ඇල්බනි (2)
සිංහල විශ්වකෝෂය වෙතින්
ඕස්ට්‍රේලියාවේ නැව් තොටකි. බටහිර ඕස්ට්‍රේලියාවේ නිරිත දිග කෙළවරේ කිං ජෝජ් තුඩුවේ පිහිටා තිබේ. ෆ’ත් නගරයේ සිට දුම්රියෙන් සැ. 352කි. ජනගහනය (1961) 10,526කි. වැඩි වශයෙන් ම කළුගලින් යුත් මේ ප්‍රදේශයේ මුහුදු තීරය මෑත කාලවල දී ගිලාබැස තිබේ. එහෙයින් ම විශාල බොකු ඇති වී තිබේ.
දීර්ඝ කාලයක් ම මෙම වරාය ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර තැපැල් සේවය සඳහා භාවිත විය. ඒ සඳහා දැන් ෆ්‍රීමැන්ටල් යොදාගෙන ඇති නමුත් දකුණු අප්‍රිකාවෙන් තැපැල් ගෙන එන යාත්‍රා දැනුදු පැමිණෙන්නේ මේ වරායටය.
දිස්ත්‍රික්කයේ දේශගුණය බෙහෙවින් සෞම්‍යය; දර්ශනය චමත්කාරය. විනෝදකාමීන්ගේ හා සනීප ගැනීමට පැමිණෙන්නවුන්ගේ මධ්‍යස්ථානයක්ව ඇත්තේ එහෙයිනි.
(සංස්කරණය: 1967)