ආභිධම්මික
ධම්මසංගණි ආදි සප්තප්‍රකරණාගත ධර්මය ඉගෙන ප්‍රකාශ කරන තැනැත්තේයැ. මේ බුදුසසුන්හි ධර්මකථිකයෝ නම් ආභිධම්මික භික්ෂූහු ම යයි ශාසනිකයෝ සලකති. "ආභිධම්මික භික්ඛුයෙව කිර ධම්මකථිකා නාම" (අත්ථසාලිනි) යී දක්වන ලද්දේ එහෙයිනි. අභිධර්මය නොහදාරා දහම් දෙසන්නාහු ද ඇත. එහෙත් ඔහු ධර්මකථිකයෝ නොවෙති. කුමක් හෙයින්ද යත්: ඔව්හු දහම් දෙසමින් කර්මාන්තර විපාකාන්තර රූපාරූප පරිච්ඡේද හා ධර්මාන්තර ආකුල කෙරෙමින් දෙසති. ආභිධම්මිකයා හෙවත් අභිධර්මය හදාළ තැනැත්තේ වනාහි ධර්මාන්තරය ආලෝළනය නොකෙරෙයි. එහෙයින් ආභිධම්මික මහණ දහම් දෙසන්නේ වේවයි නොදෙසන්නේ වේව යි ධර්මය පිළිබඳ ප්‍රශ්නයක් නැගුණු කල්හි නිරාකුල කොට පිළිතුරු දෙන්නේය. එහෙයින් ආභිධම්මිකයා ම ඒකාන්තයෙන් ධර්ම කථිකයා නම් වේ. මහාගෝසිඞග සූත්‍රාන්තයෙහි “මොග්ගල්ලානො හි සාරිපුත්ත ධම්ම කථිකො” (ශාරිපුත්‍රයෙනි, මෞද්ගල්‍යායනයෝ ධර්මකථික වූහ) යි වදාරන ලද්දේ “අභිධර්ම කථායෙහි යෙදුණු ආභිධම්මික භික්ෂූන් දෙදෙනකුන් නිසා ගෝසිඞ්ගසාලවනය හොබනේ” යයි ප්‍රකාශ කිරීම නිමිති කොටගෙනය. මේ පුවතින් 'ආභිධම්මික' බව ධර්මකථිකයාගේ පූර්ණ ලක්ෂණය සේ වදාරන ලදැ යි පිළිගත යුතුය. ආභිධම්මිකයකු වීමට යටත් පිරිසෙයින් නාමරූප පරිච්ඡේද ඥානය හෝ තිබිය යුතුය.
බුදුහු ම ප්‍රථම ආභිධම්මික වූහ යි අත්ථසාලිනිය පවසයි. ආභිධම්මික ආචාර්‍ය්‍ය පරම්පරායෙහි ආදි ම වූවාහු ධම්සෙනෙවි සැරයුත් මහතෙරණුවෝය. එයින් පසු භද්දජි සොහිත පියජාලී පියපාල පියදස්සී කොසියපුත්ත සිග්ගව සන්දෙහ මොග්ගලීපුත්ත සුදත්ත ධම්මිය දාසක සොනක රෙවත (අත්ථසාලිනි) යනාදි තෙරුවරු තුන්වැනි සඞ්ගීති කාලය දක්වා දඹදිව වැඩසිටි ආභිධම්මික පරම්පරායෙහි වූයේය. මහින්දාදි මහතෙරුවරුන් විසින් අතැවැසියනට අභිධර්මපිටකය පුහුණු කරවන ලදින් මෙරට ආභිධම්මික ආචාර්‍ය්‍ය පරම්පරාව පහළ විය. අතීතයෙහි සියම් බුරුම ආදි විදේශයන්හි ද ආභිධම්මිකයන් ව්‍යාප්තව ගිය හෙයින් මෙකල් දක්වා ආභිධම්මික භික්ෂූන්ගෙන් බුදුසසුන නොසිස්ව පවත්නේය.
“අද්ධමිදං භික්ඛවෙ ලාභානං යදිදං ධම්මකථි කත්තං” (අංගුත්තර නිකාය) යනුවෙන් ධර්ම කථික බව හෙවත් ආභිධම්මිකයකු වීම ප්‍රත්‍යය ලාභයට ඒකාන්ත කාරණයකැයි බුදුන් විසිනුදු වදාරන ලද්දේය. මෙසේ හෙයින් හැමකල්හි ම වේනයික සුත්තන්තිකයනට වඩා ආභිධම්මිකයා විශේෂ තැනක් ගෙන සිටුනේය. මිහින්තලා සෙල්ලිපියෙහි “මෙ වෙහෙරැ වැසැ වනවළා කියන බික්සඟ් හිමියනට් කඩින් පිඬින් වසග් පසක් ඉසා සුතත්වළා කියන බික්සඟ් හිමියනට් වසග් සතක් ඉසා, බිදම්වළා කියන බික්සඟ් හිමියනට් වසග් දොළොසක් ඉසා දියයුතුය”යි වේනයික සුත්තන්තික දෙදෙනාටම දියයුතු ප්‍රත්‍යය ප්‍රමාණය එක ම ආභිධම්මිකයාට දියයුතු කොට විධාන කිරීමෙන් ආභිධම්මිකයා වැඩි බුහුමන් ලැබූ බව පෙනෙයි. මෙහි “බිදම්වලා කියන”යී ආභිධම්මිකයා දැක්විණ. සුතත්වළා කියනුයේ සුත්තන්තිකයායැ. වනවළා කියනුයේ වේනයිකයායි.
පෙරැ ලක්දිව ගෘහස්ථයන් අතුරෙහිදු බොහෝ ආභිධම්මිකයෝ වූහ. කසුප් V (914-923) රජතුමා ද මහාධර්මධරයෙක් විය. එරජු මිරිසවැටි ධර්මශාලාවෙහි නුවරුන් හා භික්ෂූන් පිරිවරා හිඳ බුද්ධලීලායෙන් අභිධර්මය දේශනා කළ බව මහාවංසයෙහි (52. 48) සඳහන් වේ. එරජු ම අභිධර්මපිටකය රන්පත ලියවා දම්සඟුණු පොතට විශේෂ පුද පෙරහැර තැබ්බූ බව සඳහන් වේ. තුන්වන දෙටුතිස් රජුගේ (ක්‍රි.ව. 632) දේවිය තුන්වසකින් අභිධර්මය ඉගෙන සඟමැද අභිධර්මයෙන් දේශනා පැවැත්වූ බව මහාවංසයෙහි සඳහන් වෙයි.
(සංස්කරණය: 1965)