ඇල්බට් විල
(ඇල්බට් න්යැන්සා). දක්ෂිණ අක්ෂාංශ 1° 9′ හා 2° 17′ ද නැගෙනහිර දේශාංශ 30° 30′ හා 31° 35' ද ආශ්‍රිතව අප්‍රිකානු සුවිභේද නිම්නයේ බටහිර ශාඛාවෙහි පිහිටි ව.සැ. 2,046ක් විශාල මිරිදිය විලකි. මෙය සැ. 100ක් පමණ දිගය; සැ. 22ක් පමණ පළලය. මෙහි සාමාන්‍ය ගැඹුර අඩි 30-40කි; ඉතා ම වැඩි ගැඹුර අඩි 55කි. මුහුදු මට්ටමේ සිට අඩි 2,000ක් ඉහළින් පිහිටි එහි බටහිර හා නැගෙනහිර ඉවුරු ඉතා ප්‍රපාතාකාරය. විල් ඉවුරෙහි කබිරෝ නම් ස්ථානයෙහි උණුදිය උල්පත් ඇත. වියළි ඍතුවේ දී එහි කරදිය උල්පත් ද මතු වේ.
එඩ්වඩ් විලේ සිට එන සෙම්ලිකි ගඟ දකුණින් ද වික්ටෝරියා විලේ සිට එන වික්ටෝරියා නයිල් ගඟ ඊසානින් ද මෙම විලට වැටේ. මෙහි උතුරු කොනින් පිටවන බාහ්ර්-එල්-ජෙබල් (සුදු නයිල්) නයිල් ගඟෙහි ප්‍රධාන ඉහළ ශාඛාවයි. භූචලන හා දේශගුණික කාරකයන්ගේ බලපෑමෙන් දෝ මෙම විල විශාලත්වයෙන් අඩු වී යන බව පෙනේ. සෙම්ලිකි, වික්ටෝරියා, නයිල් ආදි ගංගාවන්ගෙන් විලට ගලා එන මඩ නිසා එය ශීඝ්‍රව ගොඩ වීගෙන යයි. 19 වැනි ශතවර්ෂය අග දී වෙරළාසන්නව පිහිටා තුබුණු සමහර දූපත් මෙසේ තැන්පත් වන දියළු පස් නිසා දැන් වෙරළට ම ඈඳී ඇත. වර්ෂා කාලයේ දී සෙම්ලික් ගඟෙන් පමණක් තත්පරයකට ඝන සැතපුම් 700ක පමණ ජලස්කන්ධයක් ගලා එයි. විලට ගලා එන සම්පූර්ණ ජල ප්‍රමාණයෙන් 40%ක් පමණ වාෂ්පීභවනයට භාජන වේ. අවුරුදු පතා බාහ්ර්-එල්-ජෙබල් ගංගාව මගින් විලෙන් පිටවන ජල ප්‍රමාණය ඝන සැ. 2,426,500,000ක් පමණ වේ.
ඇල්බට් විල පළමුවෙන් ම සොයාගන්නා ලද්දේ කලින් ලංකාවේ අට අවුරුද්දක් ගත කොට මෙරට පිළිබඳව ග්රන්ථ දෙකක් ද පළ කළ සර් සැමුවෙල් වයිට් බේකර් (බ.) නම් ඉංග්‍රීසි ජාතික දේශගවේශකයා විසින් 1864 දීය.
(සංස්කරණය: 1967)