අධිකරණ සමථ
භික්ෂූන් අතර පැන නඟින කරුණු සතරක් "තීරණය කටයුතු වූ කරුණු" යන අර්ථයෙන් "අධිකරණ" නමින් ව්‍යවහාර වේ. ඒ කරුණු සතර නම්-
(1) අටළොස් වැදෑරුම් විවාදයන් අතුරෙන් එක්තරා විවාදයක් (විවාදාධිකරණං),
(2) යම්කිසි භික්ෂුවකගේ සීලය බිඳිණැයි කියා හෝ ආචාරය කැඩිණැයි කියා හෝ දෘෂ්ටිය මිථ්‍යාවකැයි කියා හෝ අජීවය අශුද්ධ යැයි කියා හෝ තව කෙනකුන් විසින් කරනු ලබන චෝදනාවක් (අනුවාදාධිකරණං),
(3) යම්කිසි භික්ෂුවක් අවන් පාරාජිකාදි ඇවැතක් (ආපත්තාධිකරණං),
(4) "අපලොකන" ආදි විනයකර්මයක් (කිච්චාධිකරණං) යන මේයි. මෙම සතර අධිකරණයන් සමථයකට පත් කිරීමේ හෙවත් සන්හිඳුවාලීමේ ක්‍රම සතක් තිබේ. ඒවා "අධිකරණ සමථ" යනුවෙන් ව්‍යවහාර වෙයි. ඒ අධිකරණ සමථ සත නම් : සම්මුඛා විනය, සතිවිනය, අමුළ්හවිනය, පටිඤ්ඤාතකරණ, යෙභුය්‍යසිකා, තස්සපාපිය්‍යසිකා, තිණවත්ථාරක යන මේය. එහි -
(i) උපන් අධිකරණයක් සන්හිඳුවාලීමට තරම් ප්‍රබල වූ ද සමඟි සම්පන්න වූ ද කාරක සංඝයා ලැබීම (සඞ්ඝසම්මුඛතා),
(ii) සන්හිඳුවීමට තිබෙන කරුණ සත්‍යයක් වීම (ධම්මසම්මුඛතා),
(iii) සන්හිඳුවාලිය යුතු ආකාරයට ම - හරියට ම විනයානුකූලව - සන්හිඳුවීම (විනයසම්මුඛතා),
(iv) ප්‍රස්තුත කරුණ හා සම්බන්ධ පුද්ගලයන් ඉදිරිපත්ව සිටීම (පුග්ගලසම්මුඛතා) යන මේ සතර අවශ්‍යතාවන් හමුවීමෙන් අධිකරණයක් සමථයකට පත් කිරීම සම්මුඛාවිනය නමි.
දබ්බමල්ලපුත්ත තෙරුන් වැනි මහත් ස්මෘති බලයෙකින් යුත් රහතන් වහන්සේ නමකට අමූලික සීලවිපත්තියකින් චෝදනාවක් ඇති වූ කල්හි එම රහතන් වහනසේට චෝදනා කිරීම වළක්වනු සඳහා සංඝයා විසින් "ඤත්තිචතුත්ථක" කර්ම වාක්‍යයෙන් උන්වහන්සේට සති විනය දෙනු ලැබේ. සීලවිපත්තියකට පැමිණීමට තරම් සිහිමුළාවක් උන්වහන්සේට නැති බව සහතික කිරීම මෙහි අදහසය. සති විනය ලැබූ භික්ෂූන් වහන්සේ නමකට විරුද්ධව නැවත චෝදනාවක් ඉදිරිපත් කළ හැකි නොවේ. යමෙක් චෝදනා කෙළේ නම් "මේ භික්ෂුව රහත් කෙනෙකි; සංඝයා වෙතින් සති විනය ලැබූවෙකි. එබැවින් ඔබගේ කථා පිළිගන්නෝ කවුරු දැ" යි කියා ඒ චෝදකයාට ම නිග්‍රහ කරනු ලැබෙයි. සති විනය දිය යුත්තේ රහතන් වහන්සේ නමකට ම පමණෙකි. ඒත් චෝදනාවක් උපන් විටක දී හා "මට සති විනය දෙනු මැනවැ"යි ඉල්ලා සිටිය විටක දී පමණෙකි.
ගග්ග භික්ෂුව වැනි උමතුව සිටි භික්ෂුවකට සීලවිපත්ති ආදියකින් චෝදනාවක් උපන් කල්හි හෙතෙම "ස්වාමිනී, මෙය මා උමතුව සිටි කල කරන ලද්දකි. නුමුළාව සිටි කලෙක කිසිසේත් මෙබන්දක් නොකෙළෙමි" යි කියයි. එසේ කියද්දීත් ඕහට තව තවත් චෝදනා කරනු ලැබේ නම් එසේ චෝදනා කිරීම වළක්වනු වස් සංඝයා විසින් ඕහට "ඤත්තිචතුත්ථක" කර්ම වාක්‍යයෙන්, අමූළ්හ විනය දෙනු ලැබේ. අමූළ්හ විනය ලැබූ භික්ෂුවකට විරුද්ධව එකරුණෙහි නැවැත චෝදනා ඉදිරිපත් කළ හැකි නොවේ. කලින් තිබුණු චෝදනාවලිනුදු හේ නිදහස්ය. මේ අමූළ්හ විනය ලබාගනු සඳහා ද චූදිතක භික්ෂුව "මම උමතුව සිටියෙක්මි. දැන් අමූළ්හ (නුමුළා) වූයෙක්මි. ඒ මම සංඝයාගෙන් අමූළ්හවිනය ඉල්ලා සිටිමියි කියා ඉල්විය යුතුය.
ඇවැතකට පැමිණි භික්ෂුවක් මම අසුවල් ඇවැතට පැමිණියෙමි යි ප්‍රතිඥා කෙරේ නම් "මින් මතුවට සංවර වුව මැනැවැ"යි අවවාද කිරීම පටිඤ්ඤාතකරණ නමි. ඇවැත එළිදරවු කොට එය ඇවැතක් බව පිළිගත් කල්හි ඕහට අවවාද කිරීම යනු මෙහි අදහසයි. මෙම අවවාදය ලැබීමෙන් පසු හෙතෙම ඇවැතින් නිදහස් වේ. මෙම සමථය දේසනාගාමිනී ඇවැත් සම්බන්ධයෙන් පමණි.
අටළොස් වැදෑරුම් විවාදයන් අතුරෙන් යම් විවාදයක් පැන නැඟුණු කල්හි ලහ ගැන්වීමෙන් රැස් කරන ලද සංඝයා අතර ධර්මවාදී භික්ෂූන් සංඛ්‍යාවෙන් අධික වුවහොත් එම වැඩි සංඛ්‍යාවගේ මතය අනුව තීරණය දීම යෙභූය්‍යසිකා නමි. වචනාර්ථය අනුව වැඩි දෙනාගේ මතය අනුව තීරණය කිරීම යන අරුතක් පළ වෙතත් එම වැඩිදෙනා අධර්මවාදීන් නොව ධර්මවාදීන් ම වන ලෙස ක්‍රියා කිරීම ලහ ගන්වන භික්ෂුවගේ සූරතාව විය යුතුය. අංග සම්පූර්ණ සලාක ගාහකයකු සංඝයා විසින් සම්මත කරනු ලැබූ කල්හි හෙතෙම ගූළ්හක, විවටක, සකණ්ණජප්පක යන විසින් තැනට ඔබින ලෙස ක්‍රියා කොට ලහ ගන්වයි. අධර්මවාදීන් වැඩි බව පෙනුණ හොත් ගූළ්හක (රහස්) ක්‍රමයෙන් ලහ ගන්වයි. ධර්මවාදීන් වැඩි වුවහොත් විවටක වශයෙන් (එළිපිට) ලහ ගන්වයි. අඥානයන් වැඩි බව පෙනුණහොත් සකණ්ණජප්පක වශයෙන් (කනට කොඳුරා) ලහ ගන්වයි. නිතර ම ධර්මවාදීන් වැඩිවන පිණිස හෙතෙම වගබලා ගනී.
උපවාළ භික්ෂුව වැනි යම්කිසි පාපෝත්සන්න භික්ෂුවක් පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ළංවූ ඇවැතකින් හෝ චෝදනා ලැබූ කල්හි එය විසඳන්නට ගිය කල හෙතෙම පළමුකොට "නෑ" කියා පසුව "ඔව්" කියයි ද එක්කෝ පළමුකොට "ඔව්" කියා ඉක්බිති "නෑ" කියයි ද එක්කෝ විචාළ දෙය තබා අනෙකක් (අනම්මනම්) කියයි ද දැන දැන බොරු කියයි ද ඕහට සංඝයා විසින් "ඤත්තිචතුත්ථ" කර්මවාක්‍යයෙන් තස්සපාපිය්‍යසිකා කම්මය කරනු ලැබේ. හේ පවිටෙකැයි සම්මත කිරීම මෙහි අදහසයි. මෙසේ සම්මත කිරීමෙන් පසු ඔහුගෙන් සංඝයා වෙන් වෙයි. ඉන් පසු ඔහු හා කිසි සම්බන්ධකමක් නැත. තස්සපාපිය්‍යසිකා කම්මය කරනු ලබන්නේ "ඉදින් මේ තෙම සහමුලින් සිල් නොබිඳුණු කෙනෙක් නම් නැවැත සංවරයට පැමිණ සංඝයා ක්ෂමා කරවා ගෙන ශීලය ප්‍රකෘතිමත් කර ගෙන පිරිසිදු සංඝයා අතරට තමා ඇතුළත් කරවා ගනිතැයි, නොඑසේ නම් මෙය ම මොහුගේ සස්නෙන් චුත කිරීම වෙයි" යන අදහසිනි. මේ අනුව පාරාජිකාවකට නොපැමිණියෙක් වේ නම් ඕහට නැවතත් ප්‍රකෘති භික්ෂුවක් බවට පැමිණීමට ඉඩ තිබේ. ආයතිසංවරයකට පැමිණීමේ සිතක් නැත්නම් හෙතෙම සදහට ම සංඝයාගෙන් වෙන්වෙයි. ඒ කවරක් වුව ද කාරණය එයින් සමථයට පැමිණෙයි.
භික්ෂූන් දෙපක්ෂයක්ව අන්‍යෝන්‍යයන්ට විරුද්ධව අඬදබර කරමින් නොයෙක් නොහොබනා දෑ කියා කර ගනිමින් කලක් වැස පසුව ලජ්ජීධර්මයට පැමිණි කල්හි "අපි දැන් එක එක්කෙනා අතින් සිදුවූ වැරැදිවලට උනුනට චෝදනා කරමු නම් එය දරුණු කලකෝලාහලයකට හැරෙනු ඇතැ"යි කියා අන්‍යෝන්‍යයනට චෝදනා කිරීමේ ආදීනව සලකත් නම් එකල දෙපක්ෂයේ ම සංඝයා එක් රැස්ව "ඤත්තිචතුත්ථ" කර්මවාක්‍යයෙන් තිණවත්ථාරක කර්මය කරනු ලැබේ. "තිණවත්ථාරකය" යනු තණ ඇතිරියයි. මළමුත්‍රාදියෙන් අපවිත්‍ර වූ තැනක් තණකොළ අතුරා වසාලන්නාක් මෙන් සියලුදෙනාගේ ම ඇවැත් නැවත මතු නොකරන සේ වසා දැමීමය යනු මෙහි අදහසයි. තිණවත්ථාරක කර්මයෙන් අහෝසි වන්නේ පාරාජිකා, සංඝාදිසේස හා ගිහීන්ට ආක්‍රෝශ කිරීම නිසා අවදින ඇවැත් හැර සෙසු ඇවැත් පමණකි.
මෙසේ සංඝයා අතර පහළවන චතුර්විධ අධිකරණයන් සන්හිඳුවාලීම පිණිස මෙම සප්තාධිකරණ ශමථ ධර්මයෝ පනවන ලද්දාහු වෙති.
මීට අනතුරු ව සලකා බැලිය යුත්තේ කවර කවර අධිකරණ විශේෂයෝ කවර කවර ශමථ විශේෂයන්ගෙන් සන්හිඳීමට පැමිණෙත් ද යන්නය. ඒ පිළිබඳ විනිශ්චය සැකෙවින් මෙසේය:-
විවාදාධිකරණය සම්මුඛාවිනයයෙන් ද යේභූය්‍යසිකාවෙන් ද සන්හිඳෙයි. අනුවාදාධිකරණය වූකලී සම්මුඛාවිනය, සතිවිනය, අමූළ්හවිනය, තස්සපාපිය්‍යසිකා යන සතර අතුරින් යම්කිසි සමථ ක්‍රමයකින් සන්හිඳෙයි. ආපත්තාධිකරණය සම්මුඛාවිනය, පටිඤ්ඤාතකරණ, තිණවත්ථාරක යන සමථයන්ගෙන් සන්හිඳීමට පැමිණේ. කිච්චාධිකරණය සම්මුඛාවිනයෙන් පමණක් ම සමථයට පැමිණෙයි.
අධිකරණ සමථයන් පිළිබඳ විස්තර කථා චුල්ලවග්ග පාළියෙහි සමථක්ඛන්ධකයෙන් ද පරිවාර පාළියෙහි කම්මවග්ගයෙන් ද ඒ දෙතැන සම්බන්ධ සමන්තපාසාදිකා විස්තරකථාවලින් හා කඞ්ඛා විතරණියෙහි සමථකාණ්ඩ වර්ණනාවෙන් ද දත හැකි වේ.
කර්තෘ:ඇම්. ශ්‍රී රම්මණ්ඩල
(සංස්කරණය:1963)