුර (මොටියෝ) යන මේවා ඖෂධ සඳහා නියමිතය. මීට අනතුරුව ඖද්භිද ද්‍රව්‍යයන් අතුරෙන් මූල ප්‍රධාන ඖෂධ වර්ග සොළසක් ද ඵල ප්‍රධාන උද්භිද එකුන් විස්සක් ද ශෝධන කර්මය සඳහා ගැනෙන ෂඩ්විධ වෘක්ෂ ද චරක සංහිතාවෙන් විස්තර වේ. මින් සමහරක් සුශ්‍රැත සංහිතාවේ සහ අෂ්ටාංගහෘදය සංහිතාවේ ද ඇතුළත්ය. චරක සංහිතාවේ සූත්‍ර ස්ථානයේ සතරවන අධ්‍යායයෙහි මහා කෂාය පනසකැයි දක්වා ආයුවර්ධක, පුෂ්ටිකාරක, මලවිරේචක, විෂනාශක ආදි වශයෙන් විවිධ ඖෂධ වර්ග දශයකට බෙදා තිබේ.

සංහිතා ග්‍රන්ථයන්හි සැකෙවින් දැක්වූ ආයුර්වේදීය උද්භිද විද්‍යාවට ආලෝකයක් වෘක්ෂායුර්වේදයෙන් ලැබේ. මෙකල බෙහෙවින් අභාවය කරා ළඟා වී ඇති මේ ශාස්ත්‍රය පිළිබඳව ශාර්ඞ්ගධරයන්ගේ උපවන විනෝදය, වරාහමිහිරාචාර්‍ය්‍යවරයාගේ වෘහත්සංහිතාව සහ සෝමේශ්වර රජුගේ අභිලෂිතාර්ථ චින්තාමණි ආදි ග්‍රන්ථවලින් තරමක් දුරට විස්තර වේ. වෘක්ෂලතාදිය රෝපණය සඳහා පෘථිව්‍යාදි ගුණ බහුල භූමි තෝරාගැනීම, ඒවා සකස් කිරීම, බීජ, කාණ්ඩ, කන්ද සංඛ්‍යාත තෙවැදෑරුම් රෝපණ, බීජෝපචාර, බීජවාපනරෝපණයන්ට ශුභ නැකත්, පැළ කිරීමට දුෂ්කර බීජ වර්ග පැළ කරවීමේ උපාය, පැළ සිටුවීම, ජලසේවනය, පෝෂණ විධි, ගෘහයට නුදුරුව වැඩිය යුතු වෘක්ෂලතාදිය, ඒ ඒ දිශාවන්හි වැවිය යුතු ගස්, අකුණු වැදීමෙන් ද විෂවලින් ද වර්ෂාවෙන් ද හිමපතනයෙන් ද ගල් වැසි සහිත කුණාටුවලින් ද කීටාදීන්ගෙන් ද වෘක්ෂලතාදිය ආරක්ෂා කිරීම, වෘක්ෂලතාදියට වැලඳෙන රෝග හා ඒවාට කළ යුතු ප්‍රතිකාර ආදිය පිළිබඳ උපදෙස් යථෝක්ත ග්‍රන්ථවල දැක්වෙන කරුණුවලින් සමහරකි.

වෘක්ෂලතාදියෙහි ඇතුළත් විශේෂ පෝෂ්‍ය ද්‍රවද්‍රව්‍යයන් යෙදීමෙන් කළ හැකිය යෙන විචිත්‍රීකරණය අතිශයින් විස්මයජනකය. කදලිවෘක්ෂයෙහි දෙළුම් හෝ අඹ හට ගැන්වීමටත් නිර්ගන්ධ පුෂ්පයන් හටගන්නා ගස්වල සුගන්ධ පුෂ්පයන් හටගැන්වීමටත් කපුගසක ගිනිදැල් වර්ණයට හෝ ගිරාවර්ණයට හෝ නීලවර්ණයට පුළුන් හටගැන්වීමටත් ඇට සහිත ඵලදරන වෘක්ෂයක ඇට විරහිත ඵල හටගැන්වීමටත්, වරක් හටගත් ඵල අවුරුද්දක් ගත වන තුරු නොවරා වෘක්ෂයෙහි ම තිබෙන්නට සැලැස්වීමටත් යෙදිය යුතු පෝෂ්‍ය ද්‍රව්‍යයන් හා කළ යුතු උපචාර රාශියක් වෘක්ෂායුර්වේදයෙහි ඇතුළත්ය.

මනුෂ්‍යයන්ට මෙන් වෘක්ෂයන්ට ද වා පිත් සෙම් යන දෝෂයන්ගෙන් රෝග හටගන්නා බව වෘක්ෂායුර්වේදයෙන් පැවැසේ. කෘශ වීම, දීර්ඝ වීම, ලඝු වීම, රූක්ෂ වීම, නිද්‍රාහීන වීම ආදි ලක්ෂණ වාතප්‍රකෘති වෘක්ෂයන් කෙරෙහි වේ. ඒ හේතු කොටගෙන ඵල පුෂ්පයන්ගේ හට ගැනීමක් නොවේ. ආතපාසහනය (අව්ව ඉවසා දරාගත නොහැකිවීම), පාණ්ඩුවර්ණය, ශාඛා හීනවීම, අකාල ඵල හටගැනීම, කෘශබව යන ලක්ෂණ පිත්ත ප්‍රකෘති වෘක්ෂයන් කෙරෙහි වේ. ශාඛා හා පත්‍රයන් ස්නිග්ධ වීම, අතුවල ඵල පුෂ්ප හටනොගැනීම, ලතාවක් මෙන් මණ්ඩලාකාරයෙන් විහිදෙන ශාඛා විටප ඇතිවීම කඵාත්මක වෘක්ෂයන් කෙරෙහි වේ. මේ අනුව දෝෂ තත්ත්වයන් දැන ඒවා ශමනය වීමට කළ යුතු ප්‍රතිකාරත් කිසියම් දෝෂයකින් තොරව අංකුර පුෂ්ප මලානිකභාවයට පැමිණ වෘක්ෂයෙහි වැඩීමක් නොමැතිව පවතී නම් එහි මුල කෘමීන්ගෙන් හානි වී ඇති බැව් දැන කෘමීන් උපුටා දමා කළ යුතු ප්‍රතිකාරත් උන්නිද්‍රතාව, මත්ස්‍යගන්ධය වහනය වීම, අංකුර හා පල්ලව හානිය, කුහුඹුවන් ගැවසීම යන ලකුණු ඇති වූ විට ගසෙහි පොතු පැළී දියර ගැලීම හේතුකොටගෙන හටගත් අජීර්ණයක් ඇති බව දැන ඊට කළයුතු ප්‍රතිකාරත් වෙන් වෙන්ව දක්වා ඇත. මෙපරිදි උද්භිද විද්‍යාවට අදාළ කරුණු සම්බන්ධයෙන් වෘක්ෂායුර්වේදයෙහි දැක්වෙනුයේ සැලකිය යුතු විස්තරයකි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උද්භිද_විද්‍යාව&oldid=9185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි