ඇල්සිබයඩීස්
(ක්‍රි.පූ. 450-404 පමණ). ඇතන්ස්හි විසූ අතිශූර සේනාපතියකු ද දේශපාලනඥයකු ද වූ මෙතෙම සුප්‍රසිද්ධ පෙරික්ලීස් (බ.) ගේ බෑනණු කෙනෙකි. ග්‍රීක දාර්ශනික සොක්රටීස්ගේ ශිෂ්‍යයකු ද වූ ඇල්සිබයඩීස් සොක්රටීස් ගිය දුෂ්කර මාර්ගයෙහි ගමන් නොකළ නමුත් ඔහු අභිවාදනයෙන් පිදීය. රූපසම්පත්තිය, ධනය හා සහජ දක්ෂතාව නිසා අනූන ජනාදරයට පාත්‍ර වූ බලසම්පන්න පුද්ගලයකුව සිටි මෙතෙම ධනය හා බලය වැරදි මග යොමු කළ, ප්‍රතිපත්ති හීන, ආත්මාභිවෘද්ධිය දේශයේ යහපතට ඉහළින් තැබූ තැනැත්තෙක් විය.
ක්‍රි.පූ. 419 දී ඇතන්ස්හි පාලක මණ්ඩලයට ඇතුළු වූ ඇල්සිබයඩීස් වැඩිකල් නොගොස් ම අතිශයින් ජනප්‍රියභාවයට පත්වූයේ, ඇතන්ස් පුරය සිසිලියට විරුද්ධව අවි ගත යුතු බවට උවදෙස් දුන්නේය. අනතුරුව හේ නිසියාස් හා ලමාකස් ද සමග සිසිලිය ආක්‍රමණය කිරීමෙහි නායකත්වය දැරීය. මෙම ආක්‍රමණය සඳහා පිටත් වීමට පූර්ව දිනයෙහි පූජනීය හර්මීස් දේව ප්‍රතිමාව අබිරහස් ලෙසකින් කඩා බිඳ දමා තිබුණෙන් ඒ ගැන ඇල්සිබයඩීස් සැක කරනු ලැබිණ. තම නිදොස් බව දැක්වීම සඳහා ඔහු විභාගයක් ඉල්ලා සිටි නමුත් සිසිලි-ආක්‍රමණය සඳහා පිටවී යෑමට ඔහුට නියම කරනු ලැබිණ. පසුව, සිසිලියේ සිටි ඔහු විභාගය සඳහා ආපසු කැඳවනු ලැබූ කල්හි ස්පාර්ටාවට පැන ගියේය. ස්පාර්ටාවේ දී මේ ආත්මාර්ථකාමී පුද්ගලයා තම රාජ්‍යයට විරුද්ධව සිසිලියේ සයිරකියුස්වරුනට උදව් දීමට ස්පාර්ටන්වරුන් පොලඹවාලීය. ඇත්තෙන් ම එය ඇතන්ස්හි විනාශයට හේතුකර විය. ඉක්බිති සුළු ආසියාවට ගිය ඔහු එහි දී ද ඇතන්ස් රාජ්‍යයට විරුද්ධව නැඟී සිටීමට ඇතන්ස්හි මිත්‍ර පාක්ෂිකයන් පෙලඹ විය. අනතුරුව පර්සියාවේ තිසාපර්නීස් නම් වූ ක්ෂත්‍රපයා හා මිත්‍ර ගිවිසුමකට බැඳුණේය. කලක් මෙම පර්සියානු ක්ෂත්රපයාගේ වාසල නැවතී සිටි හේ ඇතන්ස් රජය විසින් ආපසු කැඳවනු ලැබීම පතා ක්‍රියා කරන්නට විය. එහෙත් ඇතන්ස් කතිපයාධිපති ආණ්ඩු සමයේ දී ඔහුගේ අදහස ඉෂ්ට නොවූයෙන් එහි ප්රජාතන්ත්රවාදී පක්ෂයට හිතවත්බව දක්වා ක්‍රියා කොට ඇතන්ස්හි ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසුත් රැසිබියුලස්ගේ කාලයේ දී එම රජයේ හොඳහිත දිනාගත්තේය. රජයේ ආරාධනා ලැබ ආපසු යමින් සිටි ඇල්සිබයඩීස්, හෙලස්පොන්ට් අසල ප්‍රදේශයේ නාවික හමුදා අණදෙන නිලධාරිබව ලබා එම පෙදෙසේ දී ක්‍රි.පූ. 411, 410 යන වර්ෂවල දී ස්පාර්ටන්වරුන්ට විරුද්ධව කරන ලද නාවික සටන් කීපයකින් ම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කෙළේය. අනතුරුව හෙතෙම ඇතන්ස්හි දී ශ්‍රේෂ්ඨ වීරයකු වශයෙන් පිළිගන්නා ලදි. ඔහුට විරුද්ධව තිබුණු චෝදනා ද ඉවත් කොට සේනාධිපති පදවියෙන් ද පුදනු ලැබීය. එහෙත් ක්‍රි.පූ. 407 දී පෙලොපොනීසියානු යුද්ධයේ නෝටියම් සටනින් ලබන ලද පරාජය නිසා ඔහු එම පදවියෙන් ඉවත් කරනු ලැබීය. ක්‍රි.පූ. 405 දී ඇතන්ස් පුරය පෙලොපොනීසියානු යුද්ධයෙන් ලත් අවසාන පරාජයෙන් අනතුරුව සුළු ආසියාවේ ෆ්රිජියාවෙහි රැකවරණ සොයා ගිය හෙතෙම ඔහුගේ සතුරු ස්පාර්ටන්වරුන් විසින් මරවනු ලැබිණි.
(සංස්කරණය: 1967)