ඉවාන් IV

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1530-1584). විභීෂණ නැතහොත් ක්‍රෑර යනුවෙන් අරුත් දිය හැකි ‘ග්‍රොස්නි’ යන අපර නාමයෙන් ප්‍රසිද්ධ වූ හතරවැනි ඉවාන් නම් රුසියන් සාර් වූකලි මස්කොවි උපරාජධානියේ ග්‍රෑන්ඩ් ඩ්‍යුක් (මහාදිපාද) පදවිය දැරූ තෙවැනි බැසිල්ගේ පුත්‍රයෙකි. ඉවාන් ඉපදුණේ 1530 දීය. ඉන් අවුරුදු තුනකට පසු පියා මිය ගියෙන් නාමමාත්‍රයෙන් ඔහු සිය රටේ පාලකයා විය. වයස අවුරුදු 14 වූ විට මුළු රටේ සැබෑ පාලනය සියතට ගත් ඔහු 1547 දී රුසියාවේ ප්‍රථම සා‍ර් (රජු) වශයෙන් ඔටුනු පලඳවනු ලැබීය.

ළදරු වියේ දී ම සිය පියාත් මවත් මිය ගියෙන් ඉවාන් ඇති දැඩි වූයේ ආත්මගෞරවය කෙලෙසෙනසුලු දරුණු පරිසරයකය. නොයෙක් අන්දමේ ආත්මාර්ථකාමී ව්‍යාපාරයන්හි යෙදුණු රදල නායකයන් නිසා ඉවාන්ගේ ජීවිතය අවුල්වියවුල්වලින් පිරී ගියේය. මෙම කරුණ ඔහුගේ චරිතය කෙරෙහි ද පසුකලක ඔහු අනුගමනය කළ ප්‍රතිපත්තීන් කෙරෙහි ද බලපෑ බව ඉතිහාසඥයෝ නිගමනය කරති. රදලයන් කෙරේ දරුණු ක්‍රෝධයෙන් පසු වූ ඉවාන් අන්තිම රදල නායකයා ද මරා දමා සාර් පදවියට පැමිණියේය.

තරුණ වියේ දී නොයෙක් අන්දමේ දුශ්චරිතයන්හි හා අධම ක්‍රියාවන්හි නියුක්තව සිටි ඉවාන් 1550 දී ජාතික සංගමයක් රැස් කරවා සිය පැරණි ක්‍රියාවන් ගැන පාපෝච්චාරණය කොට සාධාරණ අන්දමින් රට පාලනය කිරීමට පොරොන්දු විය. එවකට රටේ සිටි ඉතා යහපත් මිනිසුන් පිරිවරාගත් ඉවාන් තෙමේ ඇලෙක්සිස් ඇඩෂෙප් සහ සිල්වෙස්ටර් නම් පුද්ගලයන් දෙදෙනකුගේ ආධාරය ඇතිව රට පාලනය කරන්නට පටන් ගත්තේ මඳ කලකින් දිග්විජය ඇරඹීය.

ශතවර්ෂ ගණනාවක් පුරා මස්‍කොවි උපරාජධානියට තර්ජනයක්ව පැවති ටාටර් වර්ගයාට විරුද්ධව සටන් ඇරඹුණේ ඉවාන්ගේ කාලයේ දීය. 1552 දී ටාටර්වරුන් පරදවා කෂාන් අත්පත් කර ගැනිණ. 1556 දී අස්ට්‍රඛාන් පෙදෙස අල්ලාගන්නා ලද අතර තවත් ටාටර් ගෝත්‍රික කණ්ඩායම් ගණනාවක් ම සාර්ගේ ආධිපත්‍යය පිළිගත්තෝය. එපමණක් නොව ක්‍රිමියාවට පහර දී එය පරදවන්නට ද ඉවාන් සමත් විය. පිටරටවලින් දක්ෂ කර්මාන්ත ශිල්පීන් ගෙන්වා පදිංචි කරවීමෙන් රට සංවර්ධනය කරන්නට ඉවාන් යත්න දැරුව ද ඒ එතරම් දුරට සාර්ථක නොවීය. මේ උත්සාහය නිසා ඉවාන් සහ පෝලන්ත පාලකයා අතර විරුද්ධතාවකට ද මගපෑදිණ.

1560 පමණේ සිට ඉවාන්ගේ ප්‍රතිපත්ති වෙනස් වූයෙන් ඔහුගේ පාලනයේ දරුණු ම කාලපරිච්ඡේදය එළඹිණ. දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් උපදේශකයන් දෙදෙන හා රජු අතර මතභේද ඇති වූයෙන් ඒ දෙදෙන රාජ්‍ය කටයුතුවලින් ඉවත් වූහ. ඉවාන්ගේ සුහද මිතුරා වූ කුර්බ්ස්කි කුමරු ඔහුට පිටුපා යාම ද බිසව හා පුත්කුමරා මියයෑම ද හේතු කොටගෙන ඔහු වියරු වැටී දරුණු ක්‍රියාවලට පෙලඹුණු සේ පෙනේ.

රටේ සියලු දෙනා ම තමාට විරුද්ධව නැඟ එතැයි විශ්වාස කළ සාර් තෙමේ රජය අතහැර යාමට කැමැත්ත පළ කෙළේය. එහෙත් ඔහුට රිසි පරිදි රට පාලනය කළ මැනැවයි සාමාන්‍ය ජනතාව ඉල්ලා සිටියෙන් ඔහු 'ඔප්රිචිනා' නමින් අමුතු ම ආයතනයක් ගොඩනගාගෙන ඒ මගින් රාජ්‍යය පාලනය කරන්නට විය. සාර්ට රිසි පරිදි තෝරාගන්නා ලද නිලධාරීන් දහසකින් පමණ සමන්විත වූ මේ ආයතනයේ නඩත්තුව සඳහා ඇතැම් රුසියානු ප්‍රදේශයන්ගෙන් සහ නගරවලින් ලැබුණු ආදායම වෙන් කොට තැබිණ. පැරණි පාලන ආයතන තුබුණ නමුදු ඒවා සම්පූර්ණයෙන් ම නොසලකා හැර දැමූ 'ඔප්රිචිනා' ආයතනය ඊට රිසි සේ ක්‍රියා කළ බව පෙනේ. ඉවාන්ට විරුද්ධ වූහයි සැක කොට මේ ආයතනය මගින් මරා දමන ලද්දවුන් අතර මොස්කව් නගරයේ ප්‍රධාන පූජක පදවිය දැරූ පිලිප් නම් සත්පුරුෂයා ද විය. නොව්ගොරොද් ප්‍රදේශවාසීන් තමාට විරුද්ධ කුමන්ත්‍රණයක යෙදී ඇතැයි සැක කළ ඉවාන් 1570 දී ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ කොට හැම පන්තියකට ම අයත් රටවැස්සන් දහස් ගණනක් සමූලඝාතනය කරවීය.

ස්වීඩනය හා පෝලන්තය සමග කරන ලද දීර්ඝ යුද්ධයකින් පරාජය වූ ඉවාන්ට ප්‍රදේශ කිහිපයක් ම ඒ රාජ්‍යයන්ට බාර දෙන්නට සිදු විය. එහෙත් සයිබීරියාව අල්ලාගන්නට ඉවාන් සමත් වූ බව පෙනේ. එංගලන්තය සමග මිත්‍ර සම්බන්ධකම් ඇති කරගැනීමට ද හේ යත්න දැරීය. මැඩපවත්වා ගත නුහුණු හදිසි කෝපයෙන් ගැසූ පහරකින් තමා අතිශයින් ඇලුම් කළ ඉවාන් නම් පුත්‍රයා මියගියෙන් (1580) ශෝකාකූල වූ රජ යළිත් රාජ්‍යපාලනයෙන් ඉවත්වීමට තැත් කොට ස්වකීය ජීවිතයේ අවසාන අවධියේ දී උග්‍ර තපස් රැක 1584 දී මිය ගියේය.

රුසියානු පාලකයන් අතර iv වන ඉවාන්ට අයත් වන්නේ අද්විතීය ස්ථානයකි. රුසියානු ඉතිහාසයේ නූතන අවධිය ආරම්භ වන්නේ ඔහුගෙනි. පසුකාලයේ සමහර සෝවියට් ඉතිහාසඥයෝ ඔහු ස්ටාලින්ට සම කළහ. මධ්‍යම හා පහළ පන්තිවලට අයත් ජනයාට විශේෂ සැලකිල්ලක් දැක්වූ ඔහු උත්සාහ කෙළේ රදල පන්තිය මැඩීමටය. මේ සඳහා ඔහු ඒකාධිපති පාලනයක සහාය ලබාගත්තේය. ඔහුගේ ගතිගුණ කලින් කල පුදුමාකාරයෙන් වෙනස් විය. ඔහු කෙරෙහි දක්නට ලැබුණු එක ම ස්ථිර ගුණය නම් තම අදහස් ක්‍රියාවේ යෙදීමට දැක්වූ දෘඪ අධිෂ්ඨානයයි. ඔහු බෝල්ටික් ප්‍රදේශය රුසියාවට ඈඳාගැනීමට මුළු ජීවිතකාලය තුළ ම උත්සාහ දැරීය. එම උත්සාහය අසාර්ථක වුව ද ඔහු තම අදහස් වෙනස් නොකෙළේය. ඔහු බෝල්ටික් ප්‍රදේශ ඈඳාගැනීමට උත්සාහ දැරුයේ යුරෝපයට පිවිසෙන මාර්ගයක් විවෘත කිරීමේ අදහසිනි. යුරෝපයෙන් ශිල්පීන් හා කම්කරුවන් ලබාගත් හෙයින් ඔහුගේ කාලයේ දී රුසියාවේ ආර්ථික හා සංස්කෘතික ජීවිතයේ තරමක දියුණුවක් ඇති විය. මේ අතින් ඔහු පසුකාලයේ විසූ පළමු වන පීටර් රජතුමාගේ ක්‍රියාකලාපය සිහිපත් කරවයි. නැගෙනහිර හා අග්නිදිග දිසාවන්හි රුසියානු බලය ව්‍යාප්තවීම හා සයිබීරියාවේ ජනපද පිහිටුවීම ආරම්භ වූයේ මොහු කලය.

තුලනාත්මකව බලන කල ඔහුගේ පාලනයෙන් සිදු වූයේ යහපතට වඩා අයහපතකි. ඔහුගේ අනුප්‍රාප්තිකයන් කල ඇති වුණු අරාජික තත්වය ඔහුගේ පාලනයේ ප්‍රතිඵලයක් ලෙස සැලකීමට පුළුවන.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉවාන්_IV&oldid=8488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි