අෂ්ට ලෝකධර්මය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලොවැ රජයමින් පවත්නා ලෝක ධර්මයෝ අට දෙනෙකි. ලාභ අලාභ අයස යස නින්දා පසංසා සුඛ දුක්ඛ යන මොහුයි. මේ අටලෝදහම්හු ලෝවැසියා අනුව පවත්නාහුය. ලෝවැසියා කෙරෙන් නොවෙන්ව පවත්නාහුය. ලෝවැසි තෙමේත් අටලෝදහමුන් අනුව, ලෝදහමුන් නො හැර, ලෝදහමුන් කෙරෙන් නොවෙන්ව සිටුනේය. මේ ධර්මයෝ අටදෙන ලොවැ එක ද සත්ත්වයකු නොහැර පරිවර්තනය වෙමින් පවත් නාහුය. එහෙයින් ලාභය පැමිණි කල්හි අලාභය ද නියතයෙන් පැමිණෙනසුලු වෙයි. යස අයසාදිය ද එසේ මැය. මිනිසුන් කෙරෙහි ලාභාදීහු අනිත්‍ය වෙති, වෙනස් වන ස්වභාව ඇත්තාහු වෙති. මේ ලෝදහම්හු අශ්‍රැතවත් පුහුදුනට ද ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවකයනට ද එක සේ පැමිණෙති. එහි දී පුහුදුන් පුඟුල්හුගේත් ආර්යය ශ්‍රාවකයාගේත් වෙනසෙක් වෙයි. පෘථග්ජනයකුට ලාභ - යශස් - ප්‍රශංසා - සුව යන දහම් උපන් කල්හි හෙතෙම එහි ඇලෙයි, අනුරාගය උපදවයි. අලාභ-අයශස්- නින්ද- දුක් උපන් කල්හි එහි ද්වේෂය, නොසතුට, උපදවයි. ලාභාදියෙහි අනුරාගය හේතුකොටගෙන ද අලාභාදියෙහි විරෝධය හේතු කොටගෙන ද මැඩුණු සිත් ඇති හෙතෙම ජාතිජරාදි සසර දුකින් නොමිදෙයි. ආර්ය ශ්‍රාවකයා වූ කලි ලාභාදියෙහි අනුරාගය හෝ අලාභාදියෙහි විරෝධය හෝ නූපදවයි. ලාභාදි ලෝදහම්හි අනිත්‍ය බව විපරිණාම බව මෙනෙහි කෙරෙයි. ලාභාලාභාදියෙහි අනුරෝධ - විරෝධ (රාග - ද්වේෂ) ප්‍රහීණ කළ හෙතෙම ජාති- ජරාදි සසරදුකින් මිදෙයි.

බුදුහු පවා අටලෝදහමින් නොවෙන් වූහ. උන්වහන්සේ ලාභාදියෙහි ද තාදී වූහ, අලාභාදියෙහි ද තාදී වූහ. එහෙයින් බුදුහු අටලෝදහම්හි තාදීගුණසම්පන්න වූහ යි කියනු ලැබෙත්.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂ්ට_ලෝකධර්මය&oldid=6150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි