අමරකෝෂය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සංස්කෘතභාෂායෙහි නාමලිංගානු ශාසන සංඛ්‍යාත නිඝණ්ටුශාස්ත්‍රීය ග්‍රන්ථයන් අතුරෙහි සර්වසම්පූර්ණ වූ ද, එසේ ම අනතිදිර්ඝ වූ ද, ‍එහෙයින් ම සම්භාවිත වූ ද ග්‍රන්ථයයි. මේ වනාහි ඉන්ද්‍ර- චන්ද්‍රාදි පූර්‍වශාබ්දිකයන් අතුරෙන් කෙනෙකු වූත් වික්‍රමාදිත්‍ය රාජසභාවෙහි වැජැඹුණු නවරත්නයන් අතුරෙන් තුන්වැනි පණ්ඩිත රත්නය වූත්, අමරසිංහාචාර්‍ය්‍යන් විසින් රචනා කරන ලද්දේය. (මෙහි කර්තෘවරයා හා රචනා කාලය පිළිබඳව ‘අමරසිංහ” යන ශීර්ෂය බලන්න.) කතුවරයා විසින් මේ ග්‍රන්ථය හඳුන්වන ලදුයේ නාමලිංගානුශාසන කියායි. ඒ බව "සම්පූර්ණමුච්‍යතෙ වර්ගෛර් නාමලිංගානුශාසනම්" යන්නෙන් දත හැකිය. පසුව අමරසිංහයන් විසින් රචනා කරන ලද ශබ්දාදි සංග්‍රහ ග්‍රන්ථ සංඛ්‍යාත කෝෂය නුයි අන්වර්ථ හෙයින් අමරකෝෂ යන නාමය ම ව්‍යවහාරයට පැමිණියේය.

මේ ග්‍රන්ථය කුමක් නිමිති කොටගෙන කෙසේ රචනා කරන ලද දැයි ගත්කරුවාණෝ තුමූ මැ හෙළි කළහ. ග්‍රන්ථය රචනා කරන සමයෙහි ත්‍රිකාන්ඩ, උත්පලිනී ආදි අන්‍ය ශාස්ත්‍රයෝ ද වූහ. ඒ ශාස්ත්‍රයන්ගේ අසංක්ෂිප්ත බව ද, අසම්පූර්ණ බව ද හේතුකොටගෙන සංක්ෂිප්ත වූ සම්පූර්ණ වූ ශාස්ත්‍රයක් අවශ්‍ය වීම මෙය රචනා කිරීමෙහි නිමිත්ත විය. "සමාහෘත්‍යාන්‍යශාස්ත්‍රාණි" යන ශ්ලෝක පාදයෙන් ඒ දැක්වූහ. ශාස්ත්‍රයෙහි සංක්ෂිප්ත බව නම් පාද පූරණාදිය පිණිස යොදන නිරර්ථක පද හැරපියා අල්ප වූ පදයෙන් බොහෝ අර්ථයන් ප්‍රකාශ කිරීමය. අමරකෝෂය රචනා වූයේ එලෙසිනි. උත්පලිනී ආදී ශාස්ත්‍රයන්හි එබඳු සංක්ෂිප්ත බවෙක් නැති. "නාමමාලා" ආදියෙහි ලිංගහීනය, ලිංගකාරිකා ආදියෙහි නාමහීනය, අමරමාලා ආදිය අසම්පූර්ණය. වොපාලිත ආදි ශාස්ත්‍ර වර්ගහීනය. මේ ග්‍රන්ථය වූ කලී නාම ලිංග වර්ග යන මෙයින් උපලක්ෂිත කොට කරන ලද්දේ වෙයි. එහෙයින් ම නාමලිංගානුශාසන ද විය. එසේ ම යම් අර්ථයක් සඳහා යම් පමණ අර්ථ කෙනෙක් ඇත්නම් හෙ ද, යම් අර්ථ කෙනකුන්ගේ යම් පමණ ලිංග කෙනෙක් ඇත්නම් හෙ ද, අනූන කොට සම්පූර්ණ නාමලිංගානුශාසනයක් කරන බව ග්‍රන්ථාරම්භයෙහි ම දැක්වූහ.

