ඇකීමේනියානු අධිරාජ්‍යය
බටහිර ආසියාවේ දැනට ඉරානය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ ක්‍රි.පූ. 6 වන සියවසේ දී බිහි වූ විශාල අධිරාජ්‍යයකි. නිරිත දිග ඉරානයේ කුඩා රාජ්‍යයක් ලෙස මුල පිරූ මෙය සුළු කාලයක් තුළ දී එතෙක් කල් ලොව පහළ වූ විශාල ම අධිරාජ්‍යය බවට පත් විය. ඇකිමේනියානු අධිරාජ්‍යයේ උච්චතම අවස්ථාවේ දී එය එක් අතකින් සුළු ආසියාව දක්වාත් අනෙක් අතින් ඉන්දු නදී නිම්නය සහ ඔක්සස් නදිය ආශ්‍රිත බාල්ක් ප්‍රදේශය දක්වාත් විහිද පැවැත්තේය.
දේශපාලනය අතින් පමණක් නොව සංස්කෘතිය අතින් ද ඇකිමේනියානු අධිරාජ්‍යයට විශේෂ තැනක් අයත් වේ. ඇකිමේනියානු අධිරාජයන් යටතේ ඇති වූ සංස්කෘතික ප්‍රබෝධයේ සලකුණු අද දක්වාත් සුසා, ඒක්බතානා (වර්තමාන හමදාන්) සහ පර්සිපොලිස් යන ස්ථානයන්හි ඇති පුරා විද්‍යාත්මක නෂ්ටාවශේෂයන්ගෙන් දැක්ක හැකිය.
ඓතිහාසික මූලාශ්‍රයෝ:
ඇකිමේනියානු ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් මූලාශ්‍රයක් ලෙස සැලකිය හැක්කේ ග්‍රීක වාර්තායි. ග්‍රීක වාර්තාකරුවන් අතර ද වැදගත් ම ස්ථානය දිය යුත්තේ ඉතිහාසයේ ආදි පිතෘවරයා ලෙස හැඳින්වෙන හෙරොඩෝටස්ටය. හෙරොඩෝටස් විසින් අධිරාජ්‍යයේ සීමාවන් පිළිබඳවත් විශේෂයෙන් ක්‍ෂත්‍රප ක්‍රමය ඇතුළු සංස්ථාවන් පිළිබඳවත් විස්තරාත්මක වාර්තා සපයා ඇත. තවත් වැදගත් ග්‍රීක වාර්තාකරුවන් දෙදෙනෙක් නම් ටේසියාස් (Ktesias) හා සෙනොfපන් (Kenophon) යන මොව්හුයි. මොවුන් හැරෙන්නට ඇලෙක්සැන්ඩර් රජු පිළිබඳව විස්තර සැපයූ ඉතිහාසඥයනුත් ඇකිමේනියානු රාජ්‍යය පිළිබඳව වාර්තා සපයා ඇත. මෙකී ග්‍රන්ථාගත මූලාශ්‍රයන් හැර වැදගත් පුරා විද්‍යාත්මක සාධකයෝ ද වෙත්. ඇකිමේනියානු අධිරාජයන් බොහෝ දෙනකු විසින් නිකුත් කරන ලද ශිලා ලේඛන සහ පුවරු ලිපි සෑහෙන සංඛ්‍යාවක් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත. ඇකිමේනියානු ලේඛන බෙහිස්තූන්, පර්සිපොලිස්, නක්ස්-ඉං-රස්ටම් සහ හමදාන් යන ස්ථානයන්ගෙන් ලබාගෙන ඇත. අධිරාජ්‍යයට යටත්ව තිබූ ප්‍රදේශ පිළිබඳව ශිලාලිපිවලින් ලැබෙන සාධක හෙරොඩෝටස්ගේ වාර්තාවේ සත්‍යතාව හෙළි කරයි. ශිලාලේඛන හැරෙන්නට පුරාවිද්‍යාත්මක නටබුන් ද ඇකිමේනියානු අධිරාජයන්ගේ ශ්‍රී විභූතිය සහ ඔවුන් යටතේ පැවැති සංස්කෘතික දියුණුව හැදෑරීමේ දී වැදගත් වේ. මේ නටබුන් අතර සූසා, පර්සිපොලිස් සහ ඒක්බතානා යන පාලන මධ්‍යස්ථානයන්හි ඇති "අපදාන" නම් රැස්වීශාලා ගොඩනැඟිලි ද නක්ස්-ඉ-රස්ටම්හි ඇති රාජකීය සොහොන් කොත් ද විශේෂයෙන් සඳහන් කළ මනායි.
ඇකිමේනියානු ඉතිහාසය හැදෑරීමේ දී ඊට පෙර ඉතිහාසය පිළිබඳව අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. ක්‍රි.පූ. පළමුවන සහස්‍රවර්ෂය ආරම්භයේ දී බටහිර ආසියාවේ වූ වැදගත් සිද්ධියක් නම් ඉරාන පෙදෙසට අලුතින් ආර්ය සංක්‍රමණයක් ඇති වීමයි. මේ අවස්ථාවේ, දිගු කලක් තිස්සේ පැවැති රාජ්‍ය කිහිපයක් මේ පෙදෙසේ විය. ඊලාම්, මෙසපොටේමියා, බැබිලෝනියා සහ ඇසිරියා යන රාජ්‍යයන් නිසා ආර්ය ජනතාවට මේ පෙදෙස පසුකොට සංක්‍රමණය වීමට අවස්ථාව නොලැබිණ. ඉරාන පෙදෙසේ ජනපද පිහිටුවා ගත් ආර්ය ජනතාවට ඇසිරියානු රාජ්‍යය වැනි රාජ්‍යයන්ගේ තර්ජනයන් මධ්‍යයේ වුව ද ශතවර්ෂ ගණනාවකට පසු රාජ්‍යයන් පිහිටුවා ගැනීමට හැකි විය. ප්‍රථමයෙන් මීඩියා පෙදෙසේත් පසුව දකුණු ඉරාන පෙදෙසේත් රාජ්‍ය පිහිටුවා ගත් ආර්යයෝ අනෙක් රාජ්‍යයන් සියල්ල මැඩ විශාල අධිරාජ්‍යයක් පිහිටුවීමෙහි උත්සුක වූහ. ඇකිමේනියානු අධිරාජ්‍යය මෙහි ප්‍රතිඵලය වී. ඇකිමේනියානු අධිරාජ්‍යය බිහි වූයේ දකුණු ඉරානයට නැතහොත් පර්සිස් යන ප්‍රදේශයට සංක්‍රමණය වූ ආර්ය ජනතාවගෙනි. පර්සිස් නැතහොත් පාර්සිමාෂ් (Parsumaslh) යන ප්‍රදේශය ආශ්‍රිතව බිහි වූ හෙයින් පර්සියානු යන්න ද යෙදේ. ක්‍රි.පූ. 7 වන සියවසෙහි ඇකිමේනිස් යටතේ ඇති වූ කුඩා රාජ්‍යය ඊලාම් රාජ්‍යයේ ආධිපත්‍යය යටතේ විය. රාජ්‍යයේ ප්‍රතිෂ්ඨාපකයා ඇකිමේනිස් නම් වූ හෙයින් රාජ්‍යයට ඇකිමේනියානු යන්න යෙදිණ. උතුරේ වූ මීඩියා රාජ්‍යයේ ව්‍යාප්තියත් සමඟම කුඩා ඇකිමේනියානු රාජ්‍යයට එයට යටත් වන්නට සිදු විය. ඇකිමේනිස්ගෙන් පසුව රාජ්‍යශ්‍රීයට පත් ටියස්පීස් (Tiespes) (ක්‍රි.පූ. 675-640) ශකවරුන්ගේ මීඩියා ආක්‍රමණයෙන් ඇති වුණු දේශපාලන ව්‍යාකුලත්වයෙන් ප්‍රයෝජන ගෙන ළදරු රාජ්‍යයට විශාල මෙහෙයක් කළේය. ටියස්පීස්ගෙන් පසුව ඇකිමේනියානු රාජ්‍යය ඔහුගේ පුත්‍රයන් වූ ඇරියරැම්නිස් (Ariaramnes) 600) අතර බෙදී ගියේය. 1 වන සයිරස්ගේ කාලයට (ක්‍රි.පූ. 640–615) සහ 1 වන සයිරස් (ක්‍රි.පූ. 640-600) අතර බෙදී ගියේය. 1 වන සයිරස්ගේ කාලයට අයත් ඇකිමේනියානු ආදි ම ලිපිය යැයි සැලකෙන හමදාන් ලේඛනයෙන් මේ කාලය වන විට පර්සියානුවරුන් ලබා හුන් දියුණුව මැනගත හැකිය. හමදාන් ලේඛනයෙන් පැහැදිලි වන දෙයක් නම්, මුල් යුගයේ පටන්ම පර්සියන්වරුන් තුළ, විදේශීය අදහස් තමනට ගැළපෙන අන්දමින් සකස් කර ගැනීමට තිබූ දක්ෂතාවයි.
ඇකිමේනියානු රාජ්‍යයේ ප්‍රථම ශ්‍රේෂ්ඨ නරපතියා වශයෙන් පිළිගැනෙන්නේ මහා සයිරස් (ක්‍රි.පූ. 559–529) රජතුමායි. හේ තම අගනුවර වශයෙන් පසාර්ගදී (Pasargadae) තෝරා ගත්තේය. සයිරස් රජතුමන් යටතේ ඇකිමේනියානු රාජ්‍යය නොයෙක් ප්‍රදේශයන්ට ව්‍යාප්ත වී ගියේය. නැගී එන ඇකිමේනියානු බලය විනාශ කිරීමට මීඩියා රාජයන් ගත් තැත සම්පූර්ණයෙන් ම ව්‍යර්ථ වූවා පමණක් නොව මීඩියාව ඇකිමේනියානු රාජ්‍යයේ යටත් පෙදෙසක් බවට ද පත් විය. මහා සයිරස් රාජයාගෙන් ඉටු වූ වැදගත් ම කාර්යය නම් එක්සත් ඉරානයක් බිහි කිරීමයි. මෙය පර්සියානු ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක ආරම්භයයි.
මහා සයිරස්ට අයත්ව තිබුණු ප්‍රදේශ පිළිබඳව විස්තරයක් හෙරොඩෝටස්ගේ ග්‍රන්ථයේ දැක්වේ. ඊට අනුව සයිරස්ගේ අධිරාජ්‍යය කැස්පියන් මුහුදේ සිට ඉන්දියන් සාගරය දක්වා විහිද තිබිණ (මහා සයිරස්බෙ.).
දේශපාලන බලය ව්‍යාප්ත කර ගැනීමේ දී ඇකිමේනියානු අධිරාජයෝ වැදගත් ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. අධිරාජ්‍යයට අයත් වූ ප්‍රදේශවල විවිධ සංස්කෘතීන් කිහිපයක් විය. රෝම රාජ්‍යයන් මෙන් නොව, මේ සියලු සංස්කෘතීන් එකම ක්‍රමයකට හැඩ ගැස්වීමට ඇකිමේනියානු අධිරාජයෝ තැත් නොකළහ. සයිරස් රජු තුළ වූ පරමාර්ථ අතර මධ්‍යධරණී ප්‍රදේශ සහ සුළු ආසියාව තමන් යටතට ගැනීමත් රාජ්‍යයේ නැගෙනහිර පෙදෙසේ සුරක්ෂිතභාවය රැකගැනීමත් ප්‍රධාන විය.
ක්‍රි.පූ. 539 වැන්නේ දී බැබිලෝනියානු රාජ්‍යය යටත් කර ගැනීමෙන් පසුව සයිරස් තම ප්‍රථම පරමාර්ථය ඉටුකර ගැනීම සඳහා සුළු ආසියාවේ පැවති ග්‍රීක ජනපද කෙරෙහි සිය අවධානය යොමු කෙළේය. මේ ග්‍රීක ජනපද පිළිබඳ ප්‍රශ්නය ඇකිමේනියානු රාජයන්ගේ විදේශ ප්‍රතිපත්තියේ වැදගත් තැනක් ගත්තේය. ඇකිමේනියානු රාජයන් මෙම ජනපද පිළිබඳව මෙතරම් සැලකිල්ලක් දැක්වූයේ ආර්ථික කරුණු මුල් කොට ගෙනය. සුළු ආසියාවේ පැවති ග්‍රීක ජනපද එකල ලෝකයේ පැවති වෙළඳ මධ්‍යස්ථානයන් අතර විශේෂ තැනක් ගත්තේය.
මහා සයිරස් රජුගෙන් පසුව රජ පැමිණි කැම්බයිසීස් (ක්‍රි.පූ. 530–22) රජු සමයේ දී මිසරය ද ඇකිමේනියානු අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. කැම්බයිසීස් සමයේ දී රාජ්‍යයේ ආභ්‍යන්තරික වියවුල් කිහිපයක් පැන නැඟිණි. දේශපාලන ව්‍යාකුලත්වය මඟහරවා රාජ්‍යය නැවතත් ප්‍රතිෂ්ඨාපනය කොටගත හැකි වූයේ මහා ඩේරියස් (ක්‍රි.පූ. 521–486) අධිරාජයාටයි. දේශපාලනය අතින් ඩේරියස්ගේ උසස් ම ජයග්‍රහණය වූයේ මිසරයේ සිට මධ්‍යම ආසියාවේ ජක්සාර්ටිස් (වර්තමාන සීර් දර්යා) නදිය ආශ්‍රිත පෙදෙස දක්වා එක්සත් බවක් බිහි කරලීමයි.
සයිරස් යටතේ පැවති සහනශීල ප්‍රතිපත්තිය බිඳ වැටුණු බව දත් ඩේරියස් රජ තෙමේ රාජ්‍යය ඊට වඩා ස්ථාවර පදනමක් මත ගොඩනැඟීමට පාලන තන්ත්‍රය සංවිධානය කිරීමෙහි උත්සුක විය. හේ මුළු අධිරාජ්‍යය ම ක්‍ෂත්‍රප කොටස් විස්සකට බෙදා එක එක ක්‍ෂත්‍රප කොටස භාරව ක්‍ෂත්‍රප, සේනාපති, ආදායම් රැස්කරන නිලධාරි යනාදි වශයෙන් නිලධාරීන් පත් කළේය; පරිපාලන පහසුව සඳහා අධිරාජ්‍යයේ සෑම ප්‍රදේශයකම ගමනාගමන මාර්ග දියුණු කළේය. මේ මාර්ග පෙර අපර දෙදිග අතර වෙෙළඳාමේ දියුණුවට වැදගත් රුකුලක් විය. ඩේරියස් සමයේ වැදගත් ම දේශපාලන සිද්ධිය නම් ග්‍රීක පර්සියානු අරගළයේ ආරම්භයයි. මේ අවස්ථාව වන විට ඩේරියස්ට යටත්ව නොපැවතුණේ යුරෝපය පමණකි. යුරෝපයත් තමාගේ ආධිපත්‍යය යටතට ගෙන ඒමට කළ ප්‍රයත්නයේ ප්‍රතිඵලයකි, පූර්වෝක්ත අරගළය. ග්‍රීකයන්ට විරුද්ධව ඇරඹූ මේ යුද්ධයේ ප්‍රධාන අවස්ථාවල දී පර්සියානුන්ට ජය අත් වුවත්, පොදු සතුරා ඉදිරියේ ග්‍රීකයන් සංවිධානය වූ හෙයින් මැරතන් යුද්ධයේ දී පර්සියානු නාවික බලය පැරදවීමට ග්‍රීකයන්ට හැකි විය. පර්සියානුන් ප්‍රථම පරාජය මෙය වේ. මිසරවාසීන් විසින් ඇති කරන ලද කැරැල්ල ද පර්සියානුන්ගේ පරාජයට හේතුවක් විය. ඩේරියස් රාජයාහට තම ජීවිත කාලය තුළ දී ග්‍රීකයන් පරාජය කිරීමටත් මිසර වාසීන් මැඩීමටත් නොහැකි විය.
ඩේරියස්ගේ රාජ්‍ය සමය ඇකිමේනියානු අධිරාජ්‍ය ව්‍යාප්තියේ උපරිම අවස්ථාව විය. ශත වර්ෂ එකහමාරක් පමණ පැවති ඇකිමේනියානු අධිරාජ්‍යය රඳා පැවැත්තේ සයිරස් විසින් සකස් කරන ලද්දාවූත් ඩේරියස් විසින් ගොඩනඟන ලද්දාවූත් සංවිධානය මතයි. තව ඉදිරියට දියුණු වීමට නොහැකි වීමත් මේ නිර්මාතෘවරුන් දෙදෙනා විසින් දිනාගන්නා ලද දේ රැක ගැනීමට අපොහොසත් වීමත් රාජ්‍යයේ අවනතියට හේතුවිය. ඩේරියස් ගෙන් පසුව උදා වූයේ පරිහානි සමයකි. ඔහුට පසුව ද කාර්යශූර රජවරුන් පහළ වුව ද රාජ්‍ය පරිහානිය වැළැක්වීමට ඔව්හු සමත් නොවූහ. රාජ්‍ය ලෝභී පුද්ගලයන් නිසා ඇති වූ අභ්‍යන්තර වියවුල් ද රාජ්‍යයේ ශීඝ්‍ර පරිහානියට හේතු වී.
ඩේරියස්ගෙන් පසු සිහසුනට පත් ස'ක්සීස් (ක්‍රි.පූ. 486-465) ග්‍රීකයන්ට විරුද්ධව මෙහෙය වූ ආක්‍රමණයේ ප්‍රථම අවස්ථාවල දී ජය ලැබූ නමුත් අවසානයේ සලාමීස් (ක්‍රි.පූ. 480) සහ ප්ලැටියා (ක්‍රි.පූ. 479) යන ස්ථානවල දී කරන ලද සටන්වල දී පර්සියානුවෝ අන්ත පරාජයට පත් වූහ. මේ සංග්‍රාමයන්හි ප්‍රතිඵලයක් වශයෙන් සුළු ආසියාවෙන් බැහැරව ඩේරියස්ට අයත්ව තිබූ ප්‍රදේශ සියල්ල ම පර්සියානුන්ගේ ග්‍රහණයෙන් ගිලිහී ගියේය. පර්සියානුන්ගේ පරාජයට හේතු වූයේ ග්‍රීකයන්ගේ විශේෂ දක්ෂතාව නොව පර්සියානුන්ගේ දුර්වලතාවයි.
ස'ක්සීස්ගෙන් පසුව ආටස'ක්සීස් I, ඩේරියස් II, ආටස'ක්සීස් II සහ ආටස’ක්සීස් III යන අය පිළිවෙළින් රජ වූහ. ක්ෂත්‍රපවරුන් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම පසුකාලීන රජුන්ට මුහුණ පෑමට සිදු වූ බලවත්ම ප්‍රශ්නයයි. අධිරාජ්‍යය නැවත ගොඩනැඟීමට තරම් කාර්යශූර පුද්ගලයකු වූ ආටස'ක්සීස් III ජීවිතක්ෂයට පත් කිරීම ඇකි මේ නියානු අධිරාජ්‍යයට එල්ල කරන ලද බලවත් පහරක් විය. ඔහුගෙන් පසුව රජ වූ ඩේරියස් III ද ශූර පුද්ගලයකු වුවත් යුරෝපයේ ඇති වුණු අලුත් දේශපාලන වෙනස් වීම් හේතු කොට ගෙන ඔහුට මුහුණ පෑමට වූ කාර්යය ඉතා දුෂ්කර විය. පිලිප් යටතේ මැසිඩෝනියාව බලසම්පන්න බවට පත්වීම පර්සියානු බලයට මහත් තර්ජනයක් විය. fපිලිප් දැමූ පදනම මත එක්සත් වූ ග්‍රීකයෝ ඇලෙක්සැන්ඩර් යටතේ දිග්විජයෙහි යෙදුණාහ. මේ දිග්විජයෙහි වැදගත් ම කාර්යය වූයේ, එකල ලෝකයේ බලවත් ම රාජ්‍යය වූ පර්සියාව යටත්කර ගැනීමයි. ක්‍රමයෙන් සුළු ආසියාව, මිසරය ආදි ප්‍රදේශ යටත් කරගත් ඇලෙක්සැන්ඩර් ගෝගමීලා සටනින් පර්සියානුන් සම්පුර්ණයෙන් ම පරාජය කළේය. ක්‍රි.පූ. 330 දී පර්සි පොලිස් නගරය මහා ඇලෙක්සන්ඩරයන් විසින් ගින්නෙන් විනාශ කරලීමත් සමග ශත වර්ෂ එකහමාරක් පමණ ලෝකයේ ආධිපත්‍යය දැරූ ඇකිමේනියානු අධිරාජ්‍යයේ අවසානය ඇති විය.
ඉන්දියානු ක්ෂත්‍රප මණ්ඩල:
ඇකිමේනියානු අධිරාජ්‍යයේ දේශපාලන ව්‍යාප්තිය ඉන්දියානු ඉතිහාසය හැදෑරීමේ දී ද වැදගත් වන්නේය. ඉන්දියානුන් හා ඉරානවාසීන් අතර සම්බන්ධය මේ දෙජාතීන් ඉන්දු-ඉරාන යනුවෙන් එක ම කොටසක් වශයෙන් විසූ කාලය තෙක් අතීතයට දි වෙන්නේය. කොටස් දෙකකට බෙදී වෙන් වි යෑමෙන් පසුව ඔවුන් නැවතත් මුණ ගැසෙන්නේ ඇකිමේනියානු අධිරාජයන්ගේ යටත් වැසියන් වශයෙනි.
මහා සයිරස්ගේ නැගෙනහිර ආක්‍රමණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවේ කොටසක් ඇකිමේනියානු අධිරාජ්‍යයට යටත් විය. හෙරොඩෝටස්ගේ ග්‍රන්ථයට අනුව සයිරස්ගේ අධිරාජ්‍යයට නැගෙනහිරින් ඩ්‍රැන්ජිඒනා, සත්තගිඩියා සහ ගන්ධරිටිස් යන ප්‍රදේශ අයත් විය. හෙරොඩෝටස්ගේ ග්‍රන්ථයේ ගන්ධරිටිස් යනුවෙන් දැක්වෙන්නේ ඉන්දියාවේ වයඹ දිග පිහිටි පුරාණ ගන්ධාරය සේ ගත හැකිය. සෙනෝfපන්ගේ වාර්තාව අනුව සයිරස් බැක්ට්‍රියානුන් සහ ඉන්දියානුන් යටත් කර ගත්තේ ය. ඔහුගේ අධිරාජ්‍යය නැගෙනහිරින් එරිත්‍රියන් (අරාබි) මුහුද දක්වා විහිදුණි. එහෙත් ඇලෙක් - සැන්ඩර්ගේ ආක්‍රමණයන් වාර්තා කොට ඇති ඉතිහාසඥයෝ සයිරස් ඉන්දියාව ආක්‍රමණය කළ බවක් නොකියති. මේ පරස්පර විරෝධතාවට හේතුව වශයෙන් දැක්විය හැක්කේ මේ වාර්තා කරුවන් දෙකොටස ඉන්දියාවේ දේශ සීමාවන් පිළිබඳව වෙනස් මතයන් දැරීමයි. ඇලෙක්සැන්- ඩර්ගේ වාර්තාකරුවන්ට අනුව ඉන්දියාවේ බටහිර දේශ සීමාව වුයේ සින්ධු නදියයි. මේ අනුව සයිරස්ට අයත්ව තිබෙන්නට ඇත්තේ සින්ධු නදී යට බටහිරින් වූ ඉන්දීය ප්‍රදේශ යයි නිගමනය කළ හැකිය.
සින්ධු නදිය ආශ්‍රිත ප්‍රදේශය ඇකිමේනියානුන්ට අයත් වූයේ මහා ඩේරියස්ගේ සමයේ දීය. මේ පිළිබඳව ස්ථිර සාධක ඩේරියස්ගේ ශිලාලිපි වලින් ලබාගත හැකිය. ක්‍රි.පූ. 520–518 කාලපරිච්ඡේදයට අයත් බෙහිස්තූන් ලිපියේ යටත් ප්‍රදේශයන් අතර ගන්ධාරය සඳහන්ව ඇතත් සින්ධු නදිය ආශ්‍රිත පෙදෙස සඳහන් කොට නැත. එහෙත් පර්සිපොලිස් (ක්‍රි.පූ. 518–515) සහ නක්ස්-ඉ-රස්ටම් (ක්‍රි.පූ. 515) ලිපිවල "හින්ධු" යන්නක් සඳහන්ව ඇත. මෙයින් පැහැදිලි වන්නේ ඩේරියස්ට ගන්ධාරය සයිරස්ගෙන් ලැබුණු බවත් ඔහු එයට සින්ධු ප්‍රදේශය ඈඳා ගත් බවත්ය. හෙරොඩෝටස්ට අනුව ඉන්දියාව ඩේරියස්ගේ විසි වැනි ක්‍ෂත්‍රප මණ්ඩලය විය. මේ ක්‍ෂත්‍රප මණ්ඩලයෙන් කප්පම් වශයෙන් ඇකිමේනියානු භාණ්ඩාගාරයට රන් ටැලන්ට් 360ක් ලැබිණ. ඩේරියස් විසින් ඉන්දු නදී මෝය පරීක්ෂා කරනු වස් ගවේෂක කණ්ඩායමක් යවන ලද බව ද සඳහන් වේ. ඩේරියස් මෙයින් අදහස් කරන්නට ඇත්තේ අධිරාජ්‍යයේ නැගෙනහිර සහ බටහිර සීමාන්තයන් මුහුද මගින් සම්බන්ධ කිරීමත් පෙරදිග - අපරදිග වෙළඳාම දියුණු කිරීමත් විය හැකිය.
ස'සීස් යටතේ ද ඉන්දියාවේ කොටස් ඇකිමේනියානු අධිරාජ්‍යයේ යටත් ප්‍රදේශ වශයෙන් පැවතිණ. ග්‍රීකයන් සමඟ කරන ලද සංග්‍රාමයන්හි දී ස'ක්සීස්ට ඉන්දියානු භට හමුදාවකගේ සහාය ලැබුණු බව දැක්වේ. ඉන්දියානු භට හමුදාවක් යුරෝපීය පෙදෙසක සටන් කළ ප්‍රථම වතාව මෙය විය හැකිය. පසුව ආ ඇකිමේනියානු අධිරාජයන් යටතේ අධිරාජ්‍යය ක්‍රමයෙන් පිරිහුණත් ක්‍රි.පූ. 330 දක්වාම ඉන්දියානු ප්‍රදේශ නාම මාත්‍ර අධිරාජ්‍යයට අයත්ව තිබිණි. ගෝගමීලා සටනේ දී ඇලෙක්සැන්ඩර්ට විරුද්ධව ඉන්දියානුන් සටන් කළ බව දැක්වේ. පසුව ඇලෙක්සැන්ඩර් ක්‍රි.පූ. 326 වසන්ත ඍතුවේ දී ඉන්දියාව ආක්‍රමණය කෙළේ ඇකිමේනියානු අධිරාජ්‍යයේ ශේෂ වූ කොටස් ද යටත් කරගැනීමේ අටියෙනි.
ඉන්දියාව කෙරෙහි ඇති වූ විවිධ බලපෑම්:
ඇකිමේනියානු අධිරාජ්‍යයත් ඉන්දියාවේ වයඹදිග ප්‍රදේ ශත් අතර පැවති දේශපාලන සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵල වශයෙන් දැක්විය හැකි කරුණු කිහිපයකි. ඇකිමේනියානු අධිරාජ්‍යය ඉන්දියාව කරා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පෙර අපර දෙදිග අතර සම්බන්ධය හා වෙළඳාම දියුණු වන්නට ඇතැයි සිතිය හැකිය. ඩේරියස් විසින් පිහිටුවන ලද සමහර මහාමාර්ග ඉන්දියාවත් ඇකිමේනියානු අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථාන ලෙස සැලකිය හැකි සූසා, ඒක්ඛතානා සහ පර්සි පොලිස් යන ස්ථානත් සම්බන්ධ කළේය. මෙය වෙළඳාමේ දියුණුවටත් සංස්කෘතික සම්බන්ධතාවලටත් රුකුලක් වන්නට ඇතැයි සිතිය හැකිය. ඩේරියස්ගේ ශිලාලිපිවල ඉන්දියාවෙන් ලබාගත් ද්‍රව්‍යයන් අතර ගන්ධාරයේ තේක්ක සහ සින්ඩ්හි ඇත්දත් ආදිය දක්වා ඇත. බිම්බිසාර, අජාතශත්‍රැ වැනි මගධාධිපතීන් රාජ්‍ය ව්‍යාප්තියේ දී ගුරු කොට ගන්නා ලද රටක් වී නම් එය ඇකිමේනියානු අධිරාජ්‍යය වන්නට ඇතැයි යනු සමහර විද්වතුන්ගේ මතයයි. එහෙත් අධිරාජ්‍යයක් පිළිබඳ සංකල්පය ඉන්දියාවට අලුත් දෙයක් නොවන බවත් චක්‍රවර්ති ක්‍ෂත්‍රපයන් පිළිබඳ අදහස පශ්චාද් වෛදික යුගයේ පවා පැවතුණු බවත් සාධක සහිතව පෙන්වා දිය හැකිය.
සංස්කෘතිය අතින් ඉන්දියාව ඇකිමේනියානු බලපෑමට හසුවිණ. ඉන්දියාවේ පැරණි අක්ෂර මාලාවක් වන ඛරෝෂ්ඨිය විකසනය වූයේ පර්සියානුන් අතර ප්‍රචලිත ඇරමයික අක්ෂර මාලාවෙනි. ඛරෝෂ්ඨි අක්ෂර ක්‍රමය ඉන්දියාවේ වයඹදිග දිගු කලක් භාවිත විය. මෞර්‍ය්‍ය අශෝකයන් කල වයඹදිග පිහිටුවන ලද මාන්සේරා, ෂාබාස්ගර්හි වැනි වැදගත් ශිලාලිපි ලියැවී ඇත්තේ ඛරෝෂ්ඨියෙනි. භාෂාව අතිනුත් යම් යම් බලපෑම් වූ බව පෙන්වා දී ඇත. අශෝකයන්ගේ ඛරෝෂ්ඨි ශිලා ලිපිවල ඇති දිපි, නිපිෂ්ඨ වැනි වචන පර්සියානුන් ගෙන් ලබාගන්නට ඇතැයි යනු සමහර උගතුන්ගේ පිළිගැනීමයි. එමෙන් ම ගල්වල ද ස්තම්භයන්හි ද රාජාඥා ලියා පැනවීමේ අදහස පවා අශෝකයන් ලබාගන්නට ඇත්තේ පර්සියානුන්ගෙන් වන්නට ඇතැයි සමහර ඉතිහාසඥයෝ විශ්වාස කරති.
ඉන්දියානු කලා ශිල්ප විකාසනයේ දී ද පර්සියානු බලපෑම පෙන්වා දිය හැකිය. ගෘහනිර්මාණ ශිල්පය සඳහා මාධ්‍යයක් වශයෙන් ගල් පාවිච්චි කිරීමේ සිරිත මෞර්යයන් ලබා ගන්නට ඇත්තේ පර්සියාවෙනි. පර්වත හාරා විහාර කරවීමේ සිරිත ඇකිමේනියානු සොහොන් කොත් අනුව ඇති වූවක් විය හැකිය. පැට්නා පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගත් සමහර ගොඩනැඟිලි පර්සියානුන්ගේ අපදාන ශාලාවන්ට නෑකම් කියයි. පාටලිපුත්‍රයෙහි මෞර්‍ය්‍ය මාළිගා සූසා හා ඒක්බතානා මාළිගාවන්ට සමාන වූ බව මෙගැස්තිනීස් ආදීන්ගේ වාර්තාවල පවා සඳහන් වේ. පර්සියානු ආභාසය ඉන්දියාවට ලැබුණේ පර්සියානු දේශපාලන බලය ව්‍යාප්ත වී යෑමේ ප්‍රතිඵලයකට වඩා ඇලෙක්සැන්ඩර් ක්‍රි.පූ. 330 දී පර්සිපොලිස් නගරය විනාශ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනැයි යනු ඉතිහාසඥයන් ගේ අලුත්ම මතයයි. පර්සිපොලිස් නගරයේ විනාශයත් සමඟ ම ඉන්දියාවට සංක්‍රමණය වූ පර්සියානු කලාකරුවන්ට මෞර්ය රාජානුග්‍රහය ලැබෙන්නට ඇතැයි කල්පනා කළ හැක. (ඇකිමේනියානු කලා ශිල්ප සඳහා ඉරානය බලනු.)
(සංස්කරණය:1967)