අටමස්ථාන
බෞද්ධයන්ගේ වන්දනමානනයට ලක් වූ ප්‍රධාන සිද්ධස්ථාන අටක් අටමස්ථාන නමින් හැඳින්වේ. අටමස්ථාන යනු අෂ්ටමහා ස්ථාන යනුවෙහි ම විකෘතියෙකැයි ඇතැමෙක් සලකති. මේ ස්ථාන පිළිබඳ නාමාවලියෙන් කලින් කල ඇතැම් ස්ථාන බැහැර වූ බවත් ඒ වෙනුවට වෙනත් ස්ථාන ඇතුළත් කර ගත් බවත් ග්‍රන්ථ පරම්පරාවෙන් හෙළි වේ. ලක්දිව බුදුසසුන පිහිටුවීම සඳහා පැමිණි මිහිඳු මහරහතන්වහන්සේගේ සම්මානයට ලක්වූ ස්ථාන අට, මුලින් ම ඇතිවූ අටමස්ථාන ලෙස සැලකිය හැකිය. දෙවනපෑතිස් රජතුමා විසින් මිහිඳුමාහිමියන්ට මහමෙවුනා උයන පිළිගැන්වීමේ දී රන්කෙණ්ඩියෙන් වගුරුවන ලද ජලය පතිතවීමෙන් භූමිකම්පනය සිදුවූ ස්ථානය හා මිහිඳුමහරහතන් වහන්සේ විසින් ඉසිනලද මල් පතිතවීමෙන් පොළොව කම්පිත වූ ස්ථාන සත ද යථෝක්ත ස්ථාන අටය. මහාවංස, දීපවංස, සිංහල බෝධිවංස යන ග්‍රන්ථවලට අනුව ඒවා පිළිවෙළින් මෙසේයි: 1. මහාමේඝවන සංඝාරාමය (තිස්සාරාමය) 2. සංඝයාගේ කර්මමාලක සීමාව 3. ජන්තාඝර පොකුණ 4. මහාබෝධිය පිහිටුවන්නාවූ තැන 5. සංඝයාගේ පොහෝගෙය 6. සංඝයාට උපන් ලාභය බෙදන තැන 7. චතුඃශාලාව හා 8. රත්නමාලි චෛත්‍යභූමිය යනුයි. එහෙත් යථෝක්ත ග්‍රන්ථවල මේවා අටමස්ථාන නමින් හඳුන්වා නැත. පළමුවෙන් ම අටමස්ථානයක් ගැන සඳහන් කරන පූජාවලී කතුවරයාණෝ 1. අනුරාධපුරයෙහි දකුණු මහසෑය පිහිටි තැන 2. මහමෙවුනා උයන්මැද ශ්‍රී මහාබෝධිය පිහිටි තැන 3. ලෝවාමහාපාය පිහිටි තැන 4. පිරිත්ලාගෙය පිහිටි තැන 5. දන්තාධර (ජන්තාඝර) නම් පොකුණ පිහිටි තැන 6. ථූපාරාමය පිහිටි තැන 7. පතස් භූමියෙහි රුවන්මැලි මහසෑය පිහිටි තැන 8. මිහින්තලයෙහි මහසල සෑය පිහිටි තැන යන මේ අටමස්ථානය පූර්ව බුදුවරයිනුදු වැඩහුන් බිම් හෙයින් ගෞතම බුදුරජාණන්වහන්සේ ද ධ්‍යාන සුවයෙන් එතන්හි වැඩහුන් බව සඳහන් කරති.
අනතුරුව විරචිත ග්‍රන්ථයක් වූ සද්ධර්මාලංකාරයෙහි 1. මහමෙවුනා උයන්හි රජගෙට දකුණුදිග මාලකසීමාව 2. උතුරුදිග ජන්තාඝර නම් පොකුණ, නැගෙනහිර වහසල් දොර මහාබෝධිස්ථානය 4. ලෝවාමහාප්‍රාසාදස්ථානය 5. ලහබත්ගෙය 6. චතුශ්ශාලාව පිහිටි තැන 7. මහාභෝජන ශාලාව හා 8. රත්නමාලි චෛත්‍යස්ථානය යන ස්ථාන අට අටමස්ථාන නමින් හඳුන්වා තිබේ. මේ අනුව පූජාවලියෙහි සඳහන් ථූපාරාමය හා මිහින්තලේ මහසල සෑය සද්ධර්මාලංකාරයෙන් බැහැර වී ඒ වෙනුවට චතුශ්ශාලාව හා මහාභෝජන ශාලාව ඇතුළත් වූ බව පෙනේ. එහෙත් එම ග්‍රන්ථයේ ම අන් තැනක දැක්වෙන නවමහාස්ථානයන්ට පූජාවලියෙහි සඳහන් ස්ථාන අට හා රුහුණු ජනපදයෙහි දීඝනඛ පිහිටිතැන ද ඇතුළත් කර තිබේ. තෙවනවරට ලක්දිවට වැඩි ගෞතම බුදුරජාණන්වහන්සේ මුහූර්තය බැගින් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන අටක් ගැන සද්ධර්මරත්නාකර කර්තෘවරයා සඳහන් කරයි. පූජාවලියෙහි දැක්වෙන ස්ථාන සතක් ම එහි ද ඇතත් දකුණු මහසෑය පිහිටි තැන වෙනුවට රුවන්පාය පිහිටුවන්නාවූ පතන්භූමි ස්ථානය යොදා තිබේ. මෙහි රුවන්පාය යන්නෙන් අදහස් කළේ රත්නප්‍රසාදය දැයි විමසිය යුතුයි. මේ ස්ථාන අට ද අටමස්ථාන නමින් එහි හඳුන්වා නැත. මින් පසු කාලයෙහි ඇති වූ රාෂ්ට්‍රවිප්ලවාදි හේතු හා කැඩීබිඳීයාම්, ගරාවැටීම් ආදිය නිසා පැරණි අටමස්ථානයන්ගෙන් සමහරක් පිහිටි තැන් පවා සොයා ගත නොහැකි තත්වයක් එළඹුණේය. මේ නිසා සොයා ගත නොහැකි ස්ථාන අත්හැර දමා ඒ වෙනුවට වෙනත් ස්ථාන ඇතුළත් කර නාමාවලියක් සකස් කරගන්ට සිදුවිය. මහනුවර සමයට අයත් නම්පොතෙහි ඒවා දක්වා ඇත්තේ 1. ශ්‍රීමහාබෝධිය 2. ලෝවාමහාප්‍රාසාදය 3. මිරිසවැටිය 4. අභයගිරි විහාරය 5. ජේතවන විහාරය 6. රත්නමාලි චෛත්‍යය 7. ථූපාරාමය හා 8. මිහින්තලේ ශෛලචෛත්‍යය යන පිළිවෙළිනි.
ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසු 1869 දී අටමස්ථානය බෞද්ධයන්ට පවරාදීම සඳහා ඒ එකිනෙකට අයත් මායිම් සම්බන්ධයෙන් නිශ්චයකට බැස ගැනීම විහාරභූමි පිළිබඳ කොමසාරිස්වරයාට අවශ්‍ය විය. ක්‍රි.ව. 1872 නොවැම්බර් මස 20 වැනි දින සර්වේ ජනරාල්තුමා විසින් නිකුත්කරන ලද සැලැස්මක අවසන් වරට තෝරාගත් අටමස්ථාන හා ඒ එක් එක් ස්ථානයට සම්බන්ධ භූමි ප්‍රමාණය ද පැහැදිලි වශයෙන් සටහන් කර ඇත. එහි අටමස්ථාන හැටියට හැඳින්වෙන්නේ 1. ජේතවනාරාමය (දාගැබ හා මළුව) 2. ලංකාරාමය 3. ථූපාරාමය 4. අභයගිරිය 5. ලෝවාමහාපාය 6. ජයශ්‍රීමහාබෝධිය (හා පන්සල) 7. මිරිසවැටිය (දාගැබ හා මළුව) 8. රුවන්මැලිමහසෑය (දාගැබ, මළුව හා පන්සල) යන ස්ථාන අටය.
ක්‍රි.ව. 1908 දී අභිනවයෙන් තෝරා පත් කරගත් අටමස්ථාන කොමිටි නම් සභාව මගින් මිහින්තලයෙහි පිහිටි මහසෑය ඇතුළු මහමෙවුනා උයන්හි පිහිටි පැරණි සිද්ධස්ථාන 16කට අයිතිවාසිකම් ඉදිරිපත් කරන ලදි. ජේතවාරාමය පටන් වෙස්සගිරිය දක්වා ද මිරිසවැටිය පටන් අභයගිරිය දක්වා ද තුබුණු පැරණි සිද්ධස්ථාන අටමස්ථානයට ඇතුළත් කර ගැනීම කොමිටියේ අදහස විය. එහෙත් අටමස්ථානයට අයත් සිඞස්ථානයන් සම්බන්ධයෙන් ඔවුනට ඒකමතික තීරණයකට බැසගත නොහැකි වූයෙන් ක්‍රි.ව. 1909 ජනවාරි 16 වැනි දින එවක ලංකාණ්ඩුකාර පදවිය දැරූ සර් එච්. ඒ. මැකලම් මහතා හා අටමස්ථාන කොමිටියේ සභිකයන් අතර සාකච්ඡාවක් පවත්වන ලදි. එහි දී අටමස්ථාන කොමිටියේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව 1. බෝමළුව 2. ලෝවාමහපාය 3. රුවන්මැලිමහාසෑය 4. අභයගිරි වෙහෙර 5. ථූපාරාමය 6. ජේතවනාරාමය 7. ලංකාරාමය 8. මිරිසවැටිය යන ස්ථාන අට අටමස්ථානය හැටියට සැලකීමට තීරණය විය. ඒ අනුව දැනට අටමස්ථාන නමින් හැඳින්වෙන්නේ යථෝක්ත ස්ථාන අටය.
මැකලම් ආණ්ඩුකාරතුමාගේ විශේෂ අනුග්‍රහයෙන් අභයගිරි, මිරිසවැටි, ථූපාරාම යන දාගැබ් අසල පන්සල් තැනීම් සඳහා බිම්කැබලි තුනක් විශේෂ කොන්දේසි සහිතව අටමස්ථාන කොමිටියට ප්‍රදානය කරන ලදි. කොමිටියේ අයැදුමෙන් පැරණි රාශිමාළකය හැටියට සැලකෙන ගලින් නිමකළ ගොඩනැඟිල්ලේ නෂ්ටාවශේෂ ද ජන්තාඝර පොකුණ නිශ්චය වශයෙන් හැඳින ගත් පසු එය ද විනාශ මුඛයට යා නොදී බෞද්ධයන් වෙනුවෙන් ආරක්ෂා කර දෙන හැටියට ආණ්ඩුව පොරොන්දු විය.
(සංස්කරණය:1963)