ඇල්සේස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නැගෙනහිර ප්‍රංසයේ පැරණි පළාතක් වූ මෙය දැනට ඇල්සේස්-ලොරේන් (බ.) නම් වූ පාලන ප්‍රදේශයට අයත් වන නමුත් භූගෝලීය ප්‍රදේශයක් වශයෙන් තවමත් වෙන් කොට හැඳින්වේ. උතුරින් හා නැගෙනහිරින් ජර්මන්-ප්‍රංස දේශසීමාවෙන් ද දකුණින් ප්‍රංස-ස්විට්සර්ලන්ත දේශසීමාවෙන් ද බටහිරින් ලොරේන් පළාතෙන් ද වට වී ඇති ඇල්සේස් ප්‍රදේශය, වර්තමාන පාලන කටයුතු උදෙසා පහළ රයින්, ඉහළ රයින් හා බෙල්ෆට් ප්‍රාන්තය නම් වූ ‍කොට්ඨාස තුනකට බෙදා ඇත. වෝෂ් (Vosges) කඳු හා රයින් ගඟ අතර පටු දියලු තැන්නක පිහිටි ඇල්සේස් ප්‍රදේශය හරහා ඊල්, ලෝතර්, මොඩර්, තූර් හා ලොක් යන ගංගා ගලා බසී. ඇල්සෙස් තැන්නෙහි උස මුහුදු මට්ටමේ සිට අඩි 300-600කි. කඳුවලින් ආවරණය වී ඇති හෙයින් ඇල්සේස්හි දේශගුණය මහාද්වීපික ලක්ෂණ දක්වයි. ශීත ඍතුවේ දී මෙහි දිය මිදේ. ග්‍රීෂ්ම ඍතුව ඉතා උණුසුම්ය. සුළං මුවාවක පිහිටි හෙයින් වාර්ෂික වර්ෂාපතනය 25”ක් පමණ වේ.

දියළු පසින් යුත් සාරවත් ඇල්සේස් තැන්න ප්‍රංසයේ දියුණු කෘෂිකාර්මික ප්‍රදේශයකි. සීනි, බීට්, බාර්ලි, තිරිඟු හා මිදි ඇල්සේස්හි වවන ප්‍රධාන බෝගයි. ගොවිතැනට සුදුසු සේ සකස් කරගන්නා වගුරු බිම්වල දුම්කොළ හා (බීරවල තික්ත රසය ඇති කිරීමට ගන්නා මල් ඇති) හොප් නම් වැල් වර්ගය වවනු ලැබේ. මද්‍යසාර පෙරීම හා කිරිපට්ටි පාලනය මෙහි දියුණු කර්මාන්ත වේ. මේ හැර රෙදිපිළී, රසායන ද්‍රව්‍ය ආදිය නිපදවීම සම්බන්ධයෙන් ද මේ ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලයි.

ඇල්සේස්හි ගමනාගමන මාර්ග රයින් ගඟ ඔස්සේ වැටී ඇත. එහි අගනුවර වන ස්ට්රැස්බ'ග් වැදගත් තොටුපළක් ද වේ. මල්හවුස් හා කොල්මාර් මෙහි වෙනත් වැදගත් නගරය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්සේස්&oldid=12041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි