අත්තාණි
අත්තාණි කණු හා අත්තාණි පෙරහැර යන වචන නවවන, දසවන හා එකොළොස්වන ශතවර්ෂයන්හි කොටවන ලද සෙල්ලිපි රාශියක ම බහුලව දක්නට ලැබේ. "අත්තාණි" යන්නෙන් සභාව හෙවත් රැස්වීම යනු අදහස් කෙරෙන බව ඩී. ඇම්. ද ඉසැඩ් වික්‍රමසිංහ මහතා පවසයි. මෙය "ආස්ථාන" යන සංස්කෘත වචනය ප්‍රභව කොට ඇතැයි ඒ මහතා කල්පනා කරයි. මැදඋල්පත සෙල්ලිපියෙහි සඳහන් වන "අත්තාණිහල" යන්නෙන් අදහස් කරනුයේ "සභාශාලාව" බව මේ අනුව සලකන විට පෙනේ.
මේ මතය පිළිගතහොත් "අත්තාණි කණු" යන්නෙන් හැඳින්වුණේ සභාව මගින් පිහිටුවූ කණු යයි තීරණය කළ යුතු වෙයි. රජු ප්‍රධාන රාජ සභාව මගින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශන ඇතුළත් වූ හෙයින් මේ ටැම් ලිපිවලට අත්තාණි කණු යන නම ලැබිණැයි ද සිතිය හැකි ය. අත්තාණි කණු යන්න සමහරවිට "අත්තාණි පෙරහැර් කණු" යන්න කෙටි කොට ලිවීමක් විය හැකිය. අත්තාණි යන්න සංස්කෘත ආ + ත්‍රාණ යන්නෙන් සිංහලට බිඳී ආ වචනයක් බ වද, එහි අදහස "අභය" හෝ "ආරක්ෂාව" යන්න බව ද පරණවිතාන මහතා පවසයි. තවද වික්‍රමසිංහ මහතුන්ගේ මතය පරිදි "ආස්ථාන" යන්නෙන් "අත්තාණි" යන්න සිද්ධ වී නම් අත්තාණි යන වචනයේ අග'කුර මූර්ධන්ය විය නොහැකිය යි ද පරණවිතාන මහතා පෙන්වා දෙයි. ඇතැම් සෙල්ලිපිවල "අත්තාණි" යන්න වෙනුවට "සම්වතා" හෝ "ව්‍යවස්ථා" යන වචන භාවිත කොට ඇති බව පෙනේ.
රජකු හෝ යුවරජකු හෝ කිසිවිටෙක ප්‍රාදේශික රජකු හෝ යම්කිසි විහාරස්ථානයකට හෝ ගමකට හෝ කිසියම් ආයතනයකට හෝ පුද්ගලයකුට හෝ විශේෂ වරප්‍රසාද, අයිතිවාසිකම්, ලාභ ප්‍රයෝජන, ගරු බුහුමන් ආදිය ලැබෙන පරිදි පනවනු ලබන ආඥාවන්ට "රිහාර" හෙවත් "පෙරහැර්" යයි කියනු ලැබේ. නවවන හා දසවන සියවස්හි කොටවන ලද සෙල්ලිපිවල මේ වචනය පෙරැහැරැ, පැරැහැර්, පෙරැහැර්, පෙර්හැර්, පැරහැර්, පෙරැහැර, පර්හැර, පැරහෙර, පැරහර් ආදි වශයෙන් භාවිත කොට තිබේ. "පෙරහැර්" යන වචනය පාළි "පරිහාර" ශබ්දයෙන් බිඳී ආවකැයි යනු විචාරකයන්ගේ මතයයි. පරිහාර දානය කොට ආඥා ප්‍රකාශ කිරීම බොහෝ විට රජු විසින් ම හෝ රජුගේ අනුමැතියෙන් හා මැදහත් වීමෙන් රජයේ උසස් නිලධාරි මණ්ඩලයක් විසින් හෝ කරන ලද බව පෙනේ. රජයේ නිලධාරියකුට තනි කැමැත්තෙන් එවැනි වරප්‍රසාද දීමට බලයක් තුබුණු බවක් නොපෙනේ. දැනට සොයාගෙන ඇති අත්තාණි කණු වැඩි කොටසක ම සඳහන් වන්නේ රජුගේ ආඥාවෙන් රජු "වැඳ වදාළ හෙයින්" පරිහාර දුන් බව ය. සෙල්ලිපිවලින් ලැබෙන සාක්ෂ්‍ය අනුව පෙනීයන්නේ පරිහාර දානය කිරීමේ බලය පැවරී තුබුණේ රජුට පමණක් බව යි. අනුරාධපුර රාජධානිය ඇතුළත තිබී සම්බ වූ සැම අත්තාණි කණුවක් ම හිඳුවා ඇත්තේ අනුරාධපුරයේ රජුගේ ආඥාවෙන් බව පෙනේ. අනුරාධපුර රාජධානියෙන් පිටත තිබී සොයාගෙන ඇති අත්තාණි කණු පිහිටුවන ලදැයි කිවයුත්තේ ස්වාධීන ප්‍රාදේශික රජවරුන්, කුමාවරුන් හෝ යුවරාජවරුන් විසිනි. මෙයින් පෙනී යන්නේ අනුරාධපුරයේ රජුන්ට යටත් නොවී නිදහස් පාලකයන් ලෙස ලංකාවේ සමහර ප්‍රදේශ පාලනය කළ ප්‍රාදේශික රජවරුන්ටත් පරිහාර දානය කිරීමට බලයක් තුබුණු බව ය. රජු විසින් තමාගේ රාජ්‍යයේ වැසියන්ට හා ආයතනයන්ට පරිහාර දානය කිරීම පුරාණයේ දී ඉන්දියාවේ ද පැවැතිණ. යම් යම් ජාති විශේෂයන් කෙරෙහි හෝ නගර ග්‍රාම දේශ යන මොවුන් කෙරෙහි හෝ රජුගේ ආඥාවෙන් යම්කිසි අනුග්‍රහයක් කරනු ලැබේ ද තතු දන්නවුන් විසින් ඊට "පරිහාර" යයි කියනු ලැබේ යයි කෞටිල්‍යයන්ගේ අර්ථශාස්ත්‍රයෙහි දක්වා ඇත. පරිහාර දානය ලංකාවට පුරුදු වූයේ කවර කලක සිට ද යන්න ස්ථිරව කීමට සාක්ෂ්‍ය නැත. අත්තාණි කණු මගින් පරිහාර දානය කිරීම ලංකාවේ භාවිතයට එන්නට ඇත්තේ ක්‍රිස්තු වර්ෂයෙන් නවවන සියවසේ දී බව පෙනේ. සෙල්ලිපිවලින් ලැබෙන සාක්ෂ්‍ය අනුව ප්‍රථමයෙන් මේ සිරිත ආරම්භ වූයේ පළමුවන සේන රජුගේ (831-851) කාලයේ දී බව සිතිය හැකි ය. මීට පෙර වුව ද පරිහාර දානය ලංකාවේ සිදු කොට ඇති නමුත් ඒ සඳහා අනුගමනය කළ ක්‍රියා පිළිවෙල කවරේදැයි කීමට සාක්ෂ්‍ය නැත. දුටුගැමුණු රජ එළාර රජු හා යුද කොට ඔහු පැරදවීමෙන් පසු ඔහුගේ මළ සිරුර දවා "එරජු දැවූ තැන ඔහු නමින් එළාල නම් දාගැබක් කරවා මා ඇතුළු වූ එන දවස රජදරුවන් ඇතුන් අසුන් ඉදෝලි දෝලි කූණම් නැඟී මෙතනින් නොගිය මැනවැයි, බෙරත් නොගැස්වුව මැනවැ යි පෙරහැර තබවා ශිලාලේඛනයක් හිඳුවූය"යි ථූපවංසයෙහි සඳහන් වෙයි.
පරිහාර දානය කොට සිටුවන ලද්දාවූ දුටුගැමුණු සමය තරම් පැරණි සෙල්ලිපියක් මේ වනතුරු සොයා ගෙන නැත. කෙසේ වුවද දුටුගැමුණු රජුගේ කාලයේ ද යම් යම් ආයතනයන්ට හා පුද්ගලයන්ට සිරිතක් වශයෙන් රජුගෙන් පරිහාර දානය කෙරුණු බව සද්ධාතිස්ස කුමරු විහාරයක සැඟවී සිටි අවස්ථාවේ දී දුටුගැමුණු කුමරු ඔහු අත් අඩංගුවට නොගැනීමේ සිද්ධියෙන් අපට සිතාගත හැකි ය. පළමුවන සේන රජුගේ කාලයේ දී ආම්භ වී යයි සැලකෙන අත්තාණි කණු සිටුවා පරිහාර දානය කිරීම දෙවන ගජබාහු (1137-1153) රජුගේ කාලයේ දී කොටවන ලද මාතලේ ටැම්ලිපියෙන් අවසන් වී යයි සිතිය හැකි ය. සන්නස් මගින් පරිහාර දානය කිරීම ඇරඹුණේ ඉන් පසුව බව පෙනේ.
පරිහාර දානය කෙරුණු ඇතැම් අවස්ථාවල දී ඒ පිළිබඳ ආඥාව රජු විසින් නිකුත් කොට ඇත්තේ රජයේ නිලධාරීන්ගෙන් හා අධිපතීන්ගෙන් සමන්විත වූ රාජසභාවක දී ය. අත්තාණි කණුවල කොටවා ඇති සෙල්ලිපි එක ම ක්‍රමයකට, එක ම සම්ප්රදායක් අනුව කොටවා ඇත. එහෙත් මුලින් ම කොටවන ලද අත්තාණි ලිපි ප්‍රමාණයෙන් ඉතා කෙටි ය. සම්මත පදමාලාවක් අනුව ලියන ලද බවක් ද නොපෙනේ. අත්තාණි ලිපි බොහොමයක ම රජුගේ ආඥාව ප්‍රකාශයට පමුණුවා ඇත්තේ "වදාළෙයින්" ආදි වශයෙනි. අත්තාණි කණුවල දක්නට ලැබෙන සෙල්ලිපි කෙටුම්පත් කොට ඇති ආකාරය පහත සඳහන් මන්නාරම් කච්චේරි සෙල්ලිපියෙන් පෙනේ.
"ස්වස්ති ශ්‍රී සිරිසඟබෝ මපුරුමුකා දොළොස් වන්නෙ මැදින් දිනැ අව දසවක් දවස් මහවෙහෙරැ බහදුරසෙන් පියන්ගලැ බද උතුරු කරායෙ කුඩ කදවු කායෙ අවු පෙපොදතුඩ කුම්බල්හල තුම් පොකොණ් මෙතුන් ගැමැ සතර සීමායෙන් ඇතුළ් වූ තාක් තැනට් වදාළ එක්තැන් සමියෙක් පඬිරද් දාපුළා වරැ මෙකාප්පර් පිලවිට් මයිදන්ද් ච කොළබෑ සිවු ච අපි දෙදෙනමො එක් තැන් සමියෙන් වදාළෙයින් මෙගමට් රද්කැමියන් පියො වදාරන් නොවදනා ච දුනු මඬුල මෙලාස්සි රට්ලදු පස්ලද්දන් නොවදනා ච දෙකම් තැන් දෙරුවනෙ පෙරෙලැකි දුනුපා බලත් පඩි මෙහෙයැ ඇත්තන් නොවනිවැරදියිද්නා ච ගැල් ගොන් වැරියන් බිලිබත් බිලිසාල් කිරවර් තෙල්වර් නොගන්නා ච පෙරෙනාට්ටුවම් නොවද්නා ච මෙගම් හුන් තාරි කුඩින් අවලින් නොගන්නා ච සදා ලද්දන් නොවද්නා ච මහපුටු ලද්දන් නොවද්නා ච කහැලි ලද් නොවද්නා ච නා වෙහෙරැ වැස්සන් නොවද්නා ච රක වෙහෙර වැස්සන් නොවද්නා ච මෙතුවාක් දෙන නොවද්නා කොට් මෙ ගමට් අපි දෙදෙන මො අත්තාණි පෙරැහැරැ දුන්මහයි."
මේ ලිපියෙහි මුලින් ම සඳහන්ව ඇත්තේ පරිහාර දානය දීමට ආඥාව නිකුත් කළ රජුගේ නාමයයි. ඊළඟට ඇත්තේ පරිහාර දානය කළ දිනය නැතහොත් අත්තාණි කණු සිටවූ දිනය ගැන සඳහනකි. ඉක්බිති අත්තාණි කණු සිටවූ තැන හෙවත් පරිහාර දානය ලැබූ ආයතනයෙහි නොහොත් ගමෙහි හෝ ඉඩමෙහි විස්තරයත්, රජු විසින් එය "වදාළ" බවත් පැවසේ. රජුගේ ආඥාව රාජසභාව විසින් ද සම්මත කරන ලද බව ඊළඟට කියැවේ. මේ ලිපිවල දැක්වෙන "එක්තැන් සමියෙන් වදාළෙයින්" යන්නෙන් අදහස් කෙරෙනුයේ භාණ්ඩාගාරය වැනි රජයේ දෙපාර්තමේන්තුවල උසස් නිලධාරීන් ඒකච්ඡන්දයෙන් රජුගේ ආඥාවට එකඟ වූ බව දැක්වීමක් බව පරණවිතාන මහතා පවසයි. ආයතනයකට හෝ පුද්ගලයකුට අත්තාණි පෙරහැර් දීම නිසා රජයට ලැබෙන ආදායම නැතිව යන බැවින් ද, රජයේ නිලධාරීන්ට අත්තාණි පෙරහැර දෙනු ලැබූ ආයතනයට ඇතුළුවීම තහනම් කෙරෙන බැවින් ද ඒ ඒ දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ අනුමතිය ද අත්තාණි පෙරහැර දීමේ දී අවශ්‍ය වූ බව සිතිය හැකි ය. සමහර අත්තාණි කණුවල ඒ අත්තාණි පෙර්හැර් සභාවෙන් සම්මත කළ බවක් ගැන සඳහන් නොවේ. එවැනි අවස්ථාවල දී රජුගේ නියමයෙන් පමණක් පරිහාර දානය කෙරෙන්නට ඇති බව සිතිය හැකිය. රජුගේ ආඥාව සම්මත්වීමෙන් පසු රජයේ උසස් නිලධාරියකු විසින් එම ආඥාව අත්තාණි කණු සිටවා ප්‍රකාශයට පමුණුවනු ලැබූ බව සඳහන් වෙයි. රජුගේ ආඥාව ප්‍රසිද්ධ කිරීමට හා ක්රියාවේ යෙදවීමට පැමිණ ඇත්තේ අරක්සමණ නමින් හැඳින්වුණු රජයේ උසස් නිලධාරියකු හා කුඩසලා හා වත්කැමි නමින් හැඳින්වුණු සුළු නිලධාරීන් දෙදෙනකු ද බව අත්තාණි සෙල්ලිපිවල දැක්වෙන තොරතුරුවලින් හෙළිවේ. මේ හැර මේකාප්පර් නමින් හැඳින්වුණු තවත් උසස් නිලධාරියකු ද පැමිණි බව පෙනේ. අරක්සමණ, කුඩසලා හා වත්කැමි යන තිදෙන සිවිල් අංශය වෙනුවෙන් ද මේකාප්පර් නිලධාරියා යුද්ධ අංශය වෙනුවෙන් ද පෙනී සිටි බව පරණවිතාන මහතා කල්පනා කරයි. සමහර අත්තාණි ලිපිවල සඳහන් වන්නේ රජුගේ ආඥාව ප්‍රසිද්ධ කිරීමට නිලධාරීන් පැමිණියේ "සභායෙන්" බව ය. මේ ලිපිවල මේකාප්පර් හෙවත් යුද්ධ අංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා ගැන සඳහනක් නැත. සභායෙන් පැමිණෙන නිලධාරීන්ට හෝ ඒ සභාවට සිවිල් හා යුද්ධ කටයුතු පිළිබඳ සම්පූර්ණ බලතල පැවරී තුබුණු බැවින් යුද්ධ නිලධාරියා ගැන මේ ලිපිවල සඳහනක් නැති බව පරණවිතාන මහතා පවසයි. ආඥාව ප්‍රකාශයට පැමිණ වූ නිලධාරීන් ගැන සඳහන් කිරීමෙන් පසු මන්නාරම් කච්චේරි සෙල් ලිපියෙහි සඳහන් වන්නේ අත්තාණි කණු පිහිටුවනු ලැබූ ආයතනයට හෝ පුද්ගලයාට හෝ ඉඩමට දෙන ලද පරිහාර පිළිබඳ විස්තරයයි. ඊළඟට පරිහාර දානය ලැබූ ස්ථානයට ඇතුළු වීම තහනම් කරනු ලැබූ නිලධාරීන් ආදීන්ගේ නාමාවලියක් හා බිලිබත්, බිලිසාල් ආදී අත්හළ අයබදු සම්බන්ධ විස්තරයක් ද දැක්වේ. මේ පරිහාර දානය කිරීමේ ප්‍රධාන අදහස වූයේ යම් යම් ආයතනයන්ට හා ඉඩම් කඩම් ආදියට රාජපුරුෂයන් වැනි අය ඇතුළුවීම තහනම් කිරීම ද යම් යම් අයබදුවලින් ඒ ආයතන, ඉඩම් කඩම් හා පුද්ගලයන් නිදහස් කිරීම ද වේ.
පරිහාර දානය වැඩි වශයෙන් ම ලබා ඇත්තේ විහාර, පිරිවෙන් වැනි ආගමික ආයතන හා ඒවාට අයිති ඉඩම් කඩම්ය. ආරෝග්‍යශාලා හා ඒවාට අයිති ඉඩම් ආදියට ද සූතිකාගාර හා ඒවා සතු ඉඩම් කඩම් ආදියට ද පරිහාර දී ඇති බැවින් පරිහාර දානය ආගමික ආයතනයන්ට ම සීමා වූ බවක් නොපෙනේ. වෙදුන් හා රජයේ විවිධ නිලධාරීන් වැනි පුද්ගලයන්ටත් යම් යම් අවස්ථාවල දී පරිහාර දී ඇති බව සෙල්ලිපිවලින් ඔප්පු වේ. වියඋල්පොත ටැම් ලිපියෙහි සීගිරිය අසල විහාරයකට කරන ලද පරිහාර දානයක් ගැන ද යට දැක්වූ මන්නාරම් කච්චේරි ලිපියෙහි මහා විහාරයට අයත් ගම් තුනකට දෙන ලද පරිහාර ගැන ද, මොරගොඩ ටැම් ලිපියෙහි අභයගිරි නිකායට අයත් පිරිවෙනකට දෙවා වදාළ පරිහාර ගැන ද සඳහන් වෙයි. ආරෝග්‍යශාලාවකට අයිති ගමකට දානය කරන ලද පරිහාරයන් ගැන කුකුරුමහන්දමණ සෙල්ලිපියෙහි සඳහන් කොට ඇත. නෑගම ටැම් ලිපියෙහි දැක්වෙනුයේ බෙහෙත් හලකට දෙන ලද පරිහාර ගැනය. සාමාන්‍ය පුද්ගලයකු සතුව පැවති පමුණු ඉඩම් කිහිපයකට රජු විසින් පරිහාර දානය කරන ලද බව පොළොන්නරු සභා මණ්ඩප ටැම් ලිපියෙහි සඳහන් වෙයි. මහා විජයබාහු රජුගේ (1055-1114) පනාකඩුවේ තඹ සන්නස අත්තාණි කණු පෙරහැරක් හැටියට සැලකිය නොහැකි වුව ද ඒ සන්නසෙහි දැක්වෙනුයේ බූදල් නමැති රජයේ නිලධාරියකුට කළගුණ සැලකීමක් වශයෙන් රජු විසින් විශේෂ වරප්‍රසාද (පරිහාර) කිහිපයක් දෙනු ලැබූ බවය.
(සංස්කරණය:1963)