ඉස්පන්ජි
පොරිෆෙරා (Porifera) වංශයට අයත් වූ ද සඡිද්‍ර පිණ්ඩයක් සාදන්නාවූ ද ඌන සංවිධානයකින් යුත් සරලතම කරදිය හා මිරිදිය ජීවීන්ට සත්ව විද්‍යාවෙහි ඉස්පන්ජි යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. සාමාන්‍යයෙන් මෙනමින් හැඳින්වෙන්නේ මේ සතුන්ගේ සඡිද්‍ර සැකිලිය.
පුරාතනයන්ට ඉස්පන්ජි අභිරහසක් විය. ඉස්පන්ජි සත්ව වර්ගයක් යයි ඇරිස්ටෝටල් සිතීය. එහෙත් ඒවා ශාක වර්ගයට හෝ සත්ව වර්ගයට අයත් නොවේය යනු ප්ලිනිගේ මතය විය. ඒ කාලයේ දී මිනිසුන් විසින් ඉස්පන්ජි සලකන ලද්දේ පණුවන් සෑදූ කූඩු වශයෙන් හෝ මූදූ පෙණ ඝන වීමෙන් සෑදුණු වස්තු විශේෂයක් වශයෙනි. 18 වැනි ශතවර්ෂයේ විසූ ජීවවිද්යාඥයන්ට පවා ඉස්පන්ජි සත්තු ද ශාකයෝ දැයි තෝරා ගත නොහැකි විය. ඉස්පන්ජි සතුන් බව 1804 දී ඔප්පු කරන ලදි.
ප්‍රෝටොසෝවා හා සිලෙන්ටෙරාටා යන වංශ දෙකට අතරමැදි රූපීන් සේ ඉස්පන්ජි පෙනී සිටිත්. ජලයේ ගිලී තිබෙන ගල් වැනි නොයෙක් වස්තුවලට ඇලී වෙසෙන උන්ගෙන් බොහෝ කොටසකට නියම හැඩයක් නැත. ඇතැම් ඉස්පන්ජියන්ට නියමිත හැඩයක් හා සම්මිතියක් ඇතත් ගල් හෝ මූදූ පැළෑටි මත වැවෙන තුනී පොතු වැන්නවුන්ගේ සිට ලොකු වටාපතක හැඩය ඇත්තවුන් ද අතුපතර විහිදි ගසක හැඩය ගත්තවුන් ද තරමක් ලොකු කෝප්ප වැන්නවුන් ද දක්වා උන්ගේ නොයෙක් හැඩහුරුකම් දක්නට ලැබෙත්. ඉස්පන්ජියන්ගේ පැහැය සුදු, කහ, රතු, දුඹුරු, පලාවන් හෝ දම්පාට විය හැකිය. කලාතුරකින් නිල්පාට ඉස්පන්ජි ද දක්නට ලැබේ. ලෝකයේ සෑම තැන ම වාගේ ඉස්පන්ජි ව්‍යාප්ත වී ගොස් ඇත. සාගරවල හා මුහුදුවල ද මිරිදිය විල්වල හා ගංගාවල ද ඉස්පන්ජි දක්නට ලැබෙත්. මූදු වෙරළ සමීපයෙහි තිබෙන ගල් ද කලපුවල තිබෙන කොරල්පර ද ඉස්පන්ජියන්ට හිතකර පරිසර වේ.
ශූලිකාවලින් (spicules) හෝ තන්තුවලින් යුත් සැකිල්ලක ආධාරයෙන් උසුලා සිටින ලිහිල් සෛල සමූහයකින් ඉස්පන්ජියකුගේ දේහය සමන්විතය. නියමිත පටක වශයෙන් විභේදනය වීම අසම්පූර්ණය. එබැවින් දේහයේ නොයෙක් කොටස් අතර වැඩි සහයෝගයක් හෝ සාරුප්යයක් දක්නට නොලැබේ. ඉස්පන්ජියකුගේ පෘෂ්ඨයෙහි කුඩා සිදුරු විශාල සංඛ්‍යාවක් ඇත. මේවා තුළින් ජලය සංසරණය වේ. ඉස්පන්ජි තම දේහයේ අභ්‍යන්තරයෙහි තිබෙන කශිකාධර සෛල මඟින් මේ ජලධාරාව ඇති කරත්. කශිකා ගැසීමෙන් ඇතුළතට ඇද ගන්නා ජලය සංකීර්ණ ආලි පද්ධතියක් (system of canals) තුළින් යවනු ලැබේ. ඉහළින් පිහිටි පෘෂ්ඨයෙහි තිබෙන කුමු (oscula) නමින් හැඳින්වෙන වඩා ලොකු විවර ස්වල්පයක් තුළින් මේ ජලය යළිත් පිටකරනු ලැබේ. මෙසේ ජීවමාන ඉස්පන්ජියකු තුළ අඛණ්ඩව පවත්නා ජල සංසරණයක් ඇති වේ. මේ ජලධාරාව ඉස්පන්ජියාට ආහාර සහ ඔක්සිජන් ගෙන දෙයි; නිෂ්ඵල ද්‍රව්‍යයන් ද පිට කරයි. ජලයේ ජීවත් වන නොයෙක් ක්ෂුද්‍ර ජීවීහු ඉස්පජියාගේ ආහාරය වෙත්.
ඉතා ම සරල ඉස්පන්ජියා ඔලින්තුස් (olynthus) නමින් හැඳින්වේ. සිදුරු විශාල සංඛ්‍යාවක් ඇති කුහර සහිත කලසක් (vase) මේ ඉස්පන්ජියාට ඇත. ඊ මුදුනෙහි කුමුව (osculum) නමින් හැඳින්වෙන ලොකු විවරයක් ඇත. මේ විවරය මුඛයක් නොවේ. ජීරණය වූ ද්‍රව්‍ය පිට කිරීමට එය පාවිච්චි කරනු ලැබේ. ආමාශයික ස්තරය හා චර්මීය ස්තරය යන ස්තර දෙකින් කලසේ බිත්තිය සමන්විතය. ගොටු සෛල (choanocytes) නමින් හැඳින්වෙන කශිකාධර සෛලවලින් ආමාශයික ස්තරය සමන්විතය. ආවරණ ස්තරය හා කංකාලජනක ස්තරය යන කොටස් දෙකින් චර්මීය ස්තරය සමන්විතය. ජල්ලියක ගිලී විසිරී තිබෙන සෛලවලින් කංකාලජනක ස්තරය සමන්විතය. බිත්තිය උසුලා සිටින කැල්සියම් කාබනේට්වලින් යුත් ශූලිකා ස්රාවය කිරීමෙහි මේ සෛල බොහොමයක් යෙදී සිටී. ස්නායු සෛල හෝ සංවේද සෛල මේ ඉස්පන්ජියා තුළ දක්නට නොලැබේ. මේ සෛල දක්නට නොලැබෙන තවත් ඉස්පන්ජි ද ඇත. චූර්ණමය ඉස්පන්ජියකු වන සයිකොන් (sycon) මීට වඩා උසස් වර්ගයක ඉස්පන්ජියෙකි. මුගේ කලසේ වැඩි කොටස දිදාල හැඩැති අන්ධ ප්රසරවලින් වැසී ඇත. චූර්ණමය ඉස්පන්ජියකු වන ල්යුකන්ඩ්රා (leucandra) තුන්වැනි ඉස්පන්ජි වර්ගයකි.
චූර්ණමය ශූලිකාවලින් සමන්විත සැකිලි සහිත ඉස්පන්ජි කුඩා කාණ්ඩයකට අයත් වෙති. ඉස්පන්ජි බොහෝ කොටසකට චූර්ණමය ශූලිකා නැත. සාමාන්‍යයෙන් උන්ට ඇත්තේ සිලිකාමය (siliceous) ශූලිකාය. ශ්ලේෂ්මල බහිස්ස්‍රාවය කරන බැවින් ඉස්පන්ජි බොහෝ කොටසකගේ පෘෂ්ඨය සෙවෙල් සහිතය. මේ සෙවෙල් ඇඟේ ගෑවුණහොත් කැසීම ඇති වන්නට පුළුවන. ඉස්පන්ජියාගේ සවිවර ව්‍යූහය නිසා ඌ පණුවන්, ඉස්සන්, කකුළුවන් වැනි අපෘෂ්ඨවංශීන්ට සුරක්ෂිත වාසස්ථානයක් වේ.
ඉතා අධික පුනර්වර්ධන ශක්තියක් ඉස්පන්ජියාට ඇත. ඉස්පන්ජියකුගේ කපන ලද කුඩා කැබැල්ලකට නව ඉස්පන්ජියකු ලෙස වර්ධනය විය හැකිය. සියලු මිරිදිය ඉස්පන්ජි ද ඇතැම් කරදිය ඉස්පන්ජි ද ගෙමිකාවන් (gemmules) මඟින් අලිංගික ප්‍රජනනය සිදු කරත්. මොවුහු සංචිත ආහාර සහිත කුඩා ගෝලාකාර දේහයෝ වෙති. ඉස්පන්ජියන්ට ලිංගික ප්‍රජනනය ද සිදු කළ හැකිය. මොවුනතුරෙන් බොහෝ දෙනෙක් ද්විලිංගිකයහ. එහෙත් ටික දෙනෙක් ඒකලිංගික වෙති. ජලධාරාව සමඟ එන ශූක්රාණුවකින් අණ්ඩය සංසේචනය කෙරේ.
පුරාණ කාලයේ සිට ම මිනිසා විසින් ඉස්පන්ජියාගේ සඡිද්‍ර සැකිල්ල පාවිච්චි කරන ලදි. පුරාණ ග්‍රීකයන් ඉස්පන්ජි පාවිච්චි කළ බවට සාක්ෂ්‍ය තිබේ. දැන් ඉස්පන්ජි ගෙදරදොරේ පාවිච්චි කරනු ලබන්නේ ශරීරය සේදීම වැනි දේ පිණිසය. ශල්‍යකර්මවලට ගන්නා ඇතැම් ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ද හම් කර්මාන්තයෙහි ද මැටි භාජන තුනී ලෙස ආලේප කිරීම සඳහා ද ඉස්පන්ජි යොදනු ලැබේ. මුද්රණවැඩ කරන්නෝ ද ආභරණ වෙළෙන්දෝ ද ඉස්පන්ජි පාවිච්චි කරති.
පහසුවෙන් පුනර්වර්ධනය වීමේ ශක්තියක් ඉස්පන්ජියන්ට ඇති නිසා කැබැලිවලින් ඔවුහු ඇති කරනු ලබත්. විශාල ලෙස ඉස්පන්ජි වගා කරන කොරටුවල මේ ක්‍රමය බෙහෙවින් යොදනු ලැබේ. බටහිර ඉන්දියානු කොදෙව්වල ද බ්‍රිතාන්‍ය හොන්ඩ්යුරාස්හි ද එක්සත් ජනපද රාජ්‍යයේ ෆ්ලොරිඩාවේ ද ඉස්පන්ජි කොරටු දක්නට ලැබේ.
(සංස්කරණය: 1970)