ආතර් හෙන්ඩර්සන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Arthur Henderson) (1863-1935). බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයකු වූ මොහු දේශපාලඥයකු වශයෙන් කීර්තියට පත් ව සිටියෙකි.

ග්ලාස්ගෝ නගරයේ උපන් ආර්තර් හෙන්ඩර්සන් නිව් කාසල්හි වෘත්තීය සමිති ව්‍යාපරයෙහි දීප්තිමත් නායකයෙකු හැටියට ක්‍රියා කළේ ය. නිව් කාසල් නගර සභාවේ සහ ඩාර්ලින්ග්ටන් නගර සභාවේ ද සභික ධූරවලට පත් වූ ඔහුට එ් අතින් වැදගත් මෙහෙයක් කරන්නට පිළිවන් විය. 1903 දී ඩාර්ලින්ග්ටන්හි නගරාධිපති පදවිය දිනා ගන්නට අවස්ථාව ලැබිණ. හෙන්ඩර්සන් පළමුවෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පිවිසියේ 1903 දී කම්කරු පාක්‍ෂිකයෙකු වශයෙන් අතුරු මතිවරණයක් දිනා ගැනීමෙනි. පාර්ලිමේන්තුවට ඇතුළු වී නොබෝ කලකින් ම ඔහු මහත් කීර්තියට පත් වූයේ ය. කම්කරු පාක්‍ෂකයෙකු වශයෙන් ඔහු පක්ෂයේ ප්‍රසාදයට පත් ව සිටියෙන්, 1908 දී එම පක්ෂයේ නායකත්වයට තෝරා ගනු ලැබී ය. පළමුවැනිවරට පක්ෂයේ නායකයා ලෙස දෑවුරුද්දක් සේවය කළ හෙන්ඩර්සන් 1914 දී ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ ඉක්බිති දෙවැනිවරටත් පක්ෂයේ නායකයා වශයෙන් තෝරා පත්කර ගන්නා ලදි. මේ තෝරා ගැනීමට හේතු වූයේ එවකට පක්ෂයේ සභාපති ව සිටි රැම්සේමැක්ඩොකල්ඩ්ට ඉල්ලා අස්වන්නට සිදු වීමයි.

හෙන්ඩර්සන් පළමු වරට කැබිනට් ඇමතිවරයෙක් වූයේ 1915 දී ය. එම අවුරුද්දේ ඇස්ක්විත් විසින් පිහිටුවනු ලැබූ ප්‍රථම සභාග ආණ්ඩුවේ කම්කරු ප්‍රශ්න පිළිබඳ උපදේශකයා වශයෙන් හෙන්ඩර්සන් කැබිනට් මණ්ඩලයට බඳවා ගනු ලැබී ය. 1916 දී පිහිටුවන ලද ලොයිඩ් ජෝර්ජ්ගේ යුද්ධ කැබිනට් මණ්ඩලයේ ආසනයක් ද හෙන්ඩර්සන් වෙත පවරන ලදි.

1917 දී හේන්ඩර්සන් රුසියාවේ සංචාරයක යෙදුණේ ය. එම අවුරුද්දේ ම ඔහු සිය කැබිනට් ඇමති පදවියෙන් ඉල්ලා අස්වූයේ අන්තර්ජාතික සහ සමාජවාදී සාකච්ඡා සම්මේලනය පිළිබඳ ප්‍රශ්නයක් උඩ ඇති වූ මතභේදයක් හේතුවෙනි.

1918, 1922 සහ 1923 යන වර්ෂවල පැවැත්වුණු මැතිවරණවල දී හෙන්ඩර්සන්ට අත්වූයේ පරාජයයි. එහෙත් එම තුන් වතාවේ ම මාස කිහිපයක් ඇතුළත සිදුවුණු අතුරු මැතිවරණ මගින් ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පිළිවන් විය. ඔහුට නැවතත් කැබිනට් ඇමතිවරයෙකු වන්නට අවස්ථාව ලැබුණේ 1924 දී මැක්මඩානල්ඩ් විසින් පිහිටුවනු ලැබූ ආණ්ඩුව යටතේ ය. එම වතාවේ ඔහුට ස්වදේශ කටයුතු භාර ඇමති පදවිය පැවරිණ. 1921 සිට 1931 දක්වා බලයට පැමිණි සිටි සමාජවාදී ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා වූයේ හෙන්ඩර්සන් ය. එහෙත් 1931 දී ජාතික ආණ්ඩුව පිහිටුවීමත් සමඟ ඔහුට අසුන් ගන්නට වූයේ විරුද්ධ පක්ෂයේ ය.

හෙන්ඩර්සන් විශේෂ කීර්තියට පත් වූයේ ජාතීන් නිරායුධ කරලීමේ ප්‍රශ්නය උඩ ය. එ් අතින් විශේෂ උද්‍යෝගයකින් ක්‍රියා කළ ඔහු ඒ ගැන මහජනයා හමුවේ නිතර නිතර කරුණු කියා සිටියේ ය. 1932-33 වර්ෂවල ජිනිවාහි පැවැත්වුණු ජගත් නිරායුධ සම්මේලනයේ සභාපති පදවිය දරන ලද්දේ හෙන්ඩර්සන් විසිනි. 1934 දී පිරිනැමුණු සාමය පිළිබඳ නොබොල් ත්‍යාගය ආතර් හෙන්ඩර්සන්ට හිමි විය.

(කර්තෘ: විමල් අබේසුන්දර: 1956)

(සංස්කරණය ‍නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආතර්_හෙන්ඩර්සන්&oldid=4522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි