ඇමන්
(ආමන්, අමුන්). මිසරයේ දෙවිවරුන් අතුරෙහි කලක් මුඛ්‍ය ස්ථානයෙහි ලා ගනු ලැබූ දෙවියාය. ග්‍රීකයනට සියුස් හා රෝමවාසීනට ජුපිටර් යම්බඳු වී ද මිසරවාසීනට ඇමන් ද එබඳු විය.
මොහු ‘ඇමන් සූර්යයා’ යන තේරුම ඇති ඇමන් රේ නාමයෙන් ද හැඳින්වීමෙන් හිරු දෙවියකු හැටියට අදහනු ලැබූ බව පෙනේ. පසු කලෙක හතර වැනි ඇමන් හොතෙප් (ආමෙන් හෝටෙප්) පාරාවෝ රජතෙම (ක්‍රි.පූ. 1375-1358) ඇමන් ඇදැහීම මුලිනුපුටා දමා ඇමන් ප්‍රතිමාදිය විනාශ කොට ස්මාරකයන්හි සඳහන් වූ ඔහුගේ නාමය පවා මකා දැම්මේය. ඇමන් වෙනුවට ඇටන් එක ම සූර්යදේවතාවා වශයෙන් සම්මානනයට පාත්‍ර කරන ලදි. පාරාවෝ රජතෙම තම පාරම්පරික නාමය ද ඉවත ලා ‘ඇටන්ගේ තේජස’ යන අර්ථය ඇති ඉක්නාටන් (අක්නාටන්) යන නාමය යොදා ගත්තේය. එහෙත් ඇටන්ගේ ඒ උත්තරීතර ආධිපත්‍යය දිගු කලක් නොපැවතිණ. පාරාවෝ රජුගේ මරණයෙන් පසු නැවතත් ඇමන් ප්‍රධාන දේවත්වයට පැමිණියේය. කාර්නැක්හි පිහිටා තිබුණු දේවස්ථාන ඇමන්ගේ මහිමය ප්‍රදර්ශනය කරවන මාහැඟි සාධකයෝයි. මිසරයේ විසිඑක් වැනි රාජවංශයේ පටන් අනාගතවක්තෘත්වයේ දෙවියා ලෙස සලකනු ලැබූ ඇමන්ගේ ලබ්ධිය ඇබිසීනියාව, ලිබියානු කාන්තාරය ආදි ප්‍රදේශවල ද පැතිරී ගියේය.
ඇමන්ගේ භාර්යාව මූත් නම් වුවාය. ඇමන්ට මිනිස් ලෙව්හි ද පරිචාරිකාවක සිටි බවත් ඇය අන් කිසිවකු නොව මිසර රැජින බවත් අදහන ලදි. මිසර රාජ්‍යයට හිමිකම් ඇත්තන් ඇමන් දෙවියා පිය තනතුරෙහි ලා සලකන ලද්දේ මේ නිසාය.
ප්රතිමාදියෙහි ඇමන් නිරූපණය වූයේ බැටළු අං සඟළකින් යුත් හිස් වැස්මක් හෝ පිහාටු සහිත ඔටුන්නක් පලන්, රැවුලක් ඇති මිනිසකුගේ විලාසයෙනි. (ඇමන් මන්දිර බ.)
(සංස්කරණය: 1967)