අකථහ චක්‍රය.

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
18.jpg
මෙය යම්කිසි මන්ත්‍රයක් ජප කරන්නට පෙර එයින් ඇතිවන ඉෂ්ටානිෂ්ට ඵල නිගමනය කර ගැනීමට ඉවහල් වන චක්‍රයෙකි. ශිෂ්‍යයන්ට මන්ත්‍ර ඉගැන්වීමේ දී ඔවුන්ගේ යහපතට අදාළ වන මන්ත්‍ර තෝරා ගැනීම පිණිස ද ඉෂ්ටානිෂ්ට කාව්‍ය බන්ධනය පිණිස ද මේ චක්‍රය ඉවහල් වේ. චක්‍රයෙහි පළමුවන කොටුවේ ඇතුළත් අ, ක, ථ, හ යන අකුරු සතර මුල්කොට ගෙන මේ චක්‍රයට 'අකථහ' යන නම යොදා තිබේ. 'සිද්ධි චක්‍ර' යනු ද මීට නමෙකි. චක්‍ර නිර්මාණය මෙසේය:- දිගට රේඛා පසක් ද හරහට රේඛා පසක් ද ඇඳීමෙන් කොටු සොළසකින් යුත් චක්‍රයක් සෑදෙයි.

මේ කොටුවල අකාරය පටන් හකාරය අන්ත කොට ඇති අක්ෂර ලිවිය යුතුයි. ප්‍රධාන කොටු සතර පැහැදිලි ලෙස වෙන්කර ගැනීමට චක්‍රය මැදින් දිගට හා හරහට ගැසූ රේඛා ස්ථූල කර ගත යුතුයි. මන්ත්‍රය ජප කරන්නාගේ හෝ මන්ත්‍රය ඉගෙන ගන්ට අදහස් කරන ශිෂ්‍යයාගේ නාමයේ මුලකුර පිහිටි කොටුව සිද්ධසිද්ධ නම් වේ. එම ප්‍රධාන කොටුව තුළ ඇති අනිකුත් කොටු තුන සිද්ධසාධ්‍ය, සිද්ධසුසිද්ධ හා සිද්ධඅරි නම් වේ. ඊළඟ ප්‍රධාන කොටුව තුළ ඇති කුඩා කොටු සතර සාධ්‍යසිද්ධ, සාධ්‍යසාධ්‍ය, සාධ්‍යසුසිද්ධ, සාධ්‍යඅරි යන නම්වලින් ද ඊට යාබද ප්‍රධාන කොටුවේ ඇති කුඩා කොටු හතර සුසිද්ධසිද්ධ, සුසිද්ධසාධ්‍ය, සුසිද්ධසුසිද්ධ, සුසිද්ධඅරි යන නම්වලින් ද ඊළඟ ප්‍රධාන කොටුවේ කුඩා කොටු හතර අරිසිද්ධ, අරිසාධ්‍ය, අරිසුසිද්ධ, අරිඅරි යන නම්වලින් ද හැඳින්වේ. නාමයෙහි මුලකුර පිහිටි කොටුවේ ම මන්ත්‍රයාගේ මුලකුර වී නම් ඒ මන්ත්‍රය සිද්ධසිද්ධයි. ඉදින් ඊළඟ කුඩා කොටුවේ මන්ත්‍රාක්ෂරය වී නම් සිද්ධසාධ්‍යයි. තුන්වන කුඩා කොටුවේ මන්ත්‍රාක්ෂරය වී නම් සිද්ධසුසිද්ධයි. සිව්වන කුඩා කොටුවේ මන්ත්‍රාක්ෂරය වී නම් ඒ මන්ත්‍රය සිද්ධඅරි නම් වේ. ඉදින් ඊළඟ ප්‍රධාන කොටුවට අයත් කුඩා කොටු හතරෙන් නාමයෙහි මුලකුර පිහිටි කොටුවට සරිලන කොටුවෙහි මන්ත්‍රාක්ෂරය වී නම් ඒ මන්ත්‍රය සාධ්‍යසිද්ධයි. මෙපරිද්දෙන් අනිකුත් කොටු ගැන ද සිතිය යුතුයි.

නිදර්ශනයක්:- මන්ත්‍රය ජපකරන්නට අදහස් කරන්නාගේ හෝ මන්ත්‍රය ඉගෙනීමට අදහස් කරන ශිෂ්‍යයාගේ නාමය'පද්මනාභ' යයි ද මන්ත්‍රයෙහි මුලකුර හකාරය යයි ද සැලකූ විට නාමයේ මුලකුර වූ ප යන්න උ, ඞ, ප යන අකුරු පිහිටි කොටුවේ බැවින් එම කොටුව සිද්ධසිද්ධයි. ඏ, ඣ, ම යන අකුරු පිහිටි කොටුව සිද්ධසාධ්‍යයි. ඔ, ඩ, ව යන අකුරු පිහිටි කොටුව සිද්ධසුසිද්ධයි. අ, ක, ථ, හ යන අකුරු සහිත මන්ත්‍රයේ මුලකුර (හ) පිහිටි කොටුව සිද්ධඅරියි. එබැවින් ඒ මන්ත්‍රය සිද්ධඅරි සංඛ්‍යාවට වැටේ. මේ අනුව ඉදින් මන්ත්‍රයේ මුලකුර ෂ කාරය වී නම් එය සුසිද්ධසුසිද්ධ සංඛ්‍යාවට ඇතුළත් වේ.

ශාස්ත්‍රෝක්තීන්ට අනුව, සිද්ධසිද්ධ මන්ත්‍රය නියමිත වාර ගණන ජප කිරීමෙන් කාර්‍ය්‍ය සිද්ධිය වේ. සිද්ධසාධ්‍ය මන්ත්‍රය නියමිත වාර ගණන‍ මෙන් දෙගුණයක් ජප කළ යුතුයි. සිද්ධසුසිද්ධ මන්ත්‍රය නියම ගණනින් අඩක් ජප කිරීමෙන් කාර්‍ය්‍යසිද්ධිය වේ. සිද්ධඅරි මන්ත්‍රය නෑයන් නසයි. සාධ්‍යසිද්ධ මන්ත්‍රය තුන් ගුණයක් ජප කිරීමෙන් සිද්ධිය වේ. සාධ්‍යසාධ්‍ය මන්ත්‍රය නිෂ්ඵලය. සාධ්‍යසුසිද්ධ මන්ත්‍රය නියමිත වාර ගණනට අර්ධයක් වැඩිපුර ජප කිරීමෙන් සිද්ධිය වේ. සාධ්‍යඅරි මන්ත්‍රය ස්වකීය ගෝත්‍රයෙහි වූවන් නසයි. සුසිද්ධසිද්ධ මන්ත්‍රය අඩක් ජප කිරීමෙන් ද සුසිද්ධසාධ්‍ය මන්ත්‍රය දෙගුණයක් ජප කිරීමෙන් ද සුසිද්ධසුසිද්ධ මන්ත්‍රය ජප කිරීමට පටන් ගත් ක්ෂණයෙහි ම ද සිද්ධිය වේ. සුසිද්ධඅරි මන්ත්‍රය ජප කිරීමෙන් කුටුම්බ විනාශය වේ. අරිසිද්ධ මන්ත්‍රය ජප කිරීමෙන් පුත්‍රයා ද අරිසාධ්‍ය මන්ත්‍රයෙන් දූ ද අරිසුසිද්ධ මන්ත්‍රයෙන් භාර්‍ය්‍යාව ද අරිඅරි මන්ත්‍රයෙන් ජප කරන්නා ද නැසෙතැයි කියති.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකථහ_චක්‍රය.&oldid=4018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි