ඇල්බේනියාව
ගිනිකොන දිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයෙහි පිහිටි රටකි. අද්‍රියාතික් මුහුදටත් ග්‍රීසියට සහ යුගෝස්ලාවියාවටත් මැදිව පිහිටා ඇති මෙය දිගින් සැ. 140කි; පළලින් සැ. 60කි; ප්‍රමාණයෙන් ව.සැ. 11,097කි.
ඇල්බේනියානු ඇල්ප්ස් නම් වූ විශාල කඳු මේ රට පුරා පැතිරී ඇත. පටු ගංගා නිම්න සහ වෙරළබඩ තීරය හැර වෙනත් පහත් තැනිතලා ඇල්බේනියාවේ නැත. කඳු සියල්ල ම යුරෝපීය නව නැමිකඳු පංක්තියට අයත්ය. ප්‍රධාන වශයෙන් හුනුගලින් යුත් මේ කඳු වයඹ සිට ගිනිකොන දිගට විහිදෙයි. මුහුදින් ඈත්ව පිහිටි උතුරු කඳුකරෙහි හැර මුහුදට වඩා ළංව පිහිටි සෙසු කඳුකර කොටස්වල පේලියසොයික ශල්ක බහුලය. හිම යුගයේ දී දැඩිව ඛාදනය වී ඇති බවට සලකුණු ඇති මේ ප්‍රදේශයෙහි සාමාන්‍ය උස අඩි 6,500-7,500කි. අඩි 7,933ක් උසැති ටොමොර් කන්ද ඇල්බේනියාවේ උස ම ශිඛරය වේ. මේ ප්‍රදේශයෙහි භූ-චලන ඉතා බහුල වශයෙන් ඇති වී තිබේ. කඳු ප්‍රදේශයෙහි දී ඩ්රීන්, ෂ්කුම්බි, සෙමෙනි, වියෝසේ ආදි ගංගා සියල්ල ම මේ භූචලන නිසා ඇති වී තිබෙන පටු ගැඹුරු නිම්නවල ගලන අතර උතුරු ඇල්බේනියාවේ ස්කූටාරි විලත් නැගෙනහිර ඇල්බේනියාවේ ඕක්රිඩ් සහ ප්රෙස්පා විලුත් ඒ හේතු වෙන් ම ඇති වී තිබෙන ද්‍රෝණිවල පිහිටා තිබේ. මේ විල් අවට පහත් බිම් ඇල්බේනියානු ඇල්ප්ස් හරහා ගමනාගමනයට උපකාරී වේ. ඕක්රිඩ් විලෙන් පටන්ගෙන උතුරට ගලන බ්ලැක් ඩ්රීන් ගඟ, යුගෝස්ලාවියාවෙන් දකුණට ගලන වයිට් ඩ්රීන් ගඟ හා එක් වීමෙන් සෑදෙන ඩ්රීන් ගඟ ඇල්බේනියාවේ ප්‍රධාන ගංගාවයි.
තැනිතලාවේ දී දෙකට බෙදෙන මේ ගඟෙන් අත්තක් ලෙෂ් නගරය අසල දී ද අනෙක් අත්ත ස්කූටාරි විලෙන් නික්මෙන බොයානා ගඟට එක්වී ද අද්‍රියාතික් මුහුදට වැටේ. ෂ්කුම්බි ගඟ ඕක්රිඩ් විල අසලින් ද වියෝසේ ගඟ ග්‍රීසියේ පින්ඩස් කඳුවලින් ද පටන් ගනී.
වෙරළබඩ තීරය, විශේෂයෙන් ගංගාවලින් තැන්පත් වී ඇති දියළු පසින් ගොඩනැඟී ඇත්තේය. වගුරු සහිත තැනිතලාවක් වූ එහි දකුණු කොටසට වඩා උතුරු කොටස පළල්ය. දකුණු ඇල්බේනියාවේ වලෝනා නුවර සමීපයෙහි වෙරළබඩ ප්‍රදේශය හුනුගලින් සැදුණු හෙල්වලින් ගහනය. කඳු අතර පිහිටි පටු නිම්න සාරවත් පසින් යුක්තය.
දකුණු වෙරළාසන්න පෙදෙස්වල මධ්‍යධරණී දේශගුණයක් පවත්නා අතර අභ්‍යන්තර පෙදෙස්වල කඳු නිසා දේශගුණය වෙනස් වේ. කඳුකරය වඩා සිසිල්ය, වර්ෂාධිකය, හිමබරය. එහෙත් සාගරික බලපෑම පවතින වෙරළාසන්න පෙදෙස් ඉහළ කඳු ප්‍රදේශවලට වඩා ගොවිතැනට යෝග්‍යය. මෙහි නියම මධ්‍යධරණී පැළෑටි වැඩෙන අතර මධ්‍යම ඇල්බේනියාවේ ඕක් ආදි ගස් ද නැගෙනහිර උස් කඳු බෑවුම්වල කේතුධර වනාන්තර ද වැවේ.
ඇල්බේනියාවේ ජනගහනයෙන් 80%ක් ගොවි කර්මාන්තයෙහි යෙදී ඇති නමුත් රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රාශියක් පිටරටවලින් ගෙන්වා ගනු ලැබේ. ඇල්බේනියාවේ සෑම තැන ම ඉරිඟු වචන අතර තිරිඟු දකුණු ඇල්බේනියාවට සීමා වෙයි. මධ්‍යධරණී තැනිතලාවෙහි මිදි, ඔලිව් සහ දොඩම් ආදි පලතුරු ඉතා සරුවට වැවේ. සුළු වශයෙන් දුම්කොළ ද වවන නමුත් සුරුට්ටු සිගරැට් ආදිය සෑදීමට අවශ්‍ය දුම්කොළ පිටරටවලින් ගෙන්වා ගනු ලැබේ. කඳුබිම්වල ඇති කරන බැටළුවන්ගෙන් කේජු සෑදීම සඳහා කිරි ලබාගනිති. මෙහි ගවයන් ඇතිකිරීම ද කෙරේ.
විශාල ඛනිජ ධනයක් ඇති ඇල්බේනියාවේ ඛනිජ තෙල්, ගල් අඟුරු, ඇස්පැල්ට් සහ ක්‍රෝමියම් බහුලව නිපදවනු ලැබේ. ප්‍රධාන ඛනිජ තෙල් ආකර පිහිටා ඇත්තේ රටෙහි දකුණු අර්ධද්වීපයෙහි පිහිටි කුසොවේ ආදි පළාත්වලය. ටිරානා, ටෙපෙලෙනි සහ කොරිට්සා ප්‍රධාන අඟුරු ආකර පිහිටා ඇති ස්ථානය. තඹ, නිකල්, රන්, ආසනික් සහ සල්පර් ද මේ රටෙහි තිබේ.
ඇල්බේනියාවේ කාර්මික දියුණුවක් ඇති වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. ස්කූටාරිහි පිහිටි සිමෙන්ති කර්මාන්තය රටේ ඉතා ම වැදගත් කර්මාන්තයයි. පිටි ඇඹරීම, කේජු සෑදීම, බීර පෙරීම ආදි කර්මාන්ත ද මෙහි වැදගත්ය. ඛනිජ තෙල්, කේජු, බිත්තර, දැව, සම් සහ ලොම් ඇල්බේනියාවෙන් පිටරට යවන ප්‍රධාන ද්‍රව්‍යයි. රෙදිපිළී, යන්ත්‍රෝපකරණ ආදි ද්‍රව්‍ය රාශියක් වැඩි වශයෙන් ඉතාලියෙන් ගෙන්වනු ලැබේ. ජලවිදුලි බලය නිපදවන ස්ථාන හතරක් පමණ ඇල්බේනියාවේ ඇත.
මෙහි ජනගහනය (1960) 1,625,000කි. ඉන් 70%ක් පමණ මුස්ලිම්වරුය; සෙස්සෝ ක්‍රිස්තු භක්තිකයෝය.
ඇල්බේනියාවේ ගමනාගමන පහසුකම් පවත්නේ මඳ වශයෙනි. එහි දුම්රිය මාර්ග දෙකකි. ප්‍රධාන නගර සම්බන්ධ කරන මාවත් දුර්වල තත්වයක පවතී.
මෙහි අගනුවර ටිරානා (130,000) ය. එහි කපු, දුම්කොළ ආදිය ආශ්රිත කර්මාන්ත පවතී. ෂ්කෝඩර් (ස්කූටාරි-41000) පැරැණි බලකොටුවකි; කෝර්දෙ (34,000) කඳුකරයෙහි පිහිටි වෙළඳ නගරයකි. ඓතිහාසික නගරයක් වන දුරෙස් (දුරාත්සෝ-32,000) ධාන්‍ය, ඔලිව් තෙල් සහ දුම්කොළ පිටරට යවන තොටකි. විලෝනා (වාලෝනා - 33,000) ඇල්බේනියාවේ ධීවර කර්මාන්ත මධ්‍යස්ථානය වන අතර ප්‍රධාන තොට ද වේ. ඛනිජ තෙල් පිටරට යැවෙන්නේ මෙයිනි.
සෙග් සහ ටොස්ක් යන පැරැණි මධ්‍යධරණී ගෝත්‍රවල වාසභූමිය වූ ඇල්බේනියාවෙහි ක්‍රිස්තු ධර්මය ද ඉස්ලාම් ධර්මය ද පැතිරිණි. ග්‍රීක, රෝම සහ ස්ලාව් බලපෑම්වලින් බොහෝදුරට මිදුණු මේ රට ගොත්, බයිසැන්ටීන, ස’බ් සහ තුර්කි යන ජාතීනට නතුව පැවැත්තේය. 1912 දී නිදහස ලැබුණ නමුත් ඉක්බිතිව ඇති වූ ස’බ් ආක්‍රමණය හේතුකොටගෙන 1917 දී යළිත් නිදහස් ප්රකාශනයක් කිරීමට සිදු විය. 1925-28 කාලයේ දී සමූහාණ්ඩුවක් වූ මෙය 1928 සිට එකොළොස් වසක් සොග් රජු යටතේ රාජාණ්ඩුවක්ව පැවැත්තේය. 1939 දී ඉතාලි හමුදාවට ද 1941 දී ජර්මන් හමුදාවට ද යටත් වූ මෙරට 1944 දී බ්‍රිතාන්‍ය-ග්‍රීක හමුදාවක් විසින් නිදහස් කරන ලදි. ඇල්බේනියාව 1946 දී සමූහාණ්ඩු රාජ්‍යයක් බවට පත්විණි. II ලෝක සංග්රාමයෙන් පසු එන්වර් හොක්සාගේ නායකත්වයෙන් කොමියුනිස්ට් සමූහාණ්ඩු රාජ්‍යයක් බවට පත් ඇල්බේනියාව 1962 දී සෝවියට් සංගමය හා භේදභින්න විය.
(සංස්කරණය: 1967)