ඇමෙරිකානු විප්ලවය (නිදහස් සටන)
දහඅටවැනි සියවසේ අග භාගයේ දී උතුරු ඇමෙරිකාවේ විසූ ඉංග්‍රීසි ජනපද වාසීන් විසින් සිය මව්රටට විරුද්ධව ගසන ලද සාර්ථක කැරැල්ල හැඳින්වීම සඳහා ඉතිහාසඥයෝ මේ නම යොදති. 1775 දී ලෙක්සිංටන් නම් ස්ථානයේ දී ඇති වූ ඉංග්‍රීසී-ඇමෙරිකන් අවිගැටුමෙන් ඇරඹුණු ඇමෙරිකානු නිදහස් සටන 1783 පැරිස් ගිවිසුමෙන් අවසාන විය.
එය ඉංග්‍රීසි රජය සහ එහි යටත්වැසියන් අතර කෙළින් ම පැනනැඟුණු අවිගැටුමක් පමණක් නොව, ජාත්‍යන්තර අර්බුදයක් ද විය. ප්රංස, ස්පාඤ්ඤ ආදි ඇතැම් යුරෝපීය ජාතීහු ඇමෙරිකන් විප්ලව සමයේ දී එංගලන්තයට විරුද්ධව යුද වැදුණෝය. අනෙක් අතට, උතුරු ඇමෙරිකාවේ ඇතැම් ජනපදවල වැසියෝ ඉංග්‍රීසි රජයට පක්ෂපාතී වූහ. මේ අනුව සලකා බලන කල, ඇමෙරිකානු විප්ලවය වනාහි කණ්ඩායම් ගණනාවක් අතර හටගත් සටන් මාලාවක් සේ සැලකිය හැකිය. එහෙත් ඓතිහාසික වශයෙන් නම් ඉතා වැදගත් සිද්ධිය වනුයේ ඇමෙරිකන් ජනපදවාසීන් සිය මව්රටට එරෙහිව යුද වැදී තමන්ගේ ස්වාධීනත්වය ලබා ගැනීමයි. නූතන ලෝක ඉතිහාසයෙහි ප්‍රථම සාර්ථක ප්රජාතන්ත්ර ජාතිවාදී කැරැල්ල මෙය ලෙස හඳුන්වන්නට පුළුවන. එමෙන් ම, සංවිධානය වූ යටත් ජාතියකට බලසම්පන්න අධිරාජ්‍යවාදී රජයකට පවා එරෙහිව යුස වැදී ජයග්‍රහණය කළ හැකි බවට දෙස් දෙන ප්‍රථම සාක්ෂ්‍යය ද ඇමෙරිකානු විප්ලවයයි. ඇමෙරිකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පමණක් නොව මුළු ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් ද ඇමෙරිකානු නිදහස් සටන ඉතා වැදගත් තැනක් උසුලන්නේ ඒ නිසාය.
පසළොස්වැනි සොළොස්වැනි ශතවර්ෂවල දී කරන ලද භූගෝල ශාස්ත්‍රීය ගවේෂණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් උතුරු සහ දකුණු ඇමෙරිකා මහාද්වීප යුරෝපා ජාතිකයන් විසින් සොයා ගන්නා ලදි. යුරෝපීයයන් උතුරු ඇමෙරිකාව දෙසට සිය නෙත් යොමු කරන්නට වූයේ දහහත්වැනි සියවසේ මුල් භාගයේ දී යුරෝපයෙහි ඇති වූ ආගමික විප්ලවවල ප්‍රතිඵලයක් වශයෙනි. නොයෙක් රටවල තාඩනපීඩනවලට ගොදුරු වූ විවිධ ක්‍රිස්තියානි නිකායයනට අයත් මිනිස්සු කලින් කල උතුරු ඇමෙරිකාවට සංක්‍රමණය වි එහි තැනින් තැන ජනපද පිහිටුවා ගත්තෝය. මෙසේ දහහත්වැනි සියවසේ මුල් භාගයේ පටන් දහඅටවැනි සියවසේ මැදභාගය දක්වා කාලය අතරතුර ඕලන්ද, ජර්මන්, ස්වීඩ්, ප්රංස සහ බ්‍රිතාන්‍ය ආදි විවිධ ජාතිකයෝ උතුරු ඇමෙරිකාවේ පදිංචිව සිටියෝය.
උතුරු ඇමෙරිකාවේ ජනපදවාසීන් අතර විවිධ ජාතිකයන් සිටිය ද ස්ථාවර ජනපද පිහිටුවීමේ ලා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. තවද ජනපදවලින් වැඩි කොටස පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් පිහිටුවන ලද ඒවා විය. එහෙයින් ස්වතන්ත්‍ර ආණ්ඩු සම්ප්රදාය ඒ ජනපදවාසීන් අතර මුල් බැසගෙන තිබිණ. එහෙත් බ්‍රිතාන්‍ය කිරීටය සහ පාර්ලිමේන්තුව විසින් ද ජනපද කෙරෙහි එක්තරා අන්දමක පාලන බලයක් දක්වනු ලැබීය.
එසේ වුව ද දුම්නැව් සහ දියුණු පණිවුඩ හුවමාරු ක්‍රම නොතිබුණු ඒ අවධියේ දී ඉංග්‍රීසි රජයට යටත් විජිතයන් පාලනය කළ හැකි වූයේ නාමමාත්රයෙන් පමණි. එබැවින් ජනපද පිහිටුවූ බ්‍රිතාන්‍යයෝ සාමාන්‍යයෙන් ඒ සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් අධිකාර පත්‍රයක් ලබාගත්හ. මේ අනුව ජනපදයක් පිහිටුවීම සඳහා ව්‍යාපාරිකයා විසින් අනුගමනය කළ යුතු කොන්දේසි මොනවා දැයි රජය විසින් නියම කරනු ලැබීය. මූලික වශයෙන් මේ කොන්දේසිවලට ඇතුළත් වූයේ ජනපදවාසීන් විසින් ඉංග්‍රීසි නීතිය අනුගමනය කළ යුතු බව සහ ඉංග්‍රීසි රාජ්‍යයේ ආධිපත්‍යය පිළිගත යුතු බවයි. පසු අවධියෙක දී ප්රදානය කරන ලද අධිකාර පත්‍ර මගින් යටත්විජිතවල ආණ්ඩු සංවිධානයන් පිහිටුවීමේ අවසරය ද දෙනු ලැබීය. මෙසේ මේ ජනපද ව්‍යාපාරයට ඉංග්‍රීසි ආණ්ඩුව මැදිහත් වීමේ අවසාන ප්‍රතිඵලය වූයේ එකී යටත් විජිත පුද්ගලයන් සතු විශාල වතු වශයෙන් නොව ඉංග්‍රීසි රජයට යටත් පළාත් වශයෙන් සංවර්ධනය වීමයි. අධිකාර පත්‍ර ලත් ව්‍යාපාරිකයා එක් එක් පළාතේ දේශපාලන නායකයා විය. මේ හේතුකොටගෙන එක් එක් ජනපදයෙහි කිසියම් වර්ගයක විධායක, අධිකරණ සහ ව්‍යවස්ථාදායක සංවිධාන ක්‍රමයක් පවත්වා ගෙන යන්නට ජනපදවාසීනට සිදු විය. පොදුවේ සලකා බැලුවහොත්, මේ පාලන සංවිධානය ගොඩනැඟුණේ ආණ්ඩුකාරවරයකු හා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ආශ්රයෙනි.
බ්‍රිතාන්‍ය පාලනය
යට සඳහන් කරුණුවලින් අදහස් කෙරෙනුයේ ඇමෙරිකන් ජනපදවාසීන් මුළුමනින් ම ඉංග්‍රීසි පාලනයෙන් මිදී සිටි බව නොවේ. ප්‍රිවි කවුන්සලය, ඉංග්‍රීසි රජයේ භාණ්ඩාගාරය සහ නෞකා දෙපාර්තමේන්තුව යන මේ ආයතනයන් මගින් ජනපදවල කටයුතු පාලනය කරනු ලැබීය. යටත් විජිතවලින් ඉදිරිපත් කරන ලද නඩු ප්‍රිවි කවුන්සලය මගින් විභාග කරන ලද අතර යටත් විජිතයන්ගේ ආර්ථික ජීවිතය පිළිබඳ ඇතැම් ව්‍යවස්ථා භාණ්ඩාගාරය සහ නාවික දෙපාර්තමේන්තුව (ඇඩ්මිරල්ටිය) මගින් ක්‍රියාත්මක කරවනු ලැබීය.
යටත් විජිත කෙරෙහි බලපවත්වන අන්දමින් පනත් පැනවිමේ උපාය මගින් ඒ ප්‍රදේශයන් පාලනය කිරීමේ බලය ඉංග්‍රීසි පාර්ලිමේන්තුව සතුව තිබුණ ද 1660 පසු වන තෙක් මේ බලය සැබැවින් ම ක්‍රියාත්මක කරවනු නොලැබීය. නීතිය සහ ව්‍යවස්ථා සම්පාදනය යන මේ අංශවල දී යටත් වැස්සෝ බ්‍රිතාන්‍ය සම්ප්රදාය අනුගමනය කළෝය. 1690න් පමණ පසු ජනපදවල පැවැති ව්‍යවස්ථාදායක මණ්ඩල මගින් සම්මත කර ගන්නා ලද අණපනත් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා මව් ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන ලදි.
මෙසේ සලකා බලන කල ඇමෙරිකන් ජනපද පාලනය කිරීම අරබයා ඉංග්‍රීසි ආණ්ඩුව සතු වූ බලතල ගැන කිසිදු ප්‍රශ්නයක් නොපැවති බව පෙනේ. එහෙත් එංගලන්තය සහ මේ ජනපද අතර වූ දුර ප්‍රමාණය, ඉංග්‍රීසි ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු කළ යුතු වූ විෂයයන් නොතිබීම ආදි කරුණු නිසා ඇමෙරිකන් ජනපද බොහොමයක් ම නිදහස් ප්‍රදේශ වශයෙන් පැවති බව අපට සිතා ගත හැකිය.
විවිධ හේතූන් නිසා යුරෝපයේ විවිධ පළාත්වලින් කලින් කල ඈමෙරිකාවට පැමිණි ජනපදවාසීන් අතර පැරණි වෙනස්කම් නොනැසී පැවති බව ද සිතිය හැකිය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනා බ්‍රිතාන්‍ය ජාතිකයන් වූයෙන් වැඩි කල් යන්නට පෙර පොදුවේ ‘ඉංග්‍රීසි’ යයි හැඳින්විය හැකි සංස්කෘතියක් ඔවුන් අතර මුල්බැස ගත් බව පෙනේ. මෙසේ මේ ජනපදවාසීහු සිය සතුරන් වූ රතු ඉන්දියන්වරුන් සහ ප්රංස ජාතිකයන් සමඟ සටන් කරමින් ඒ ඒ ප්‍රදේශවලට ගැළපෙන අන්දමේ විවිධ කෘෂිකාර්මික කටයුතුවල යෙදෙමින් ඇමෙරිකන් මහාද්වීපයේ බටහිර දෙසට ව්‍යාප්ත වෙමින් සිටියෝය.
නාවික නීති
1660න් පමණ පසු ඇමෙරිකන් ජනපද සහ ඉංග්‍රීසි ආණ්ඩුව අතර පැවති සබඳතා ක්‍රමයෙන් වෙනස් වන්නට වූයේ මේ අවධියේ දී එංගලන්තයෙහි ප්‍රචලිත වන්නට පටන් ගත් වාණිජවාදී අදහස් උදහස් නිසාය. වාණිජවාදී ප්‍රතිපත්තිවලට අනුව මව්රටට අයත් විදේශීය විජිත එම මව්රටේ ප්‍රයෝජනය සඳහා යෙදවිය යුතු දේපළ රැසක් වශයෙන් සලකන ලදි. එබැවින් මව්රටේ ආර්ථික ජීවිතයට හානි පැමිණෙන අන්දමේ වැඩකටයුතුවලින් ජනපදවාසීන් වැළකී සිටිනු ඇතැයි අපේක්ෂාකරන ලදි. මේ අදහස පෙරදැරි කොට බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සම්මත කරන ලද නීති මාලාවක් ම 1660න් පසු ක්රියාවේ යොදවනු ලැබීය.
මෙසේ 1615 දී පනවා තිබුණු නාවික නීති සහ එයින් පසු පනවන ලද වෙළඳ නීතිමාලාව අනුව ජනපදවල ආයාත නිර්යාත සියල්ල ම ඉංග්‍රීසි නැව්වලින් හෝ ජනපද නැව්වලින් හෝ පමණක් ගෙන යා යුතු යයි නියම විය. එමෙන් ම ජනපදවලින් අන් රටවලට යැවෙන දෑ ඉංග්‍රීසි නැව් තොටවලින් පමණක් යැවිය යුතු යයි ද නියම කොට තිබිණ.
දහඅටවැනි ශතවර්ෂයේ මුල් භාගයේ පටන් ජනපදවල කාර්මික දියුණුවට පහර වදින අන්දමේ නීතිරීති ගණනාවක් ම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පනවන ලදි. එහෙත් මේ නීතිවලින් ජනපදවාසීන්ට එතරම් බාධාවක් නොවූයේ එවකට ඒ පෙදෙස්වල සැලකිය යුතු කර්මාන්ත කිසිවක් නොවූ බැවිනි. ඒ කෙසේ වුව ද මේ නීතිරීතිවල අවසාන ප්‍රතිඵලය වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඇමෙරිකන් ජනපද කෙරෙහි දක්වන ලද පාලන බලය තවදුරටත් වැඩී යාමයි.
ප්රංස-බ්‍රිතාන්‍ය තරඟය
බ්‍රිතාන්‍යයන් හා අවශේෂ යුරෝපීය ජාතිකයන් උතුරු ඇමෙරිකාවේ අත්ලන්තික් මුහුදුබඩ තීරයෙහි ජනපද පිහිටුවද්දී ප්රංස ජාතිකයෝ සාන්ත ලෝරන්ස් ගංගාවෙන් උතුරු ප්‍රදේශය සියතට ගෙන බටහිරට ව්‍යාප්ත වෙමින් සිටියෝය. මේ නිසා ඉංග්‍රීසින් හා ප්‍රංශ ජාතිකයන් අතර වරින් වර සටන් හටගෙන තිබිණ. අන්තිමේ දී හත් අවුරුදු යුද්ධ සමයේ දී (1756-1763) උතුරු ඇමෙරිකාවේ තුබූ ප්රංස ජනපද සියල්ල ම ඉංග්‍රීසි ජාතිකයන් විසින් අත්පත් කර ගන්නා ලදි.
ප්රංස යුද්ධ හේතුකොට ගෙන ඉංග්‍රීසි-ඇමෙරිකන් සබඳතා නව මුහුණුවරක් ගත්තේය. ප්රංස ජාතිකයන්ගෙන් ද රතු ඉන්දියන්වරුන්ගෙන් ද ජනපදවාසීන් ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මහත් වියදමක් දරන්නට සිදු විය. එබැවින් මේ මුදල සපයා ගැනීම සඳහා කිසියම් නිශ්චිත, ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට වැටහී ගියේය.
රතු ඉන්දියන්වරුන්ට විරුද්ධව සටන් කරනු සඳහා අවශ්‍ය හමුදාවන්ගේ නඩත්තුව පිණිස මුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් ද ජනපදවාසීන් හා ආණ්ඩුකාරවරුන් අතර විවිධ මතභේද හටගෙන තිබිණ. මව්රටේ ආඥාවන්ට අනුව ක්‍රියා කළ ආණ්ඩුකාරවරුන් විසින් පනවන ලද ඇතැම් බදුවලට ජනපදවාසීහු විරුද්ධ වූහ. රතු ඉන්දියන් තර්ජනය හා ප්රංස උවදුර සෑම ජනපදයක් කෙරෙහි ම සමාන අන්දමින් බලපෑවේ නැති නිසා ඒ සඳහා ගෙවිය යුතු මුදල සම්බන්ධයෙන් ජනපදවාසීන් අතර එකඟත්වයක් නොපැවති බව සිතා ගත හැකිය.
