ඇලෙක්සැන්ඩර් I (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1777-1825). 1801 සිට 1825 දක්වා රුසියාවේ රජකළ (සාර්) අධිරාජයෙකි. පළමුවැනි පෝල් අධිරාජයාගේ පුත්‍රයායි. ඇලෙක්සැන්ඩර් I දහනවවැනි සියවසේ සිටි වැදගත් දේශපාලනඥයකු ලෙස හැඳින්විය හැකිය. එවක පැවති නිදහස්වාදී සම්ප්‍රදායට අනුකූලව අධ්‍යාපනය ලැබූ හෙතෙම එම සම්ප්‍රදායේ බලපෑමෙන් රුසියාවේ නොයෙකුත් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පෙලඹුණේය.

පෝල් අධිරාජයා සතුරු පක්ෂය විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුව සාර් පදවියට පත් ඇලෙක්සැන්ඩර් ස්වකීය දේශපාලන ජීවිතය ආරම්භ කළේ රුසියාවේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ බලාපොරොත්තු ඇතිවය. පාලනතන්ත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ඒ සඳහා තම හිතවතුන්ගෙන් සැදුණු විශේෂ රහස් මණ්ඩලයක් ද බිහි කළේය. රුසියානු ගැමියන්ගේ ජීවන තත්වය උසස් කරලීමටත් රාෂ්ට්‍රපාලනයෙහි නව මුහුණුවරක් ඇති කිරීමටත් එමෙන් ම රුසියානු අධිකරණශාලාවල පැවති ශාරීරික වධහිංසා ඉවත් කිරීමටත් හේ උත්සුක විය. ඇලෙක්සැන්ඩර්ගේ පරමාර්ථ අවංක වුවත් ඒවා සඵල වූ බවක් නොපෙනේ.

ආභ්‍යන්තරික ප්‍රශ්නවලට වඩා යුරෝපයේ දේශපාලන ප්‍රශ්න කෙරෙහි ඇලෙක්සැන්ඩර් උනන්දුවක් දැක්වූයේය. නැපෝලියන්ගේ පීඩනයෙන් යුරෝපය ගළවා ගැනීමට තමා දේව වරම් ලද්දෙකැයි හේ කල්පනා කළේය. නැපෝලියන් සමඟ කරන ලද යුද්ධවල දී පරාජය ලැබීමෙන් පසුව, 1807 දී තාවකාලික වශයෙන් නැපෝලියන් සමඟ සමගි සම්මුතියකට පැමිණීමට ඔහුට සිදු විය. පසුව මේ දෙදෙනා අතර පෞද්ගලික ආරාවුලක් ඇති විය. මෙය අවසාන වූයේ 1812 ශිශිර ඍතුවේ දී නැපෝලියන් මොස්කව් නුවර ආක්‍රමණය කිරීමෙනි. ඉක්බිති 1813 දී ලයිප්සිග්හි සිදු වූ 'ජාතීන්ගේ සටනේ’ නායකත්වය දැරූ ඇලෙක්සැන්ඩර් ප්‍රංසය ආක්‍රමණය කළේය. 1814-1815 වියනා සම්මේලනයේ දී ඇලෙක්සැන්ඩර් ප්‍රධාන තැනක් ගෙන ක්‍රියා කළේය. 1814 දී ශුද්ධ මිත්‍රගිවිසුම සංවිධාන කිරීමෙන් ඇලෙක්සැන්ඩර් බලාපොරොත්තු වූයේ ක්‍රිස්තියානි ආචාර ධර්ම මත පදනම් ලත් යුරෝපයක් ගොඩනැඟීමයි. අවසාන කාලයේ දී ගූඪවාදය කෙරෙහි නැඹුරු වූ ඇලෙක්සැන්ඩර් 1825 දෙසැම්බර් මාසයේ දී මිය ගියේය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලෙක්සැන්ඩර්_I_(2)&oldid=11787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි