ෆ්පාන්ට ඖගුස්ට් ආරේනියස්
(1859 – 1927). ස්වීඩන් ජාතික ආරේනියස් (ආහීනියස්) භෞතික රසායන විද්‍යාව නම් වූ නවීන විද්‍යාවේ මුල් පදනම දැමූ විද්‍යාඥයන්ගෙන් කෙනෙකි. හේ තමා විසින් ඉදිරිපත් කරන ලද විද්‍යුත් විච්ඡේද්‍ය විඝටනවාදය නිමිත්තෙන් රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත්තේය.
ආරේනියස් උපන්නේ 1859 පෙබරවාරි 19 වැනි දා ස්වීඩන් රටේ අප්සාලා නගරයට නුදුරු වයික් නම් ගමේ දීය. කුඩාකල සිට ම ගණිත විෂයයෙහි සාමර්ථ්‍යයක් දැක්වූ හේ අප්සාලාහි පාසල් කීපයකින් ම මූලික අධ්‍යාපනය ලබා සතළොස් හැවිරිදි වියේ දී අප්සාලා විශ්වවිද්‍යාලයට ඇතුළු විය. එහි දී විශේෂයෙන් භෞතික විද්‍යාව හදාරා 1881 දී උපාධි ධාරියෙක් වූයේ ය. විද්‍යුත් විච්ඡේද්‍යයන්ගේ විද්‍යුත් සන්නායකතාව පිළිබඳ පර්යෙෂණ" නම් වූ නිබන්ධය D. Sc. උපාධිය සඳහා ඉදිරිපත් කිරීමෙන් 1884 දී එම උපාධිය ඔහුට හිමි විය. 1903 දී රසායන විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමුණු නොබෙල් ත්‍යාගය දිනාගත්තේ එම නිබන්ධය ම වැඩි දියුණු කර ඉදිරිපත් කිරීමෙනි. කොටස් දෙකකින් යුත් මේ නිබන්ධයේ ප්‍රථම කොටසෙහි විස්තර කොට ඇත්තේ අතිශයින් ජල මිශ්‍රිත ද්‍රාවණයන්හි විද්‍යුත් සන්නායකතාව පරීක්ෂණාත්මක ලෙස නියම කර ගැනීමය. දෙවෙනි කොටසෙහි විද්‍යුත් විච්ඡේද්‍ය සන්නායකතාව පිළිබඳ ඔහුගේ අදහස් විස්තර කර ඇත. විද්‍යුත් විච්ඡේද්‍ය විඝටනය පිළිබඳ ආරේනියස් වාදය (Arrhenius' 'Theory of Electrolytic Dissociation) මේ දෙවෙනි කොටසෙහි පහදා දී තිබේ.
ආරේනියස් මිතුරුකමට ළැදි වූ පුද්ගලයෙක් විය. එකල සිටි කීර්තිමත් විද්‍යාඥයන් සියලු දෙනා ම පාහේ ඔහුගේ මිත්‍රයෝ වූහ. ජීවීන් සම්බන්ධ රසායනය පිළිබඳ කරුණු ද පරීක්ෂා කළ ඔහු නොයෙක් විෂයයන් ගැන සැලකිල්ලක් දැක්වූයේය. හේ රීගාහි ප්‍රධාන පන්තියේ භෞතික රසායන විද්‍යාඥයකුව සිටි විල්හෙල්ම් ඔස්ට්වෝල්ඩ්ගේ ඇසුරට පැමිණියේය. ආරේනියස්ගේ පර්යේෂණ කටයුතුවලට ඔස්ට්වෝල්ඩ් බෙහෙවින් අනුබල දුන්නේය.
ආරේනියස් 1887 සිට 1902 දක්වා ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂධුරය දැරීය. 1891 සිට 1895 දක්වා එහි කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළ ඔහුට 1905 දී ස්ටොක්හෝම් නගරයට නුදුරු ස්ථානයක පිහිටි නොබෙල්ගේ භෞතික රසායන විද්‍යා ආයතනයෙහි අධ්‍යක්ෂ ධුරය පිරිනමන ලදි. හෙතෙම අවුරුදු 22 ක් පමණ, එනම් මරුමුවට පත්වන තුරු ම, මෙම පදවිය දැරුවේය. ආරේනියස් 1927 ඔක්තෝබර් මස දෙවෙනි දා කලුරිය කෙළේය.
(සංස්කරණය: 1965)