ආන්යාං
මධ්‍යම චීනයේ හෝනාන් පළාතේ පීකිං-හැන්කොව් දුම්රිය මාර්ගයෙහි පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නගරයකි. මෙය ෂාං නොහොත් යිං යුගය නමින් හැඳින්වෙන චීන රාජ වංශයේ රජුන්ගේ (ක්‍රි.පූ. 1523-1027) රාජධානියක් විය. ආන්යාං නගරයෙන් සොයා ගනු ලැබූ පුරාවස්තුවලින් ෂාං ශිෂ්ටාචාරය පිළිබඳ වැදගත් තොරතුරු හෙළි වී ඇත. එවක මෙහි ගොවිතැන අතින් මෙන් ම කර්මාන්ත හා කලාශිල්ප අතින් ද මහත් දියුණුවක් පැවැති බව පෙනේ.
ආන්යාංහි පුරාවිද්‍යාත්මක කටයුතු ආරම්භ වූයේ 1860 දී හ්සියාඹ් තුන් පෙදෙසෙහි වාසය කළ ගොවීන් විසින් ඖෂධ බලයක් ඇති අගනා ඇට කටු වගයක් සොයා ගනු ලැබීමෙනි. ගොවියෝ ඒ ඇටකටු බෙහෙත් ශාලාවලට විකුණා මුදල් ඉපයූහ. 1899 දී පුරාවස්තු ගැන උනන්දුවක් දක්වන්නකුට ඒ ඇටකටු දක්නට ලැබිණි. ගුප්ත බලයක් ඇතැයි සලකනු ලැබූ මෙම ඇටකටුවල කොටා තුබූ පැරණි ලිපිවලින් රජුන් හා පුරෝහිතයන් අතර රාෂ්ට්‍ර පාලනය ගැන ඇති වූ සාකච්ඡාවන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි විය. මේ හේතු කොටගෙන ක්‍රි.පූ සියවස් දෙක තුනකට වැඩියෙන් ඈතට නොදිවූ චීන ඉතිහාසය තව සියවස් අටළොසක් පමණ අතීතයට දීවේය.
ආන්යාං නිර්මාණයන් අතුරෙහි රාජකීය සොහොන් ගැබ් ඉතා වැදගත් වේ. සාමාන්‍ය නිර්මාණ ලක්ෂණ අනුව මේවා මිසර පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගැබ්වලට සමානය. කෙළින් හෑරූ ගැඹුරු ආවාටයක කාමරවලට බෙදා තනන ලද ප්‍රධාන ගැබ තුළ මෘතදේහය තැන්පත් කර තුබුණේය. ඒ අවටින් පිහිටි කුඩා සොහොන් ගැබ් අතවැසියන් සඳහා වෙන් කරන ලද්දේ විය. ඇතැම් විට ප්‍රධානයකු ඔහු ගමන් බිමන් යෑමට පාවිච්චි කළ අස්රියත් සමඟ වළලා ඇති බව පුරාවිද්‍යා පරීක්ෂණවලින් හෙළි වී තිබේ. සොහොන් ගැබ් තුළින් සොයා ගනු ලැබූ සිතුවම් ෂාං යුගයේ චීන සිතුවම් කලාව හැදෑරීමට උපකාර වේ.
මෙහි පුරාවස්තු අතුරෙහි වූ ලෝකඩ අවිආයුධ සන්නාහ, ලෝකඩින් සහ ඇත්දතින් නිම වූ මූර්ති කැටයම්, විසිතුරු කැටයමින් සැරසූ ලිපි සහිත භාජන ආදියෙන් ක්‍රිස්තු පූර්ව අවුරුදු දහසකට ඔබ්බෙහි සිට පැවැත ආ චීන සභ්‍යත්වයෙහි අගය වටහාගත හැකි වේ.
ආන්යාංහි පුරාවස්තු කැණීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්‍රියර් කලායතනය සහ චීනයේ ජාතික පර්යේෂණායතනය මගින් 1928 දී ආරම්භ කරන ලදි. සොරසතුරු උවදුරු සහ චීන-ජපන් යුද අරගළ හේතුකොටගෙන පුරාවස්තු කැණීම්වලට මහත් බාධා පැමුණුණු නමුදු අදත් මෙහි පුරාවිද්‍යා ගවේෂණය නොකඩවා කරගෙන යනු ලැබේ.
(සංස්කරණය: 1965)