ආනන්තර්යකර්ම
අනතුරු අත්බැව්හි නියමයෙන් ම විපාක උපදවන අකුශලකර්මයයි. එබඳු කර්මයෝ පස්දෙනෙක් වෙති: මාතෘඝාතක, පිතෘඝාතක, අරහන්තඝාතක, ලොහිතුප්පාදක, සංඝභේදක වශයෙනි. 1. මිනිසක් වැ සිට මිනිස් වූ මැ ජනිකාව හෙවත් ස්වකීය මව මැරීම ය, 2. එසේ ම මිනිස් වූ මැ ජනක පියා මැරීමය, 3. මිනිසක් වැ සිට මිනිස් වූ මැ රහත් කෙනකුන් මැරීම ය. 4. වධකචේතනාවෙන් දූෂ්‍ය වූ සිත් ඇති ව ජීවමාන බුදුන් ඇඟ කුඩා මැස්සක බොන පමණකුදු ලේ සෙලැවීමය, 5. සමානසංවාසක වූ හෙයින් සමාන සීමායෙහි සිටි සංඝයා භේද කිරීම ය යන මේ පස් ආනන්තර්යකර්මයෝ පෘථග්ජන වූවකු විසින් ම කරනු ලැබෙති. ආර්යයකු අතින් ආනන්තර්යකර්මයක් සිදු නොවේ. තවද මොහු පස්දෙන උපපද්‍යවේදනීය කර්ම වූවාහු අනතුරු අත්බැව්හි දී මැ විපාක දෙන්නාහුය. යම් ආනන්තර්යකර්මයෙක් දෙවැනි අත්බැව්හි විපාක දීමට නොපැමිණියේ නම් එය අහෝසිකර්ම බවට පැමිණේ.
එහි කර්ම වශයෙන් මිනිසක් වැ සිට මිනිස් වූ මව හෝ පියා හෝ නසන්නහුගේ ම කර්මය ආනන්තරිය වෙයි. ඒ කර්මයාගේ විපාකය වළහාලමි'යි සිතා සක්වළ පුරා හුන් සඟනට මහ දන් දී බුදුන්ගේ සිවුරු කොන නොපියා සිටිය ද මරණින් මතු නිරයෙහි ම උපදනේය. තිරිසන් ආදී මිනිස් නොවූ මවුපියන් මරන්නහුගේ ද තිරිසන් ආදි අත්බැවෙක සිට මරන්නහුගේ ද කර්මය ආනන්තරිය නොවෙයි. එහෙත් ආනන්තරිය සදෘශ වූ බර කර්මයක් වේ. එසේ මැ මිනිස් රහතක්හු මැ මරා ආනන්තරිය කර්මයෙන් බැඳෙයි. මිනිස් නොවූ දේව යක්ෂාදි රහතක්හු නසා ආනන්තරිය සදෘශ වූ කර්මයකින් බැඳෙයි. යමකුට පුහුදුන් කල්හි අවිපහර හෝ විෂ ආදියක් හෝ දෙන ලදුව ඔහු රහත් වැ සිට එයින් මැරේ නම්, අරහන්තඝාතකකර්මය ම වේ.
රුධිරෝත්පාදකර්මයෙහි බුදුන්ගේ සිරුර වජ්රකාය වන බැවින් පරෝපක්‍රමයෙන් සිදුරු කොට ලේ වැගිරීමෙක් නම් නොවේ. එහෙත් සිරුර තුළ මැ එක් තැනෙක ලේ රැස් වෙයි. දෙව්දත් තෙරුන් පෙරළුැ ගලින් බිඳුණු ගල්පතුරු ද බුදුන් ගේ පාදාන්තයෙහි වැදී පාදය තුළ ම හටගත් ලේ ඇති කෙළේය. එසේ කරන්නාහට ආනන්තර්යකර්මය වෙයි. ජීවක තෙමේ තථාගතයන්ගේ රුචියෙන් ම සැතින් විද දුෂ්ට වූ ලේ බැහැර කොට සුවපත් කෙළේය. එය ඉතසිතින් කළ පිළියමක් හෙයින් එසේ කරන්නාහට පින්කම් මැ වේ. තවද බුදුන් පිරිනිවි කළ සධාතුක චෛත්‍යය පිළිම මහබෝ සිඳිනු බිඳිනුවහුට ආනන්තරිය සදෘශ වූ කර්මයෙක් වේ. සංඝභේදයෙහි ද සීමායෙහි සිටි සමානසංවාසක සංඝයා විනයකර්ම-උද්දේසාදි පස් ආකාරයකින් භේද කරනුවහුට ම ආනන්තර්යකර්ම වෙයි. ආනන්තරියකර්ම පස අතුරෙන් සංඝභේදය වාක්කර්ම වෙයි. අන්‍ය සතරදෙනා කායකර්මයෝ වෙත්. සංඝභේදය ගිහිව සිටියක්හු විසින් නොකළ හෙයි.
තවද මෙයින් සංඝභේදකර්මය ම කල්පස්ථායී වෙයි. කල්පය හටගන්නා කල්හි හෝ කල්ප මධ්‍යයෙහි හෝ සංඝභේදය කොට කල්පාන්තයෙහි ම මීදෙයි. ඉදින් සෙට කල්පය විනාශ වේ යයි අද සංඝභේදය කෙරේ නම්, සෙට ම කර්මයෙන් මිදෙයි. හේ එක දවසක් ම නිරයෙහි පැසේ. සෙසු සතර කර්මයෝ ආනන්තරියයෝ වෙති, කල්පස්ථායී නොවෙත්.
විපාක වශයෙන් වූ කලි යමකු විසින් මේ කර්ම පස ම කරන ලද්දාහු නම්, ඔහුට සංඝභේදය ම ප්රතිසන්ධි වශයෙන් විපාක දෙයි, සෙසු කර්මයෝ 'අභූත්කර්මනාභූත්කර්මවිපාක' ආදීන්ගේ වශයෙන් අහෝසි වෙති. සංඝභේදය නැති කල්හි රුධිරෝත්පාදකර්මය විපාක දෙයි. එය නැති කල්හි අරහන්තඝාතය විපාක දෙයි. එය ද නැති කල්හි මාතෘඝාත පිතෘඝාතකර්මයන් අතුරෙහි මවට වඩා පියා සිල්වත් නම් පිතෘඝාතකර්මය ද දෙදෙන සම සම වෙත් නම්, මාතෘඝාතකර්මය ද විපාක දෙයි. මවු තොමෝ දරුවනට බොහෝ උපකාර වන හෙයිනි. සාධාරණාසාධාරණ වශයෙන් මාතෘඝාතාදී සතර ගිහිපැවිදි කවරක්හු විසින් හෝ කළ හැකිය. සංඝභේදය වැලිත් “භික්ඛු ඛො උපාලි, පකතත්තො සමානසංවාසකො සමානසීමායං ඨිතො සංඝංභින්දති”යි වදාළ හෙයින් සමානසංවාසක වූ පියවි උපසපන් මහණක්හු විසින් ම කළ හැකි වෙයි. උපාසක-උපාසිකා-හෙරණ-හෙරැණි–මෙහෙණි කෙනකුන් විසින් නොකළ හැකි වේ.
(සංස්කරණය: 1965)