එබැවින් මේ මුදල ලබාගැනීම සඳහා කළ යුතු එක ම දෙය නම් සියලු ම ජනපද කෙරේ බලපාන පරිදි නීති සකස් කළ හැකි වූ එක ම ආයතනය වන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආඥා බලය මෙහෙයවා පොදු බදු ක්‍රමයක් ඇති කිරීම යයි ඉංග්‍රීසි පාලකවරුන් සිතූ බව පෙනේ. එහෙයින් 1765 දී මුද්දර පනත නම් පනතක් එංගලන්තයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදි.
මුද්දර පනත
මුදල් උපයා ගැනීමේ හුදු පරමාර්ථය ඇතිව ඉංග්‍රීසි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මේ පනත මගින් නීත්‍යනුකූල ලියකියවිලි, උපාධි සහතික පත්‍ර, බීම බලපත්‍ර, පුවත්පත් ආදිය වෙනුවෙන් මුද්දර ගාස්තුවක් අය කරනු ලැබීය. මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් ගණනාවක් ම පත් කරන ලද අතර එයින් පැන නැඟෙන ප්‍රශ්න විසඳීම් වස් ඇඩ්මිරල්ටි උසාවිවල බලතල ද පුළුල් කරනු ලැබීය.
මුද්දර පනතට විරුද්ධව මුළු උතුරු ඇමෙරිකාව පුරා මහත් උද්ඝෝෂණයක් පැනනැඟිණ. ජනපද වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදනය අරබයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතු බලතල ගැන කිසිදු සැකයක් ජනපදවාසීන් අතර මින් පෙර නොපැවති නමුදු මීට පෙර කවර විටෙක වත් ඒ බලය මෙබඳු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා යොදවා නොතිබිණ. එවකට ඇමෙරිකාවේ හැම ප්‍රදේශයක ම ඉඩම් විකිණීමාදිය තදින් කෙරුණු හෙයින් මේ බද්ද ජනපදවාසීන්ගේ විශේෂ අසන්තුෂ්ටියට කරුණු විය. එපමණක් නොව, චිරාගත ඉංග්‍රීසි සම්ප්රදාය අනුව, බදු පැනවීමේ කාර්යය නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා මණ්ඩලයක් මගින් පමණක් කළ යුතු දැයක් හැටියට සලකන ලද බැවින් ඇමෙරිකානුවන් වෙනුවෙන් කිසිදු නියෝජිතයකු පෙනී නොසිටි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇමෙරිකන් ජනපද අරබයා මුදල් පනත් පැනවීමේ අයිතියක් තිබේද යන ප්රශ්නය ද මෙහි දී මතු විය.
ඇත්ත වශයෙන් ම මේ විරුද්ධත්වයට හේතු වූයේ ඇමෙරිකන් ජනපදවාසීනට බ්‍රිතාන්‍ය ආධාර අවශ්‍ය නොවීම යයි සිතන්නට පුළුවන. රතු ඉන්දියන් සහ ප්රංස තර්ජනය සහමුලින් ම වනසා තුබූ හෙයින් තවදුරටත් බ්‍රිතාන්‍යයට බදු ගෙවීමේ අවශ්‍යතාවක් ජනපදවාසීන්ට නොපෙනුණා ද විය හැක.
කෙසේ වුව ද ජනපදවාසීන් මුද්දර පනතට විරුද්ධව මහත් උද්ඝෝෂණයක් කළ හෙයින් අන්තිමේ දී එය ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සිදු විය. එහෙත් ඒ සමග ම සම්මත කරන ලද පනතක් මගින් සියලු ම ජනපද සම්බන්ධයෙන් සෑම ක්‍රියාවක් අරබයා ම නීති පැනවීමේ බලය බ්‍රිතාන්‍ය ආණ්ඩුව සතු වන බව ප්‍රකාශයට පමුණුවන ලදි.
මුද්දර පනත අවළංගු කර දැමීමෙන් පසු බදු අයකර ගැනීම සඳහා වෙනත් මාර්ගයක් ගැන සලකා බැලූ ඉංග්‍රීසි රජය ටවුන්සෙන්ඩ් පනත් නම් පනත් රැසක් මගින් රේගු බදු ලබා ගැනීමට තැත් කෙළේය. මේ අනුව, ඇමෙරිකාවට ආයාත වශයෙන් ගෙනෙන ලද වීදුරු, ඊයම්, කඩදාසි සහ තේ ආදි ද්‍රව්‍ය වෙනුවෙන් රේගු බදු පනවන ලදි.
මේ බදුවලට විරුද්ධව ද ඇමෙරිකන් ජනපදවාසීහු උද්ඝෝෂණය කළෝය. අන්තිමේ දී තේ බද්ද හැරෙන්නට අනෙක් බදු අස්කර ගන්නා ලදි. ජෝන් ඩිකින්සන් නම් පුද්ගලයකු විසින් ප්‍රසිද්ධ කරන ලද පත්‍රිකාවක සඳහන් වූයේ ඇමෙරිකන් ජනපද වෙනුවෙන් බදු පැනවීම සඳහා ඉංග්‍රීසි රජයට කිසිදු ව්‍යවස්ථානුකූල අයිතියක් නොමැති බවයි. මේ මතය ඇමෙරිකාව පුරා බෙහෙවින් ප්‍රචලිත විය.
මේ හේතුකොටගෙන ඉංග්‍රීසි පාලනයට විරුද්ධව නැඟුණු උද්ඝෝෂණය ක්‍රමයෙන් දේශපාලන මුහුණුවරක් ගන්නට විය. මුලින් ම ඇමෙරිකන් ජනපදවාසීන් ඉංග්‍රීසි පාලනයට විරුද්ධ වූයේ හුදු ආර්ථික හේතූන් නිසා වුව ද 1773 පමණ වන විට ඒ විරුද්ධත්වය දේශපාලනමය එකක් බවට පත්ව තුබුණු බව මෙයින් පැහැදිලි වේ. ඒ අවුරුද්දේ දෙසැම්බර් මස 16 වැනි දින බොස්ටන් වරායේ නවතා තුබුණු නැවකට කඩා වැදුණු ඇමෙරිකන් කැරලිකරුවෝ එහි වූ තේ පෙට්ටි රාශියක් මුහුදට පෙරළා දැමූහ. ඇමෙරිකානු විප්ලවයේ ආරම්භය ලෙස සැලකෙනුයේ ‘බොස්ටන් ටී පාටි’ නමින් හැඳින්වෙන මේ සිද්ධියයි.
එයින් පසු ඉංග්‍රීසි රජය සහ ඇමෙරිකන් ජනපද අතර ගැටුම ක්‍රමයෙන් උග්‍ර වන්නට විය. 1775 දී ලෙක්සිංටන් නම් ස්ථානයෙහි දී කෙලින් ම දෙපක්ෂය අතර අවිගැටුමක් විය. මේ ආරංචිය පැතිරෙන්නට වූ කල ඇමෙරිකාව පුරා ම යුදගිනි ඇවිළෙන්නට පටන් ගත්තේය.
එහෙයින් ඇමෙරිකන් ජනපදවාසීහු කොංග්‍රෙස් සභාවක් පවත්වා ජෝජ් වොෂිංටන් යටතේ යුද්ධ හමුදාවක් සංවිධානය කිරීමට ද මුදල් අච්චු ගැසීමට ද වෙළඳාම පාලනය කිරීමේ නීතිරීති සම්පාදනය කිරීමට ද තීරණය කළෝය. ක්‍රමයෙන් පැරණි පාලන ආයතන බිඳවැටී ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත මණ්ඩල මගින් ඇමෙරිකාව පාලනය කිරීමේ ක්‍රමය ඇති විය.
බ්‍රිතාන්‍යයේ පරාජය
එවක ලොව පැවති ප්රබලතම අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරන්නට තීරණය කිරීමෙන් ඇමෙරිකන්වරුන් කෙළේ මහත් මෝඩකමකැයි බොහෝ දෙනා විශ්වාස කළෝය. ඇමෙරිකාවේ යුද්ධ බලය හා ආර්ථීක තත්වය එංගලන්තය හා සසඳන විට ඉතා පහත් අඩියක පැවතුණා පමණක් නොව පැරණි ආණ්ඩු ක්‍රමය බිඳ වැටීම නිසා ඇමෙරිකන් ජනපද පාලනය ද අවුල් වී පැවැත්තේය. එහෙත් ඔවුන්ගේ වාසියට හේතු වූ කරුණු කීපයක් ද විය. මේවා අතර එංගලන්තය හා ඇමෙරිකාව අතරෙහි පැවති දුර ප්‍රමාණය හේතුකොටගෙන ඉංග්‍රීසි හමුදා ගෙන ඒම දුෂ්කර වීම ද ඔවුන් ඇමෙරිකාව ගැන හරිහැටි නොදැන සිටීම ද විශේෂයෙන් දැක්විය හැක. ඉංග්‍රීසි හමුදා නායකයෝ ද එතරම් දක්ෂ පුද්ගලයෝ නොවූහ. යුද්ධ කෞශල්‍යය අතින් ජෝජ් වොෂිංටන්ට සම කළ හැකි එක ද ඉංග්‍රීසි සෙනෙවියෙක් නොවී යයි කියන්නට පුළුවන.
මේ අතර යුරෝපා මහාද්වීපය පුරා ඉංග්‍රීසි විරෝධී හැඟීම් ජනිත වන්නට විය. යුරෝපීය රාජ්‍යයන්ගෙන් ඇමෙරිකන් සටනට සහයෝගය ලබාගනු වස් ජනපදවාසී නියෝජිතයන් ගණනාවක් ම යුරෝපයට පිටත් කර එවන ලදහ. එම ප්රයත්නය බොහෝ දුරට සාර්ථක විය. කලෙක පටන් ම එංගලන්තයෙන් පළි ගැනීමේ ආශාවෙන් පසු වූ ප්රංසය පළමුව ජනපදවාසීන්ට යුද්ධාධාර සපයා පසුව 1778 දී බ්‍රිතාන්‍යයට විරුද්ධව යුද වැදුණේය. ප්රංස බලපෑම නිසා 1779 දී ස්පාඤ්ඤය ද ඉංග්‍රීසි විරෝධී පිලට බැඳිණි. ඊට මඳ කලකට පසු නෙදර්ලන්තය බ්‍රිතාන්‍යයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ අතර ප්රසියාව ආදි අවශේෂ රාජ්‍යයෝ ‘සන්නාහ සන්නද්ධ මධ්‍යස්ථ කඳවුරක්’ ගොඩනඟා ගත්හ.
මෙසේ අවුරුදු කිහිපයක් ගත වන්නට පෙර ඇමෙරිකන් නිදහස් සටන බ්‍රිතාන්‍යයට විරුද්ධව කෙරුණු ජාත්‍යන්තර නාවික හා වාණිජ තරඟයක් බවට පෙරළුණු බව පෙනේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1781 පමණ වන විට බ්‍රිතාන්‍ය හමුදාවෝ සම්පූර්ණයෙන් ම පරාජයට පත් වූහ. එහෙයින් ඇමෙරිකන් නියෝජිතයන් හා බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතර සාකච්ඡා අරඹන ලදි. අන්තිමේ දී කැනඩාවේ පැරණි දේශසීමා පිළිගැනීමටත් ඇමෙරිකන් ජනපදවල ස්වාධීනත්වය පිළිගැනීමටත් බ්‍රිතාන්‍ය රජය එකඟ විය.
1783 පැරිස් ගිවිසුම මගින් මේ කොන්දේසි ව්‍යවස්ථාගත කරන ලදි. ඇමෙරිකන් එක්සත් ජනපද රාජ්‍යය නම් නව රාජ්‍යය මෙසේ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ලදි.
1787 දී පැවැත්වුණු ෆිලඩෙල්ෆියා සංගමය මගින් ඇමෙරිකන් එක්සත් ජනපදවාසීහු නව ආණ්ඩු ක්‍රමයක් පිළිගත්තෝය. එය ‘ජනාධිපති ක්‍රමය’ යන නමින් හැඳින්වේ. මෙසේ නව ප්රජාතන්ත්රවාදී රාජ්‍ය පාලන ක්‍රමයක් ද 1787 දී බිහි විය.
ප්රංස විප්ලවයට ආභාසය ලැබුණේ ඇමෙරිකානු විප්ලවයෙනි. එහෙයින් ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් ද ඇමෙරිකානු නිදහස් සටන ඉතා වැදගත් එකක් වෙයි.
(සංස්කරණය: 1967)