ආයුර්දාය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජන්ම පත්‍රයක ග්‍රහයන් සිටි ආකාරය අනුව එය හිමියාට ඒ ඒ ග්‍රහයන්ගෙන් හා ලග්නයෙන් ලැබෙන ආයුෂ ප්‍රමාණය සොයන ගණිත ක්‍රමය ආයුර්දාය (ගණිතය) නම් වේ. මය, මණිත්ථ, යවන, ශක්තිපූර්ව (පරාශර), වෛද්‍යනාථ, ජීවශර්ම, සත්‍යාචාර්‍ය්‍යආදීන් විසින් ආයු නිර්ණය කිරීම සඳහා ගණිත ක්‍රම කීපයක් දක්වා තිබේ. සූර්‍ය්‍යාදි ග්‍රහයන් පරම උච්චස්ථානවල සිටි කල ක්‍රමයෙන් වර්ෂ 19, 25, 15, 12, 15, 21, 20 යන ගණන් ඔවුන්ගෙන් ලැබෙන පරමායුෂ වශයෙන් දැක්වේ. පරම නීච ස්ථානගත ග්‍රහයාගේ ආයුෂයෙන් අර්ධයක් අඩුවෙයි. උච්ච පරම නීච දෙකට අතරේ සිටි ග්‍රහයා පිළිබඳ ආයුෂ ප්‍රමාණය ග්‍රහභුක්තභාග අනුව ත්‍රෛරාශික ක්‍රමයෙන් ගතයුතුයි. මෙපරිද්දෙන් ලැබෙන වර්ෂාදියට අන්තරාලායුෂ යන නම ව්‍යවහාර කරති. උච්චයෙන් පහ වූ (බැස්ස) ග්‍රහයන්ගේ අන්තරාලායුෂය පරමෝච්ච ගණනින් අඩු කිරීමෙන් ද නීචයෙන් නැංග ග්‍රහයන්ගේ අන්තරාලායුෂය පරම නීච වර්ෂ ගණනට එකතු කිරීමෙන් ද ග්‍රහයන්ගේ පිණ්ඩායුර්දාය සොයා ගැනීමට නියමිතය. ඉන් පසු ලග්නායුර්දාය සෙවිය යුතුය. ලග්නායුර්දාය වූකලි නවාංශකයට එක් වර්ෂය බැගින් ලග්නයෙන් උදා වූ නවාංශක ගණනට වර්ෂ ගණන් ගැනීමය. ලග්නයෙන් ගත වූ අංශක ගණන නවයෙන් වැඩි කොට තිහෙන් බෙදීමෙන් ලැබෙන ඵලය වර්ෂ වශයෙන් ද ශේෂය දොළසින් වැඩිකොට තිහෙන් බෙදීමෙන් ලැබෙන ඵලය මාස වශයෙන් ද ශේෂය දින වශයෙන් ද ගැනීමෙන් ලග්නායුර්දාය ලැබේ. මේ පිළිබඳ මතභේද කීපයකි. ලග්නායුර්දාය සෙවීමෙන් පසු වක්‍ර වූ ග්‍රහයන් හැර ශත්‍රැක්ෂේත්‍රගත ග්‍රහයන්ගේ පිණ්ඩායුෂයෙන් තුනෙන් කොටසක් හැරදැමිය යුතුයි. මීට ශත්‍රැක්ෂේත්‍රහරණ යයි ව්‍යවහාර කරත්. කිවි ශනි දෙදෙන හැර අස්ත වූ අනිකුත් ග්‍රහයන්ගේ පිණ්ඩායුෂයෙන් අර්ධයක් හැර දැමීමට අස්තංගතහරණ යයි කියත්. ඊළඟට දොළොස් වැන්න ආදි භාවයන් ඇසුරු කළ ග්‍රහයන්ගේ පිණ්ඩායුෂ ගණනින් අඩු කළ යුතු ප්‍රමාණය ව්‍යයාදිහරණ නමින් හැඳින්වේ. ව්‍යයාදිහරණයට අනතුරුව උත්පත්ති කාලයෙහි පාප ග්‍රහයෙක් ලග්නයෙහි වී නම් ඊට නියමිත ප්‍රමාණය පිණ්ඩායුර්දායයෙන් හැර දැමිය යුතුයි. මීට ක්‍රෑරෝදයහරණ යයි ව්‍යවහාර කරත්. මෙකී හරණයන්ට අනතුරුව ශේෂව තිබෙන ග්‍රහවර්ෂාදිය හා ලග්නායුර්දාය ද එක් කළ විට ජීවිත ව්‍යාප්ත කාලය ලැබේ. මෙපරිද්දෙන් ලැබෙන වර්ෂ එකකට දින 360ක් ඇති සාවනවර්ෂ බැවින් 360න් ගුණ කොට 365න් බෙදා ලත් ඵලය සෞර වර්ෂ ගණනින් වන ආයු ප්‍රමාණයයි. මේ හැර ලග්නාධිපති-අෂ්ටමාධිපති, ජන්මලග්න-චන්ද්‍රලග්න, ජන්මලග්න-හෝරාලග්න අනුව දීර්ඝ, මධ්‍යම, අල්ප යන ආයු විනිශ්චය කිරීමක් ද පරාශර හෝරා ශාස්ත්‍ර, ජෛමිනීය සූත්‍ර ආදියෙහි දැක්වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආයුර්දාය&oldid=6440" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි