ආනන්ද රාජවංශය
නාගාර්ජුන කොණ්ඩ සෙල්ලිපිවල සඳහන් වන ආන්ධ්‍රදේශයේ මහාසාංඝික මහානිකායේ උපනිකායක් වූ අන්ධක නිකායේ මහා ආචාර්යවරයකු වූ ද ආන්ධ්‍ර රාජ්‍යයේ ඉක්ෂ්වාකු රජකු වූ ශ්‍රී වීරපුරුෂදත්ත රජතුමාගේ සමකාලිකයකු වූ ද භදන්ත ආනන්ද ස්ථවිරයන්ගේ අනුග්‍රහයෙන් ඇරඹුණු රාජවංශයක් හැටියට සැලකේ. ආනන්ද ගෝත්‍රික අත්තිවර්මන් (හස්තිවර්මන්) රජතුමාගේ ගෝරණ්ටල සන්නසින් මේ රජවරුන් 'ආනන්ද මහර්ෂි වංශ සමුද්භුත' වූවන් බව පැවසේ. ඔවුන්ගේ වංශයට 'කන්දරනෘපතිකුල' (කන්දරරාජකුල) යන නාමය ද ඔවුන්ගේ ම සන්නසක සඳහන්ව ඇත. මේ රාජවංශයේ ගෝත්‍රනාමය ගැන ද රාජපරිපාටිය හා වකවානු ගැන ද ඉතිහාසඥයන් අතර මතභේද රාශියක් පවතී.
මේ රජවරුන්ගේ අගනුවර පිහිටා තුබුණේ 'කන්දරපුර' නම් තැනකය. මෙය දැනට ගුන්තූර් ප්‍රදේශයේ කෘෂ්ණා ගඟබඩ පිහිටි 'චෙසෙර්ලා' නමැති ස්ථානය දෝයි ඇතැමෙක් සිතත්. කන්දරපුරය ගොඩ නඟන ලද්දේ 'කන්දර' නමැති රජකු විසිනැයි සැලකේ.
ආනන්ද වංශික රජුන් තිදෙනකු ගැන ඔවුන්ගේ සන්නස්වල කරුණු සඳහන් වේ. කන්දර, අත්තිවර්මන් (හස්තිවර්මන්) සහ දාමෝදරවර්මන් මේ තිදෙනායි. මේ තිදෙනාගෙන් කවරෙක් පළමු රජ වී දැයි අවිනිශ්චිතයි. 'කන්දර' රාජකුලය පටන් ගත යුත්තේ කන්දර නමැත්තකුගෙන් බැවින් ද 'කන්දරපුරය' ගොඩනංවන ලද්දේ කන්දර නමැති රජකු විසින් බැවින් ද කන්දර රජතුමා මේ වංශයේ ප්‍රථමයා හැටියට ගත හැකිය. චෙසෙර්ලා නමැති ස්ථානයේ තිබී හමු වූ සන්නසකින් කන්දර රජතුමා කෘෂ්ණවෙණ්ණා නදියට ද ත්‍රිකූට කඳුවැටියට ද කන්දර පුරයට හා ජනපද දෙකකට ද අධිපතිව විසූ බව කියැවේ. එම රජුට පසු රජ බවට පත් වූයේ හස්තිවර්මන් රජුය. මේ දෙදෙනා ම ශිව භක්තිකයන් වූ බව පෙනේ. එහෙත් අවසාන රජු වශයෙන් ගැනෙන දාමෝදරවර්මන් රජු බෞද්ධයකු වූ බව කියැවේ.
ගුන්තූර් ප්‍රදේශය පල්ලවයන්ගෙන් උදුරා ගැනීම කරණකොටගෙන ආනන්ද රාජ වංශය බලයට පත් වූවාක් මෙන් ම මේ රාජ වංශයේ පරිහාණිය සිදුවූයේ ද නිතර නිතර පල්ලවයන් හා ඇති වූ සටන් නිසා යයි කිව හැකිය.
(සංස්කරණය: 1965)