ඉඳුගොව්වා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඉන්ද්‍රගෝප). පැරණි පොතපතෙහි සඳහන් වන ක්ෂුද්‍ර කෘමි විශේෂයකි. නොයෙක් පැහැති ඉඳුගොව්වන් සිටින බව සුශ්‍රැතසංහිතා ටීකාව ආදි ඇතැම් තන්හි දැක්වෙතත් පොතපතෙහි බහුල වශයෙන් රත් පැහැති ඉඳුගොව්වෝ (රතිඳුගොව්වෝ) ම සඳහන් වෙති. මේ කෘමීන් වැසි වට පසු පොළොව යට සිට මතුපිටට පැමිණෙතැයි කියනු ලැබේ.

ධර්මප්‍රදීපිකාකාරයෝ රතිඳුගොවු කැල "සිඳී වගුළ පබළු වැළ රූ බඳු" වත් කව්සිළුමිණිකාරයෝ "පෙනෙහෙලි මුත් දලරොන් බඳු" වත් දුටුහ. පබළු, දලරොන් (ගිනිරොන්) යන උපමාවස්තු දෙකින් ඔවුන්ගේ මහතදෙහෙතත් පැහැයත් සලකා ගන්නට පිළිවන. "... වැළිත් වැසි වැසපී හෙයින් සක්මන් කරන තැන බොහෝ රතිඳුගොව්වෝ ඇති වූහ. තෙරුන්වහන්සේ ඇස් නැතිව කරන සක්මන් හෙයින් මැඬී බොහෝ දෙන මළෝය"යි සද්ධර්මරත්නාවලියෙහි එන පාඨයෙන් ඔවුන් අහිංසක වූත් යම් දෙයක් වහා බදා නැඟීගත නොහෙන්නා වූත් කුඩා කෘමි ජාතියක් බව පැහැදිලි වෙයි. වර්තමාන ශබ්දකෝෂකාරයෝ ඔවුන් කොචිනීල් (cochineal) නම් කීට විශේෂය වශයෙන් හඳුනාගනිති. මේ තොරතුරුවලින් හැඟීයන්නේ ඉඳුගොව්වන් ඉන්සෙක්ටා (Insecta) වර්ගයේ හොමොප්ටෙරා (Homoptera) ගෝත්‍රයෙහි කොකිඩෙ (Coccidae) ගණයට අයත් ශල්කකීට (scale insect) වර්ගයක් හෝ වර්ග කිහිපයක් බවය.

ඉඳුගොවු (ඉන්ද්‍රගෝප) යයි මේ කෘමීන් හැඳින්වෙන්නේ ඉන්ද්‍රයා හෙවත් වර්ෂාවට අධිපති දෙවියා ඔවුන් ගෝපනය (රැකීම) කරතැයි යන අරුතෙනි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉඳුගොව්වා&oldid=7908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි