ආයාත හා නිර්යාත
(Imports and Exports). කිසියම් රටකට පිටරටවලින් ගෙන්වනු ලබන භාණ්ඩ ඒ රටේ ආයාතය; එරටින් පිටරටවලට යවනු ලබන භාණ්ඩ එහි නිර්යාතයි. රටක ආයාත හා නිර්යාත රේගුවේ නිලධාරීන්ගේ ද වරායේ නිලධාරීන්ගේ ද පරීක්ෂණයට ලක්වෙයි. එහෙයින් ඒ භාණ්ඩ ආයාත හා නිර්යාත සාරාංශයෙහි සඳහන් කරනු ලැබේ. මෙම සාරාංශයෙහි ඇතුළත් නොවෙතත් රටකින් රටකට ගෙවිය යුතු වූ හෝ රටකින් රටකට ලැබිය යුතු වූ හෝ නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, බැංකු ගාස්තු, සංචාරක වියහියදම් වැනි සමහර දෑ නියම වශයෙන් ආයාත හා නිර්යාත වේ. ඉහත කී සාරාංශයෙහි සඳහන් නොවුව ද මේවා රටක ගෙවුම් ශේෂයෙහි ඉතා වැදගත් තැනක් ගනී. රේගුවේ සහ වරායේ සාරාංශවල සටහන් කරනු ලබන ආයාත හා නිර්යාත 'දෘශ්‍ය' (visible) යයි ද එසේ සටහන් නොවන දෙවැනි වර්ගයේ ආයාත හා නිර්යාත 'අදෘශ්‍ය' (invisible) යයි කියනු ලැබේ.
දෘශ්‍ය හෝ වේවා අදෘශ්‍ය හෝ වේවා විදේශීය රටක් සමඟ ඇති කරගන්නා ගනුදෙනුවක් වෙනුවෙන් එරටට මුදල් ගෙවිය යුතුවේ නම් ඒ ගනුදෙනුව මුදල් ගෙවන රටේ ආයාතයක් වේ. එමෙන්ම යම් ගනුදෙනුවක් උදෙසා පිටරටකින් රටකට මුදල් ගෙවනු ලැබේ නම් ඒ ගනුදෙනුව මුදල් ලබන රටේ නිර්යාතයකි.
සියලු ම ආර්ථික ඕනෑඑපාකම් සියරට තුළින් ම පිරිමසා ගැනීමට ප්රයත්න දරන ජන සමූහයකට ලබාගත හැකි වනුයේ පහත් වූ ජීවන තත්වයකි. වෙළෙහෙළෙඳාම නොතිබුණ කාලයේ දී පවා සුළු වශයෙන් වුව ද රටවල් හෝ පෙදෙස් අතර භාණ්ඩ හුවමාරුවක් පැවතුණේය. නූතන මිනිසා ස්වකීය ඕනෑඑපාකම් පිරිමසා ගැනීමට අවශ්‍ය සියලු භාණ්ඩ සියතින් ම නිපදවා ගන්නේ ඉතා ම කලාතුරකිනි. ඔහුගේ ඕනෑඑපාකම් පිරිමසාගැනීම සඳහා වෙනත් අය සමඟ ගනුදෙනුවල යෙදීම ඉතා අවශ්‍යය. පුද්ගලයාට වෙනත් අය සමඟ ගනුදෙනුවල නොයෙදී තම ඕනෑඑපාකම් පිරිමසා ගත නොහැකිවාක් මෙන් ම රටකට ද ජාත්‍යන්තර වෙළෙඳාමෙහි නොයෙදී සිය ආර්ථික ජීවිතය පවත්වා ගෙන යා නොහැක්කේය. ඒසා දියුණුවූත් ස්වයංපෝෂිතවූත් රටක් වන ඇමෙරිකාව වුව ද එරට විශාල මෝටර් රථ කර්මාන්තය නඩත්තු කරගන්නේ ජාවා, ලංකාව, මැලේසියාව වැනි රටවල රබර්වලිනි. පිටරටවල් සමඟ වෙළෙඳ ගනුදෙනු නොමැතිව ඇමෙරිකාවට තේ, කොකෝවා වැනි වැදගත් පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමට නුපුළුවන. ඇමෙරිකානු ජනතාව වර්ෂයකට ඩොලර් දස ලක්ෂ 200කට වැඩි ප්‍රමාණයක් තේ සඳහා වියදම් කරයි. බස්නාහිර යුරෝපීය රටවලට නොයෙක් කර්මාන්ත හා ව්‍යාපාර සඳහා වුවමනා වන කපු, හණ, පටනූල් සහ වෙනත් අමු ද්‍රව්‍ය ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය ආදී රටවලින් සහ මධ්‍යධරණී ප්‍රදේශවලින් ගෙන්වනු ලැබේ.
ලංකාවේ ජාතික ආදායමෙන් තුනෙන් එක පංගුවක් පමණ උපදින්නේ නිර්යාතවලිනි. ලංකාවේ පවත්නාක් බඳු නිර්යාත ආර්ථික ක්‍රමයක් (export-economy) ඇති රටක නිර්යාත අඩු වැඩි වන විට ද විදේශීය වෙළෙඳ අනුපාතය (terms of trads) වෙනස් වන විට ද ජාතික ආදායමේත් පෞද්ගලික ආදායමේත් විපර්යාස ඇති වී මුළු ආර්ථික තත්වය ම වෙනස් වෙයි. විදේශීය වෙළෙඳ අනුපාතය අසතුටුදායක වුවහොත් වෙළෙඳ හිඟකම් (trade deficits) ඇති වී රටේ විදේශීය වත්කම් ද හීනවන්නට පුළුවන. නිර්යාත මගින් ලැබෙන පෞද්ගලික ආදායම් අඩු වූ විට නිෂ්පාදනයට ද එහෙයින් සේවා නියුක්තියට ද හානි සිදුවිය හැකිය. තේ, රබර්, පොල් වැනි කෘෂිකාර්මික භාණ්ඩ නිර්යාත වශයෙන් විදේශයන්ට යවන රටක් ලබන ආදායම නිතර වෙනස්වනසුලුයි. ඊට හේතුව කෘෂිකාර්මික ද්‍රව්‍ය මිල නිතර උස් පහත් වීමයි. කෘෂිකාර්මික ද්‍රව්‍ය මිල තරමක් දුරටවත් ස්ථාවර කරනු සඳහා ඒවා වෙළෙඳාම් කරන රටවල් මඟින් ජාත්‍යන්තර ස්ථායීකරණ වැඩපිළිවෙළවල් සංවිධානය කොට ඇත. තව ද නිර්යාත අංශයේ කටයුතු ගණනාවකට ම විශේෂ ආධාර දීම මෙවැනි රටවල සිරිතකි.
නිර්යාත ආර්ථික ක්‍රමයක් ඇති ලංකාව වැනි රටක පරිභෝජනයට අවශ්‍ය ආහාරපාන රෙදිපිළී ආදියෙනුත් නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ ආදියෙනුත් වැඩි කොටසක් පිටින් ගෙන්වා ගනු ලැබේ.
ලංකාණ්ඩුව විසින් ආයාත වශයෙන් ගෙන්වාගන්නා භාණ්ඩ වර්ග පිළිබඳ සංඛ්‍යා විස්තර ආහාරපාන, රෙදිපිළි, අනෙකුත් පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ යනුවෙන් කොටස් වශයෙන් ලංකා මහා බැංකුවේ විවරණිකාවේ පළ කරනු ලැබේ. මේ සංඛ්‍යා විස්තර සලකා බලන කල අපේ ආයාත අතුරෙන් වැඩි ප්‍රමාණයක් පරිභෝජනය සඳහා යෙදෙන බැව් වැටහේ. පරිභෝජනයට අවශ්‍ය වන භාණ්ඩ මෙතරම් විශාල ප්‍රමාණයක් පිටරටවලින් ගෙන්වා ගැනීමට සිදුවීම අපේ ආර්ථික ක්රමයේ ඇත්තා වූ තදබල දුර්වලතාවකි. ඇතැම් වර්ෂවල දී ආයාත වටිනාකම නිර්යාත වටිනාකමට වඩා අධික වීම නිසා අසතුටුදායක වෙළෙඳ ශේෂ තිබුණු බව ලංකා මහා බැංකු විවරණිකාවල සඳහන් වෙයි. වර්ෂ 1952 දී රුපියල් දසලක්ෂ 200කත්, වර්ෂ 1953 දී රුපියල් දස ලක්ෂ 40කත්, වර්ෂ 1957 දී රුපියල් දස ලක්ෂ 122කත්, වර්ෂ 1958 දී රුපියල් දස ලක්ෂ 6කත්, වර්ෂ 1959 දී රුපියල් දස ලක්ෂ 251කත්, වර්ෂ 1960 දී රුපියල් දස ලක්ෂ 128කත් මුදල් හිඟයක් ඇතිවුණු බව පෙනේ. දැනට ආයාත වශයෙන් ගෙනෙනු ලබන මේ විශාල භාණ්ඩ ප්‍රමාණයෙන් පුළුවන් තරමක් අප රටෙහි ම නිපදවා ගැනීම හෙවත් ආයාත ආදේශනය (import substitution) මෙරට දස අවුරුදු සැලැස්මෙහි එක් විශේෂ අරමුණකි. විශේෂයෙන් ම ආර්ථික සංවර්ධනය සහ කාර්මිකකරණය ඇතිකර ගැනීමට ප්රයත්න දරන ලංකාව වැනි රටකට යන්ත්‍රෝපකරණ, අමු ද්‍රව්‍ය වර්ග සහ ශිල්පඥානය පවා පිට රටවලින් සපයා ගැනීමට සිදුවෙයි. ආර්ථීක සංවර්ධනය සහ කාර්මිකකරණය අරමුණු කොටගෙන සකස් කරන ලද ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරගෙන යෑමේ දී අවශ්‍ය විය හැකි විදේශීය මුදල් මෙතෙකැයි සීමා කළ නොහේ. එහෙයින් ආහාරපාන, රෙදිපිළි වැනි පාරිභෝගික භාණ්ඩ උදෙසා විදේශීය මුදල් එතරම් ප්‍රමාණයක් වියදම් කිරීම නොවටී. පාරිභෝගික ආයාත සීමා කිරීම ආර්ථික සැලැස්මක් ගෙන යැමේ දී කළ යුතු මූලික කටයුත්තකි.
ලංකාව මෙන් බ්‍රිතාන්‍ය ද පරිභෝජනයට අවශ්‍ය ආහාරපාන වර්ග සහ කාර්මික කටයුතුවලට වුවමනා අමු ද්‍රව්‍ය වර්ග වැඩි ප්‍රමාණයක් ආයාත වශයෙන් ගෙන්වන රටකි. සමහර විට බ්‍රිතාන්‍ය වෙළෙඳ ශේෂයෙහි ද තදබල හිඟකම් ඇති වන්නේය. ආයාත භාණ්ඩවල මිල කෙරෙහි කිසිම බලපෑමක් බ්‍රිතාන්‍යයට ද ඇති කරගත නොහැකි වීම මීට හේතුවයි. ආහාරපාන ආයාතවල හෝ අමු ද්‍රව්‍ය ආයාතවල මිල අධික වීම බ්‍රිතාන්‍යයේ මිල උද්ධමන ඇති වීමට තරම් හේතු වූ අවස්ථා ඇත.
බ්‍රිතාන්‍යයේ ආර්ථික ක්‍රමය කෙරෙහි ආයාත අසතුටුදායක අන්දමට බලපෑ හැකි වුව ද එරට නිර්යාත ආදායම කෘෂිකාර්මික රටවල මෙන් නිතර වෙනස් නොවෙයි. ඊට හේතුව ඒ රටේ ප්‍රධාන නිර්යාත කාර්මික භාණ්ඩ වීමයි. කාර්මික භාණ්ඩ නියත වශයෙන් පිටරට යවන රටක නිර්යාත ආදායම නිතර පාහේ වෙනස්වනසුලු නොවේ. කෘෂිකාර්මික ද්‍රව්‍ය පිටරට යවන්නාවූ ලංකාව වැනි රටකට ස්වකීය නිර්යාතවල මිල කිසිසේත් නිශ්චය කළ නොහැකිය. කෘෂිකාර්මික ද්‍රව්‍ය පිටරට යවන එක් එක් රටක් සපයන්නේ ලෝක වෙළෙඳ සැපයුමෙන් ඉතා සුළු කොටසකි. එහෙයින් ලෝක වෙළෙද ඉල්ලුම හා සැපයුම අනුව කෘෂිකාර්මික ද්‍රව්‍ය මිල නිශ්චය වෙයි. මේ නිසා කාර්මික භාණ්ඩ නිර්යාත කිසිවක් නැත්තාවූත් කෘෂිකාර්මික නිර්යාත පමණක් ඇත්තාවූත් රටක ආර්ථික ක්‍රමය දුර්වල වීම නියතයි. කෘෂිකාර්මික රටවල් කාර්මිකකරණය ඇති කරගැනීමට උත්සුක වන්නේ මේ කාරණය වටහා ගැනීම නිසාය. ආයාත සීමා කිරීම, ආයාත ආදේශනය ඇති කිරීම, නිර්යාත කටයුතු දියුණු කිරීම, කාර්මික කටයුතු ඇරඹීම ආදිය විශේෂයෙන් ම අග්නිදිග ආසියාතික රටවල ආර්ථික සංවර්ධන සැලැස්මවල සඳහන් වන ප්‍රධාන අරමුණු අතුරෙන් සමහරකි. විදේශීය මුදල් වියදම සීමා කිරීම, විදේශීය මුදල් හැකි පමණ ඉතුරු කර ගැනීම සහ විදේශීය මුදල් ඉපයීමේ මාර්ග දියුණු කර ගැනීම ලංකාවේ දස අවුරුදු ආර්ථික සැලැස්මෙහි විශේෂයෙන් සඳහන් වන ප්‍රධාන කාර්යය කිහිපයකි. මූලික නිර්යාත දියුණු කිරීම මෙම සැලැස්මෙහි සඳහන් වන වැඩ පිළිවෙළවල් අතුරෙන් ප්‍රධාන එකකි. නැවත වගා කිරීම සහ පරණ වැවිලි දියුණු කිරීම මේ වැඩපිළිවෙළෙහි විශේෂ ලක්ෂණයකි. දස අවුරුදු ආර්ථික සැලැස්මේ අන්තය වන 1968 දී එහි සදහන් වැඩ පිළිවෙළ අනුව ලංකාවේ ශුද්ධ නිර්යාත ආදායම රුපියල් දස ලක්ෂ 559ක් විය යුතු බව සැලැස්ම සම්පාදනය කළවුන්ගේ අදහස විය.
(සංස්කරණය: 1965)