ආබාධිතයන්ගේ අධ්‍යාපනය
අධ්‍යාපනය ලැබීම සෑම දරුවකු ම සතු උරුමයකි. රටක දියුණුව බොහෝවිට මනිනු ලබන්නේ අකුරු උගත් රටවැසියන්ගේ සංඛ්‍යාවෙනි. එම නිසා ඒ ඒ රජය සිය ආදායමෙන් විශාල ප්‍රමාණයක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැය කරයි. එසේ වුව ද සියලු දරුවෝ ම ප්‍රකෘතියෙන් සමාන නොවෙති. සෑම රටක ම ආබාධිත දරුවන් සංඛ්‍යාවක් ද ඇත්තේය. මොවුන්ගෙන් සමහරෙක් බිහිරෝය; සමහරෙක් ගොළුවෝය; සමහරෙක් අන්ධයෝය; සමහරෙක් අංග විකලයෝය; සමහරෙක් වාත රෝගීහුය නැතහොත් සියුමැලියෝය; සමහරෙක් මානසික රෝගීහුය. මෙසේ මේ සියල්ලන් ප්‍රකෘතියෙන් ම ආබාධිත වුව ද ඔවුනුත් දරුවන් බව සැලකිය යුතු කරුණකි. ඔවුහු ද සාමාන්‍ය දරුවන් මෙන් සහජ ගතිගුණ හා ඕනෑඑපාකම් ඇත්තෝය. සාමාන්‍ය දරුවන් කෙරෙහි දක්නට ලැබෙන සිතුම්පැතුම් හා බැරිපුළුවන්කම් ආදිය එලෙසින් ම මොවුන් කෙරෙහි ද දක්නට ලැබේ. එබැවින් සෙසු දරුවන් මෙන් ම දයාව සහ ආරක්ෂාව ලැබීමට මොවුහු ද සුදුස්සෝය. වැඩදායක අධ්‍යාපනයක් ලැබීමට සාමාන්‍ය ළමයින් සතු අයිතිය යථෝක්ත ආබාධිත දරුවන්ට ද තිබෙයි. වැඩි වයසට පත් වූ කල ඔව්හු ද සමාජයේ වැදගත් කොටසක් වෙති. එහෙයින් ඔවුන් සමාජයේ තෘප්තියට පත් වූ පිරිසක් කළයුතුය. සුදුසු අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබාදී ඔවුන් සමාජයට බරක් නොවන සේ වගකිව යුතු නිදහස් රටවැසියන් නොකළහොත් ඔවුන්ට සමාජයේ සෑහීමට පත් සාමාජිකයන් විය නොහැකිය.
සෑම දරුවකුට ම ඔහුගේ අවශ්‍යකම අනුව අධ්‍යාපනයක් දියයුතුය යනු ප්‍රගතිශීල බටහිර රාජ්‍යයන් විසින් නීතියෙන් කරන ලද නියෝගයකි. මේ නියෝගය ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය කරන රටවල වෙසෙන ආබාධිත සියලු දරුවෝ ම ඔවුන්ගේ අවශ්‍යකම් අනුව අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබති. ආබාධිතයන්ට පිහිටෝපකාර වැඩියක් අවශ්‍ය හෙයින් ඒ රටවල ආණ්ඩු සාමාන්‍ය දරුවකුට වඩා වැඩි වැයක් ආබාධිත දරුවකු වෙනුවෙන් කරති. ඒ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් විශේෂ ආයතනවලින් පුහුණුව ලැබිය යුත්තෝ වෙති. සමහර කෙනකුන්ට ප්‍රයෝජනයක් ලැබිය හැක්කේ එබඳු පුහුණුවකින් පමණි. ඇතැම් කෙනෙක් ආරෝග්‍යශාලාවන්හි බොහෝ කාලයක් නැවැතී ප්‍රතිකාර ලැබිය යුත්තෝය. ඒවායෙහි නැවැතී සිටින කාලවල පවා ඔවුන්ගේ අධ්‍යාපනය ගැන නොසලකා සිටිය නොහැකිය. තවද ගුරුවරයා සමහරුන්ගේ ගෙදරට ම යායුතුය. ආබාධිත වූ තම දරුවන් රැකබලා ගන්නා මවුපියන්ට ද තම කාර්‍යයට අවශ්‍ය පුහුණුව ලබාදීම ආබාධිතයන්ගේ අධ්‍යාපනය සඳහා සැකසුණු වැඩ පිළිවෙළේ ම කොටසකි.
ආබාධිත ළමයින් වෙනුවෙන් එබඳු විශාල වගකීමක් ලක්රජය තව ම කරට ගෙන නැතත්, ඒ කටයුත්ත කෙරේ එහි සානුකම්ප අවධානය යොමු වී ඇති බව කිවයුතුය. ආබාධිතයන් විශාල සංඛ්‍යාවක් ලංකාවෙහි ද සිටින බව රජය පිළිගෙන තිබේ. ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන ආයතනවලට පසුගිය හතළිස් වස තුළ රජය විසින් මුදලින් ආධාර කරන ලද්දේ එහෙයිනි. මෑතක දී අඳ-බිහිරි ශුභසාධක ජාතික සභාව ඇති කිරීමට මූලික වීමෙන් ද ක්‍රි.ව. 1957 දක්වා හතළිස් වසක් මුළුල්ලේ ස්වේච්ඡාසේවක සංගමයක් මඟින් සිදුවේ පවත්වා ගෙන ආ අඳ-බිහිරි කර්මාන්තශාලාව රජයේ පාලනය යටතට ගැනීමෙන් ද අඳ-බිහිරන් සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට උපදෙස් ලබාගැනීම් වස් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට අයත් විශේෂඥයන් පත්කර ගැනීමෙන් ද රටේ සිටිනා ආබාධිතයන්ගේ තතු දැනහැඳින ගැනීම් වස් පරීක්ෂණයක් කැරවීමෙන් ද ආබාධිතයන්ගේ හිත සුව පිණිස ශුභ සාධක නිලධරයන් කීපදෙනකුන් පත්කිරීමෙන් ද රජය විශේෂ උනන්දුවක් දක්වා තිබේ. තව ද අන්ධයන් සහ බිහිරන් සඳහා පාඨශාලා රාශියක් ද පුනරුත්ථාන මධ්‍යස්ථාන ද විවෘත කිරීමට වැඩ පිළිවෙළක් සකස් කොට ඇත. අන්ධයන් සහ බිහිරන් සඳහා පිළියෙල වූ මේ ස්ථිර වැඩපිළිවෙළ වෙනත් ආබාධිතයන් වෙනුවෙන් ද යොදා ඒ සේවාව පළල් කිරීම රජයේ අභිප්‍රායයි. ආබාධිතයන් සඳහා ඇතිකරන ලද ආයතනයන්ගේ සංඛ්‍යාව එතරම් විශාල නොවුව ද මෙම ව්‍යාපාරය පළල් කිරීමේ දී දැනට පවත්නා ආයතන බෙහෙවින් උපස්තම්භක කරගත හැකි වෙයි. ස්වේච්ඡා සේවක සභාවල උද්‍යෝගය මෙකී ආයතනයන් ඇති කොට දියුණු කිරීමෙන් ප්‍රකාශ වේ. මේ සම්බන්ධයෙන් ක්‍රිස්තු භක්තික මිෂනාරිවරුන්ගෙන් සිදු වූ සේවය ප්‍රශංසනීයය. අඳ-බිහිරි පාසලක් පිහිටුවීමෙන් ආබාධිතයන්ගේ ශුභසිද්ධිය සඳහා කටයුතු ආරම්භ කළ එංගලන්ත සභාවට අයත් සෙනානා මීසමේ (Zenana Mission) මේරි එෆ් චැප්මන් මෙණෙවිය ගැන මෙහි දී සඳහන් කළ මනාය.
පැරණි සිංහල රජ දරුවන් ද ආබාධිතයන් වෙනුවෙන් අනාථාගාර, දානශාලා, භෝගශාලා හා ආරෝග්‍යශාලාදිය කරවීමෙන් ඔවුන්ගේ ශුභසිද්ධිය උදෙසා කටයුතු කළ බව ලංකා ඉතිහාසයෙන් හෙළි වෙයි. [[[ආරෝග්‍ය ශාලා (පුරාණ ලංකාවේ)]] බලන්න.]
වාග් විකලයකින් පෙළෙන දරුවන්ගේ හෝ බෙලහීන දරුවන්ගේ හෝ හිතසුව පිණිස වූ ආයතන දැනට ලංකාවේ ඇත්තේ නැත. වාග් විකලයකින් පෙළෙන දරුවන් වෙනුවෙන් ස්කැන්ඩිනේවියානු රටවල කැරෙන සේවය ඉතා අගනේය. ඉතා සාර්ථක ප්‍රතිඵල ද ලබා ඇත්තේය.
විවර වූ උඩුතල්ල ඇති දරුවන්ට කෘත්‍රිම තල්ලක ආධාරයෙන් කථා කිරීමට පවා අවස්ථාව සලසා ඇත. ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය යන රටවල බෙලහීන දරුවන් සඳහා විශිෂ්ට සේවා පවත්වා ගෙන යනු ලැබේ. සමහර දරුවෝ පාඨශාලාවන්හි ම නතර කරගනු ලබති. සමහරුන් ආරෝග්‍යශාලාවන්හි සිටිතත් ඔවුන්ගේ අධ්‍යාපනය නොකඩවා ගෙනයන්ට කටයුතු යොදා තිබේ. ආබාධිතයන්ගේ ශුභසිද්ධිය පිණිස දැනට ලංකාවේ පවත්නා ආයතන:
පටුන
ශාරීරික ආබාධයකින් පෙළෙන්නවුන් සඳහා
කොර ළමයින් සඳහා වූ නිවාසයක් කොළඹ පිහිටුවා ඇත. අංගවිකල වූ ළමයින්ට සහ වැඩිමහල්ලන්ට ප්‍රතිකාර කිරීම පිණිසත් කෘත්‍රිම අත්පා සවිකිරීම පිණිසත් හැකි නම් ප්‍රකෘති තත්වය ලබා දීම පිණිසත් අංගවිකල වූවන්ට ආරෝග්‍ය ශාලාවක් රජය මගින් පිහිටුවා ඇත්තේය. වර්ෂ 1955 දී අංගවිකලයන්ගේ ශුභ සාධනය සඳහා ජාතික සභාවක් ද ඇතිකරන ලදි. වැඩිමහලු පිළුන්ට මෙකී ආයතනයෙන් කරනු ලබන සේවාව උදාරය. 1935 දී ඒ.එච්. නැතෑනියෙල්ස් මහතා විසින් අංගවිකල දරුවන්ගේ ශුභ සාධක සමිතියක් ආරම්භ කරන ලදි.
ඉගෙනීමට දුර්වල ළමයින් සඳහා
මානසික තත්ත්වයෙන් දුබල වූ ළමයින් සඳහා නිවාසයක් මහරගම පිහිටුවා ඇත. මෙම ආයතනය පාලනය කරනු ලබන්නේ ළදරු තරුණ ශුභ සාධක ජාතික සභාව විසිනි. මෙය මානසික වශයෙන් ආබාධිත වූවන්ට ප්‍රතිකාර කිරීමට මුල පිරීමක් පමණි. මෙරට මනසින් දුබල ළමයින්ගේ සංඛ්‍යාව අති විශාලය. එහෙත් ඔවුන් සඳහා වූ ක්‍රමවත් වැඩ පිළිවෙළක් තව ම සැලසී නැත. යථෝක්ත ආයතනයෙන් පිළියම් කරනු ලබන්නේ ළමයින් විසි දෙනකුන්ට පමණි. ඔවුන්ට ඉගැන්විය හැකි දෙයක් උගන්වන අතර විනෝදය සඳහා අවශ්‍ය උපකරණ ද සපයනු ලැබේ. මෙකී ගණයට අයත් ළමයින් තරමක් හොඳ යාන්ත්‍රික ශිල්පීන් වශයෙන් පුහුණු කිරීමට සමහර රටවලට පුළුවන් වී තිබේ. අනාගතයේ දී ලංකාවේ ද මෙය කළ නොහැකි වීමට හේතුවක් නැත්තේය.
බිහිරන් සඳහා
රත්මලානේ බිහිරි පාසැල
මෙය 1912 දී එංගලන්ත සභාවේ සෙනානා මීසමට අයත් මේරි එෆ්. චැප්මන් මෙණෙවිය විසින් පිහිටුවන ලදී. මෙම පාසල දැනට පාලනය වන්නේ ලංකා මෙහි අඳ-බිහිරි පාසල් පාලක සභාව මගිනි. මෙහි අධ්‍යාපනය ලබන බිහිරි ළමයින්ගේ සංඛ්‍යාව 195කි. ඉන් 20 දෙනෙකු හැර සෙස්සෝ නේවාසිකයෝ වෙති.
1935 දී පිහිටුවන ලද රාගම ශාන්ත ජෝසප් අඳ-බිහිරි පාසල
මෙම ආයතනය පාලනය කරනු ලබන්නේ 'සදා අසරණ සරණ අප දේව මාතාවන්ගේ' කන්‍යා සහෝදරියන් විසිනි. ගැහැනු පිරිමි විශේෂයක් නොමැතිව මෙහි ඉගෙනුම ලබන බිහිරන්ගේ සංඛ්‍යාව 98කි. මොවුහු සියලු දෙනා නේවාසිකයෝ වෙති.
1956 දී ආරම්භ කරන ලද නෆීල්ඩ් අඳ - බිහිරි පාසල
මෙය පිහිටා ඇත්තේ යාපනේ කයිතඩි ප්‍රදේශයෙහිය. මෙම පාසල පාලනය වන්නේ ද ලංකා අඳ-බිහිරි පාසල් පාලක සභාව මගිනි. දෙමළ පෙදෙසක පාසල පිහිටි හෙයින් ඉගැන්වීමේ මාධ්‍යය දෙමළ බසයි. මෙහි බිහිරි ළමයින් 60 දෙනෙක් නේවාසිකව ඉගෙනුම ලබති.
1920 දී සීදූවේ බිහිරන් සඳහා පිහිටු වූ කර්මාන්තශාලාව
මෙය ආරම්භ කරන ලද්දේ රත්මලානේ අඳ-බිහිරි පාසලේ ජ්‍යෙෂ්ඨ ශාඛාව වශයෙනි. 1957 දී මෙහි පාලනය සමාජ සේවා දෙපාර්තමේන්තුවට පැවරුණේය.
මෙරට සිටින බිහිරි ළමයින්ගේ සංඛ්‍යාව අධිකය. ඒ නිසා තවතවත් පාසල් අවශ්‍යය. රත්මලානේ බිහිරි පාසලට ඇතුළුවීම සඳහා ලියා පදිංචිවී සිටින්නන්ගේ සංඛ්‍යාව 300කි. මොවුන්ගෙන් වැඩි දෙනකුන්ට මෙහි ඇතුළුවීමට අවස්ථාවක් නොලැබෙන්නේය. පාසලෙහි ඉඩකඩ ඇතිවන විට ඔවුන් ළමා විය ඉක්මවූවන් වීම එයට හේතුවය.
(1) බිහිරි (2) හොඳට ම බිහිරි (3) තරමක් බිහිරි යනුවෙන් බිහිරි අය තුන් කොටසකට වෙන් කළහැකිය. 'තරමක් බිහිරි' ගණයට අයත් වූවන්ට කෙසේ හෝ කටයුතු කර ගැනීමට පිළිවන. එසේ නැතහොත් ඔවුන්ට ශ්‍රවණආධාරකවල මාර්ගයෙන් ශ්‍රවණය පහසුකර ගතහැකිය. එහෙත් පළමුවන දෙවන වර්ගයන්ට අයත් බිහිරි අය විශේෂ ආයතනයන්හි නතර කරවා ඉගැන්වීම කළයුතුය. ඉහත සඳහන් කරන ලද ආයතනවල බිහිරි ළමයින්ට ඉගැන්වීම සඳහා සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන ක්‍රම කිහිපයකි. එනම්: කථන ක්‍රමය, සංඥා ක්‍රමය, අකුරු ක්‍රමය, හස්ත-මුඛ ක්‍රමය යන මේවායි. ලංකාවේ බිහිරි පාසල් අනුගමනය කරන්නේ කථන ක්‍රමයයි. කථන සහ සංඥා යන ක්‍රමද්වයේ සංකලනයෙන් සැදුණු හස්ත-මුඛ ක්‍රමය ස්කැන්ඩිනේවියානු රටවලට සීමා වූවකි. ඇමෙරිකාවේ භාවිත වන්නේ කථන හා අකුරු ක්‍රමය යන දෙක්හි සංකලනයෙන් සකස් කරගත් ක්‍රමයකි. මහා බ්‍රිතාන්‍යයේ බිහිරි ළමයින් අතර භාවිත වන්නේ කථන ක්‍රමයයි.
වෘද්ධ බිහිරන් සඳහා අන් රටවල පවත්නා අධ්‍යාපන ආයතන සහ මිෂනාරි ව්‍යාපාර බොහෝයි. මිෂනාරිවරුන් ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නේ සංඥා ක්‍රමයයි.
බිහිරන්ට ඉගැන්වීම සඳහා ලංකාවේ ගුරුවරුන් පුහුණු කරනු ලබන්නේ බිහිරි පාසල්හි දී මය. විදේශයන්හි පුහුණුව ලත් ගුරුවරු කිහිප දෙනෙක් ද ලංකාවේ සිටිති. ගුරුවරුන් සඳහා විශේෂ සහතික පත්‍ර විභාගයක් 1960 සිට රජය මගින් පැවැත්වෙයි. බිහිරි පාසල්වල ශ්‍රවණ-ආධාරක උපකරණ පාවිච්චියට ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. ලංකාවේ තිබෙන සෑම බිහිරි පාසලක ම මෙකී උපකරණ මැනැවින් පාවිච්චි කරනු පෙනේ.
රැකීරක්ෂා
වඩු වැඩ, ගෙතීම, මැහීම, කුකුළන් ඇතිකිරීම, මල් පලතුරු ආදිය වැවීම, මුද්‍රණ ශිල්පය, ප්ලෑන් ඇඳීම, වේවැල් වැඩ, රෙදි විවීම ආදි වෘත්තීන්හි යෙදීමට ලංකාවේ බිහිරෝ පුහුණුව ලබති. බැංකු වැඩ, ඡායාරූප ශිල්පය ආදි වෘත්තීන්හි බිහිරන් ලෙහෙසියෙන් යෙදවිය හැකිය. ලංකාවේ බිහිරන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් වෙළෙඳ ආයතනවල සුළු සේවකයන් වශයෙන් කටයුතු කරති.
අන්ධයන් සඳහා
රත්මලානේ අද පාසල
1912 දී එංගලන්ත සභාවේ සෙනානා මීසමට අයත් මේරි එෆ්. චැප්මන් මෙණෙවිය විසින් මෙය පිහිටුවන ලදි. මෙම පාසල දැනට පාලනය වන්නේ ලංකා අඳ-බිහිරි පාසල් පාලක සභාව මඟිනි. අධ්‍යාපනය ලබන අවුරුදු 3–21 අතර වයස ඇති අන්ධ ගැහැනු පිරිමි ළමයින්ගේ ගණන 200කි. මොවුහු සියල්ලෝ ම නේවාසිකයෝ වෙති. ඉගැන්වීමේ මාධ්‍යය සිංහල භාෂාවයි. ඉංග්‍රීසිය අනිවාර්යය දෙවන භාෂාව වේ. සාමාන්‍ය පාසලක අධ්‍යාපන පටිපාටිය මෙහි ද අනුගමනය කරනු ලැබේ. කනිෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර විභාගයට පෙනී සිටීමට ඔවුහු මෙහි දී පුහුණුව ලබති. විශේෂ දක්ෂතාවන් ඇති ළමයි පාඨශාලා සහතික පත්‍ර විභාගයට පුහුණු කරවීම පිණිස සාමාන්‍ය පාසලකට යවනු ලබත්.
රාගම ශාන්ත ජෝසප් කතෝලික අඳ-බිහිරි පාසල
මෙහි ඉගැනුම ලබන අන්ධ ගැහැනු පිරිමි ළමයින්ගේ ගණන 22කි. පිරිමි ළමයින් මෙහි නතර කරගනු ලබන්නේ වයස අවුරුදු 15 දක්වා පමණි.
යාපනයේ කයිතඩිහි නැෆීල්ඩ් අඳ-බිහිරි පාසල
මෙහි අඳ ළමයි 10 දෙනෙක් වෙති.
මේ පාසල්වල ලඝු ලේඛනය, ටයිප් ගැසීම, ටැලිපෝන් ක්‍රියා කරවීම, පොත්බැඳීම, අංග සම්බාහනය (ඇඟ පිරිමැදීම), වේවැල් වැඩ, රෙදි විවීම, ගෙතීම, මැහීම, ලණු විවීම, පැදුරු විවීම යන වෘත්තීන්හි හා ගෘහකර්මාන්තයන්හි අන්ධයෝ මැනවින් පුහුණුව ලබති. සංගීතයත් නාට්‍යයත් යන දෙකට අන්ධයෝ විශේෂ කුශලතාවක් දක්වත්.
ඉහත කී පාසල් සහ ආයතන හැරුණු විට අන්ධයන්ට ම විශේෂ වූ තවත් ආයතන කිහිපයක් ඇත්තේය. 1958 දී සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සමාජ සේවා ජාතික සභාව විසින් මාදම්පේ පිහිටුවන ලද ළදරු අඳ නිවසක් ද වෙයි. මෙම ආයතනය ඉතා මෑතක දී ඇති කරන ලද්දක් හෙයින් මෙහි නිවැසි ළදරු අඳ ළමයින්ගේ සංඛ්‍යාව 7කි. 1958 මාර්තු මාසයේ දී සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය විසින් ද කොළඹ බුලර්ස් පාරේ මහලු අඳ ගැහැනු නිවාසයක් පිහිටුවන ලදි. මෙහි එක්වරකට ගැහැනුන් 20 බැගින් නවතාගෙන ගෘහ සේවිකාවන් වීමට පුහුණුව දෙනු ලැබේ.
1920 දී සීදූවේ අන්ධයන් සඳහා පිහිටුවූ කර්මාන්ත ශාලාව
අන්ධයන් 50 දෙනකු වැඩ කරන 'ගෘහසේවක ක්‍රමයක්' මෙයට සම්බන්ධව පවතී. 1955 දී ලංකා අඳ-බිහිරි පාසල් සභාව විසින් ආරම්භ කරන ලද නිවාස ක්‍රමය දැන් නිවාස සහ සමාජසේවා අමාත්‍යාංශයට භාර දී ඇත. මෙකී ගෙවල්වලින් 30ක ම අඳ මිනිස්සු ද කිහිපයක බිහිරි මිනිස්සු ද පදිංචි වී සිටිති.
තවද ගුරුවරුන්, සංගීතාචාර්යවරුන්, පොත් බඳින්නන්, ග්‍රන්ථ කර්තෘවරුන්, පුස්තකාලයාධිකාරීන් හා අත්වැඩකරුවන් වශයෙන් ද අඳ මිනිස්සු බොහෝ දෙනෙක් රක්ෂාවල නියුක්තව සිටිති. සිදූවේ කර්මාන්ත ශාලාවේ බ්රේල් අච්චු කන්තෝරුවක් ද ප්ලාස්ටික් බොත්තම් සෑදීමේ කර්මාන්තයක් හා වාත්තු කර්මාන්තයක් ද අරඹා ඇත. ආබාධිතයන් උදෙසා ශුභ සාධක නිලධාරියකු වශයෙන් කටයුතු කරන අන්ධයෙක් ද රජයේ ලඝුලේඛන හා ටයිප් ගැසීමෙහි නියුක්ත අන්ධයෝ දෙදෙනෙක් ද සිටිති.
ලංකාවේ මහලු අඳ මිනිසුන්ට සාමාන්‍යයෙන් රක්ෂා ස්ථානය වන්නේ රජය විසින් පවත්වා ගෙන යනු ලබන මහලු මඩම්ය. අන් රටවල ද මහල්ලන් හා අඳ ආබාධිතයන් සඳහා මහලු මඩම් පිහිටුවා ඇත. තවත් බොහෝ රටවල ඔවුන් සඳහා වූ ලැගුම්හල් ද වේ. රක්ෂාවක් කරගත නොහී අසරණ වූ මහල්ලන් සඳහා වූ ආයතන ද මෙකී රටවල ඇත. කිසියම් කර්මාන්තයෙක යෙදවිය නොහැකි අන්ධයෝ මෙකී ආයතන මගින් විශේෂ කටයුතු වල යොදවනු ලැබෙත්.
1958 දී කොළඹ සිංහ සමාජයේ නිලධාරීන් විසින් අඳ මිනිසුන්ගේ සංකේතය වන සුදුවේවැල මෙහි ද භාවිතයට පුරුදු කරවන ලදී. සුදු වේවැලක් අතෙහි ඇතිව මාර්ගයෙහි ගමන් කරන මිනිසකු දුටු විට ඔහු අන්ධයකු බව සලකා ඔහුට යෑමට ඉඩහැරිය යුතුය. ලෝකයේ ප්‍රගතිශිල හැම රටක ම පවත්නා මේ සිරිත ලංකාවේ රියැදුරන් විසින් ද පිළිපැදිය යුතුය යනු දැන් සම්මතව ඇත.
අන්ධයන්ට උගන්වන්නේ බ්රේල් ක්‍රමය උපයෝගී කරගැනීමෙනි. ඉංග්‍රීසි, සිංහල, දෙමළ යන මාධ්‍ය තුනෙන් ම බ්රේල්ක්‍රමය අනුව ඉගැන්වීම කරනු ලැබේ. තවද අන්ධයන්ට ඉගැන්වීමේ දී උපයෝගී කරගනු ලබන විවිධ උපකරණ රාශියක් ඇත්තේය. මෙකී උපකරණයන්ගෙන් ඉතා වැදගත් වනුයේ බ්රේල් පොත්, බ්රේල් ලියන යන්ත්‍ර, ටේලර් ගණිත රාමු, අඩිකෝදු, මිනුම් (ටේප්) පටි, බ්රේල් ලඝුලේඛන යන්ත්‍ර, සිතියම්, 'කතා කරන' පොත් හා ක්‍රීඩා භාණ්ඩ යන මේවායි. මේ සඳහා උපයෝගී කරගන්නා ගණිත උපකරණ, ක්‍රීඩා උපකරණ හා ගෘහභාණ්ඩ රාශියක් ද වෙයි. මෙකී උපකරණ මෙන් ම බිහිරන් සඳහා වූ ශ්‍රවණ-ආධාරක හා ශ්‍රවණ-මානක උපකරණ ද කොරුන් සඳහා වූ රෝද පුටු, කෘත්‍රිම අත්පා යනාදි උපකරණ ද අධික මිලක් දී ගත යුතු ඵ්වායි. කොතෙක් මිල අධික වුවද ඒවා අත්‍යවශ්‍යය. ආබාධිතයන්ගේ අධ්‍යාපනය සඳහා වැයවන මුදල ඉතා අධික බැවින් සමහර රටවල ආණ්ඩු එම වගකීම සම්පුර්ණයෙන් ම කරට ගෙන නැති බව පෙනේ. ආබාධිතයන්ගේ අධ්‍යාපනය සැබැවින් ම හුදෙක් රජයේ ම වගකීම විය නොහේ. එය සෑම පුද්ගලයෙකුම සතු වගකීමකි. ආබාධිතයන්ගේ අධ්‍යාපනය මුලින් ම ආරම්භ කරන ලද්දේ ස්වේච්ඡා සේවක සමිති මාර්ගයෙනි. මෙසේ පටන් ගන්නා ලද ආබාධිතයන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු වත් ම රජය ද වැඩි උනන්දුවක් දක්වමින් ක්‍රමයෙන් ආබාධිතයන්ගේ අධ්‍යාපනය පිළිබඳ වගකීමට හවුල්වන්නට විය. ඇතැම් රාජ්‍යයන් මෙකී වගකීම සම්පුර්ණයෙන් ම සියතට ගෙන ඇත. එහෙත් ස්වේච්ඡා සේවක ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යා යුතුය. ආබාධිතයන්ගේ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වනුයේ ආබාධිතයන්ට නිසි වයස් පැමිණි කල සැලැකිය යුතු පුරවැසියන් ලෙස ජීවත් වීමට අවස්ථා සලසා දීමයි. එම නිසා එක් එක් වර්ගයේ ආබාධිතයන් සඳහා වෙන් වෙන් විශේෂ අධ්‍යාපන ආයතන පිහිටුවීම නියම පිළියම නොවේ යයි කෙනෙක් පවසති. එබඳු විශේෂ ආයතනවලින් ආබාධිතයන් මුල් අවස්ථාවේ දී රැකබලා ගැනීම සම්පූර්ණයෙන් අවශ්‍යය යනු සමහරුන්ගේ මතය වේ. විශේෂ ආයතනයකින් ලැබෙන ආරක්ෂාව සහ පුහුණුව ආබාධිතයන්ට දෙනු ලබන නියම පිළියම යයි තවත් කෙනෙක් පවසති. ආබාධිතයන් සඳහා විශේෂ ආයතන අවශ්‍යය යනු සාමාන්‍යයෙන් පිළිගතයුත්තකි. ආබාධිතයා සාමාන්‍ය පාසැලකට යැව්වහොත් ඔහුගේ බැරිකම් තවත් කැපී පෙනෙන හෙයිනි. අන්‍යයන්ගේ පරිහාසයට හෝ අනුකම්පාවට ලක්වන ඔහු කෙරෙහි ඇතිවිය හැකි චෛතසික විපර්යාසය ඔහුට ම හානිකරය. තවද සාමාන්‍ය පාසැලක දී ආබාධිතයාගේ අවශ්‍යකම් අනුව විශේෂ පහසුකම් සැලසිය නොහැකිය. එහෙත් ඒ සඳහා වෙන් වූ පාසැලක නම් ආබාධිතයාගේ අවශ්‍යකර්‍ම අනුව සෑම දෙයක් ම සංවිධානය කළ හැකිය. ආබාධිත ළදරුවාට ඔහුගේ සහජ දක්ෂතාවන් අනුව ක්‍රමානුකූල අධ්‍යාපනයක් දිය යුතුය. එවිට හේ ප්‍රයෝජනවත් පුරවැසියකු පමණක් නොව සමාජය හොබවන්නෙක් ද වන්නේය. සහජ දක්ෂතාවන් අනුව ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලත් ආබාධිතයන් අතුරෙන් විශ්වවිද්‍යාල මහාචාර්‍යයවරුන්, නීතිඥයන්, පාර්ලිමේන්තු නියෝජිතයන්, ඉංජිනේරුවන් හා පාලකයන් ඇති වූ බව කිවයුතුය. එක් කලෙක එංගලන්තයේ තැපැල්පති ධුරය අන්ධයකු විසින් දරන ලද්දේය. බිහිරන් සහ පිළුන් අතුරෙන් ද වෙළෙඳ ව්‍යාපාරිකයන්, ගෘහනිර්මාණ ශිල්පීන්, බෙහෙත් පිළියෙල කරන්නන් ආදින් ඇති වූ බව පෙනේ. අංග විකල වූවන් අතර කවියන්, ලේඛකයන්, පාර්ලිමේන්තු නියෝජිතයන් හා දෘශ්‍යකාව්‍ය රචකයෝ වෙති. මෙකී සියලු දෙන ම ඔවුන්ට ගැළපෙන අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලද්දෝ වෙති. අනාගතයේ දීත් එබඳු පුද්ගලයන් ඇති නොවීමට හේතුවක් නැත්තේය. මෑතක දී ලෝකයේ නානා දිශාභාගයන්ගෙන් පැමිණ කොළඹ දී එක් රැස් වූ ශ්‍රේෂ්ඨ අඳ මිනිසුන්ගේ සමාගමය අප බොහෝ දෙනකුන්ට දක්නට ලැබිණ. ඔවුන් හමු වූ සෑම කෙනකුන් කෙරෙහි ම ඇති වූයේ ප්‍රබෝධකර හැඟීම්ය. අප රටේ ආබාධිතයන්ට ද ක්‍රමානුකූල අධ්‍යාපනයක් දී ඔවුන් යටකී ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ තත්ත්වයට පැමිණ වුවහොත් එය මුළු ජාතියේ ම මහත් ආඩම්බරයට කරුණක් වන්නේය; මුළු සමාජයට ම මහත් ශාන්තියක් ද වන්නේය.
(සංස්කරණය: 1965)