ඇසළ
(ඇහැළ) (කසියා ෆිස්ටුලා - Cassia fistula L.). මෙය ඇද නැති කඳකින් හා වඩා ශක්තිමත් නොවන ශාඛාවලින් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ ගසකි. අඟල් 6 සිට 12ක් පමණ දිග ඇති ප්රාක්ෂයකින් යුක්ත සංයුක්ත කොළය තරමක් විශාලය. ප්‍රධාන ප්‍රාක්ෂය හා කුඩා උප පත්‍රත් (stipules) බූ සහිතය. එක් කොළයක පත්‍රිකා ජෝඩු 2 සිට 6 දක්වා ඇත. කොළවලට වඩා දිග ඇති පහතට නැමී තිබෙන ඒකාක්ෂවල (racemes) කහපාට මල් තිබේ. මලේ දල 5ක් ද රේණු 10ක් ද තිබේ. පහළින් ම තිබෙන රේණු තුන ලොකුය. පාර්ශ්වික රේණු හතරේ සූත්‍රිකා කෙටිය. ඉතිරි රේණු 3 මීට වඩා කුඩාය. මල් පිපෙන්නේ ජූලි සහ අගෝස්තු මාස අතර කාලයේ දීය. අඩියක් හෝ දෙකක් පමණ දිග ඇති එල්ලෙන සිනිඳු කරල කළුපාටය. මෙය පැළෙන්නේ නැත. කරලෙහි කළුපාට මොළොක් ද්‍රව්‍යයකින් වැසුණු දුඹුරු පාට කුඩා ඇට රාශියක් ඇත. මේ එක් එක් ඇටය හරස් බිත්ති මගින් වෙන් වී තිබේ. ඇටයක් සෑහෙන ප්‍රමාණ භ්රෑණපෝෂයකින් යුක්තය.
ඉන්දියාව, මලයාව සහ චීනය යනාදි රටවල මේ ශාකය බහුල ය. ලංකාවේ වියළි ප්‍රදේශයෙහි වනාන්තරවල ද මෙය ඉතා බහුල ලෙස වැවේ.
ඇසළ ගසේ කහට සහිත පොතු හම් පදම් කිරීමට ගනු ලැබේ. පොත්තේ ඇති ටැනින් (tannin) ප්‍රමාණය සියයට 10 සිට 12 දක්වා වෙනස් වේ. මේ ගසේ ඉතා තද වූත් බර වූත් අරටුව තද රතුපාටය. එය බොහෝ කලක් පවතී.
කරලෙහි වූ මොළොක් ද්‍රව්‍යයෙහි නානු, පෙක්ටින්, හයිඩ්රොක්සි-මීතයිල්-ඇන්ත්රැක්විනෝන් සහ සීනි සැලකිය යුතු ප්‍රමාණයක් ඇත. රිකිලිවල පොත්තෙන් ඔක්සි-මීතයිල්-ඇන්ත්රැක්විනෝන් ලබාගෙන තිබේ.
ආයුර්වේද මතය
ඇහැළ කොළ විරේචකයි; සෙම් මේදස් නසයි. මල් මධුර තිත්ත රසයි; ශීත වීර්යයි; මල සංග්රාහකයි. ඵල විරේචකයි; රුචිකරයි; කුෂ්ඨ, පිත් හා සෙම් නසයි; ධාතු පෝෂණය කරයි; ජ්වරයෙහි විශේෂයෙන් හිතකාරි වෙයි; කෝෂ්ඨ ශුද්ධිය කරයි. ඇහැළ මද කුසගිනි වඩයි; රේවකයි; පිත් වායු නසයි.
ආමයික ප්‍රයෝග
ජ්වර, රක්තපිත්ත, පිත්තෝදර, කාමලා යන රෝගවලට ඇසළ ඵල ද කුෂ්ඨ, විසර්ප, ඌරුස්තම්භ, ආමවාත, දද යන රෝගවලට ඇසළ පත් ද අනිකුත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ. උපදංශයෙහි දී තුවාළ සේදීම පිණිස ද කඵවිද්රධියෙහි දී ද ඇසළ පත් තැම්බූ ජලය උපයෝගී කර ගනිති. මෙපරිද්දෙන් ඇසළ ගසේ අනිකුත් අංග ද විවිධ රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ දී යොදනු ලැබේ.
(සංස්කරණය: 1967)