අෂ්ටාක්ෂරපාද ඇති පද්‍ය 1,495ක් පමණ ඇත්තා වූ අමරකෝෂය ස්වර්ඝව්‍යෝම - දික් - කාල- ධී ශබ්දාදි - නාට්‍ය- පාතාල- නරක - වාරි - භූමි - පුර - ශෛල - වනෞෂධි - සිංහාදි - මනුෂ්‍ය - බ්‍රහ්ම - ක්ෂත්‍රිය -‍ වෛශ්‍ය - ශුද්‍ර - විශෙෂ්‍යනිඝන - සංකීර්ණ - නානාර්‍ථ - අව්‍යය - ලිංගාදි සංග්‍රහ වශයෙන් වර්ග පස්විස්සෙකින් සංග්‍රහ කරන ලද්දේය. එහි දු ශබ්දාදිවර්ගය, පාතාල වර්ගය, නරක වර්ගය වැනි ඇතැම් වර්ග ඉතා කුඩා වන අතර වනෞෂධි වර්ගය, නනාර්ථවර්ගය ආදිය ප්‍රමාණයෙන් විශාල වේ.

භාෂාඥානය සඳහා ව්‍යාකරණාදිය සෙයින් ම නිඝණ්ටුශාස්ත්‍රය ද අතිශයින් උපකාර වේ. ශබ්දාර්ථ ඥානයට හේතු වූ ශක්ති‍ග්‍රහණයට කෝෂ ග්‍රන්ථ හැදෑරීම ද මුඛ්‍ය කාරණයෙකි. සංස්කෘත භාෂා විෂයෙහි ප්‍රවීණත්වය ලබනු කැමැතියනට මේදිනී, ත්‍රිකාණ්ඩ ආදි නිඝණ්ටුශාස්ත්‍ර ඇත ද, අමරකෝෂය තරම් ප්‍රමාණකර වූ අන්‍ය ග්‍රන්ථයෙක් නැත. හැම සංස්කෘත ටීකාක‍රුවෙකු විසින් ම ශබ්දාර්ථසමර්‍ථනය සඳහා අමරකෝෂය, ප්‍රමාණත්වයෙන් ගන්නා ලද්දේ එහෙයිනි. එසේ ම අමරකෝෂය ද මථුරෙශ, ක්ෂීරස්වාමි, රායමූකුට, භානුජිදීක්ෂිත, භරතමල්ල ආදි පඬිවරයන් විසින් ටීකා ව්‍යාඛ්‍යානකරණයෙන් පෝෂණය කරන ලද්දේය. එහිදු භානුජිදීක්ෂිතයන්ගේ "ව්‍යාඛ්‍යා සුධා" නමැති ටීකාව බෙහෙවින් සම්භාවිතය.

ඉතා පෙර සිට ම ලක්දිව උසස් අධ්‍යාපනයෙහි අමරකෝෂය පරිශීලනය කරන ලද්දේය. සිංහල භාෂායෙහි විශාරදයකු වන්නට නම් අවශ්‍යයෙන් ම සංස්කෘතයෙහි ප්‍රවීණයකු ද විය යුතුය. අමරකෝෂයෙහි පරිචය නැති කල්හි සංස්කෘතයෙහි පාණ්ඩිත්‍යයකු දූ නොලැබිය හැකිය. එහෙයින් පැරණි ජාතික අධ්‍යාපනයෙහි ලිවීම් කියැවීම් ආදි මූලික අධ්‍යාපනය ලැබූ අනතුරුව මැ වෛද්‍ය, ජ්‍යෝතිෂාදි උසස් අධ්‍යාපනයට ඇතුළුවන දොරටුව ලෙස අමරකෝෂය භාවිත වූ බව පෙනේ. මේ නිසා අමරකෝෂයට පුරාණ ආචාර්‍ය්‍යවරයකු විසින් ලියන ලද විශිෂ්ට වූ සන්නයකුදු ඇත. ශ්‍රී රාහුලාදි මහාපණ්ඩිතවරෙණ්‍යයන් විසිනුදු අමරකෝෂ සන්නය (බ.) ප්‍රමාණයෙන් සැලැකූ හෙයින් ඒ සන්නයෙහි අගය සිතා ගත හැකිය.

ඉන්දියානු පඬිවරයන් විසින් අමරකෝෂය නොයෙක් වර නාගර අක්ෂරයෙන් ප්‍රකාශ කරවන ලදි. මෙරටෙහි ද 1880 දී ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් ද, එයින් පසු කලෙක එච්. ගුණසේකර මහතුන් විසින් ද, 1934 දී මැද්දේපොළ විමලජෝති ස්ථවිරයන් වහන්සේ විසින් ද සංස්කරණය කොට සිංහල අක්ෂරයෙන් මුද්‍රණය කරවන ලද්දේයි. ඩබ්ලිව්. ජේමිස් ප්‍රනාන්දු වෛද්‍යාචාර්‍ය්‍යතුමන් විසින් අමරශබ්දාවලිය නිපදවන ලද්දේ සිංහලාර්ථ සහිත කොට අමරකෝෂාගත ශබ්දයන් අකාරාදි ක්‍රමයෙන් සූචිගත කිරීමෙනි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමරකෝෂය&oldid=2168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි