ඇරැව්වාවල අදිකාරම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(?-1798). කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1780) රජු යටතේ පිරිවරේ අප්පුහාමි කෙනකු හැටියට පළමුවෙන් සේවය කළ ඇරැව්වාවල චාම් ගති පැවතුම් ඇති ඉතා අවංක නිලධාරියෙක් විය. රාජාධිරාජසිංහ (1780-1798) රජු සමයෙහි ද ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) රජුගේ පාලන සමයේ මුල් අවධියේ ද හෙතෙම දෙවන අදිකාරම් ධුරය දැරීය. රාජපාක්ෂිකභාවය මොහු කෙරෙහි පැවති විශේෂ ගුණාංගයකි. ජ්‍යොතිශ්ශාස්ත්‍රය පිළිබඳ විශේෂ අවබෝධයක් ඇතිව හුන් මොහු ඛඞ්ග ශිල්පයෙහි නිපුණයකු වූ බව ද කියනු ලැබේ.

රාජාධිරාජසිංහ රජු සමඟ මිත්‍ර ගිවිසුමක් ඇති කරගන්නා බලාපොරොත්තුවෙන් මදුරාසියේ ආණ්ඩුකාරයා විසින් එවනු ලැබූ රොබට් ඇන්ඩ්රූස් නමැති දූතයා රජවාසලට කැඳවාගෙන යාමට පැමිණියේ ඇරැව්වාවල දෙවන අදිකාරම්ය. මේ කාලයේ දී ඔහු තමන්කඩුව හා මාතලේ දිශාව හැටියට ද උඩගම්පහේ අදිකාරම් (දෙවැනි අදිකාරම්) හැටියට ද සේවය කළ බව පැවැසේ. ඇරැව්වාවල අදිකාරම් කෙරෙහි පැවැති සිත් ගන්නා ගති පැවතුම් හා අවංකභාවය ගැන පැහැදුණු ශ්‍රී වික්‍රමරාජසිංහ රජ ඔහුගේ අදහස්වලට ගරු කරමින් නොයෙක් විට ඔහුගෙන් උපදෙස් ද ලබා ගත්තේය. රජු ඔහු කෙරෙහි දැක්වූ ප්‍රසාදය නිසා ද තමන්ගේ අදහස්වලට එකඟ නොවීම නිසා ද පිළිමතලව්වේ ආදි කීප දෙනෙක් ඔහුට සතුරු වූහ. ඔහුගේ බෑනා වූ දෙනගමුවේ (දඹගමුවේ) දිශාපති ද ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් විය. ඔවුන්ට විරුද්ධව රාජද්‍රෝහී චෝදනාවක් ඉදිරිපත් කිරීමට නුපුළුවන් බැව් දැනගත් පිළිමතලව්වේ ඒ දෙදෙන සොරුන් ලවා අතරමඟ දී මරවන ලදැයි ඇතැම් ග්‍රන්ථවල සඳහන් වේ. ඇරැව්වාවල අධිකරණ මැති හා දෙනගමුවේ මැති යන දෙදෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මරවන ලදැයි වැලිගල කිවිඳුන්ගේ ‘ඇහැළේපොළ වර්ණනාවෙන්’ පැවැසේ. ඇරැව්වාවල මහ නිලමේගේ හිස ගසා දැමීමට මහ වාසලින් නියෝගයක් කර තිබේ යයි වධකයන්ට ඒත්තු ගැන්නූ පිළිමතලව්වේ ඔවුන් ඒ සඳහා මෙහෙය වූ බවත් තමාගේ වත්තේ එහා මෙහා සක්මන් කරමින් සිටි ඇරැව්වාවල වධකයන්ගේ ප්‍රකාශය අසා මහත් කැළඹීමට පත්ව ඔහුගේ කාමරයට ඇතුළු වී රිදියෙන් කළ කිල්ලෝටයක් අතට ගෙන එයට සවිකර තිබුණු දම්වැල ඇඟිලිවල එතෙන සේ කරකවා ඉන්පසු මොහොට්ටාල (පෞද්ගලික ලේකම්) ලවා තම බෑනා වූ දෙනගමුවේ දිසාව කැඳවූ බවත් එදින අසනීප ගතියෙන් සිටි දෙනගමුවේ කෂායක් බොමින් සිටින බව මොහොට්ටාල පෙරළා දැන්වූයෙන් “අප සඳහා වඩා හොඳ කෂායක් ගන්නෝරු තැන්නෙහි (මරණීය දඬුවම් පමුණුවන ස්ථානය) පිළියෙල කර ඇතැ”යි කී ඇරැව්වාවල මහත් චිත්ත ධෛර්යයකින් යුක්තව වධකස්ථානය කරා ගොස් ගන් රැකවලා නමින් හැඳින්වෙන වධකයාට රිදී පෙට්ටියක් තෑගි දී මරණ වේදනාවෙන් දැඟලීම හැකි තරම් ලුහුඬු වන සේ එක කඩු පහරින් ම හිස ගසා දැමීමට නියම කළ බවත් ටී.බී. පෝහත්කෙහෙල්පන්නල මහතා විසින් ලියන ලද ‘ඇහැළේපොළගේ ජීවන චරිතය’ (The Life of Ehelepola) නමැති ග්‍රන්ථයෙන් හෙළි වේ. ඇරැව්වාවලගේ මරණය ගැන රජුට දැනගන්නට ලැබුණේ ඉන් බොහෝ කලකට පසුව යයි ද එහි ම කියැවේ. මේ අපරාධය පිළිමතලව්වේ විසින් කරන ලදැයි සැක කළ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු පසු කලෙක පිළිමතලව්වේට මරණීය දඬුවම නියම කිරීමේ දී “එක් මහ නිලමේ කෙනකුට තවත් මහ නිලමේ කෙනකුගේ හිස ගසා දැමීම කළ හැකි නම් සැබවින් ම මට අදිකාරම් කෙනකුගේ හිස ගසා දැමිය හැකිය”යි කී බව සඳහන් වේ.

ඇරැව්වාවල කුමාරිහාමි සිය සැමියාගේ අභාවයෙන් පසු ඔහු සතුව පැවැති කුඹුරු සියල්ල ලංකාතිලක විහාරයට පූජා කළ බව කියති. මහනුවර පැරණි බන්ධනාගාරය අසල ඇරැව්වාවල දෙවැනි අදිකාරම් අලංකාර බණමඩුවක් කරවා තිබුණ බවත් ඔහුගේ මරණය සිදු කිරීමෙන් පසු ඔහුගේ සතුරන් විසින් එය විනාශ කරවන ලද බවත් ‘ඇහැළේපොළ වර්ණනාව’ ආදි ග්‍රන්ථවල සඳහන් වේ. ඇරැව්වාවලගේ මරණය සිදු කරන ලද්දේ ක්‍රි.ව. 1798 හෝ 1799 දී යයි සලකති.

(සංස්කරණය: 1967)